රාජ්‍ය සේවක වැටුප් වැඩි කර තිබියදී වෘත්තීය ක්‍රියාමාර්ග සදාචාරාත්මක නැහැ - කම්කරු නියෝජ්‍ය ඇමති කියයි

රාජ්‍ය සේවක වැටුප් වැඩි කර තිබියදී වෘත්තීය ක්‍රියාමාර්ග සදාචාරාත්මක නැහැ - කම්කරු නියෝජ්‍ය ඇමති කියයි

රාජ්‍ය සේවයේ වැටුප අවස්ථා තුනකදී ඉහළ දැමීමට කටයුතු කර ඇති අවස්ථාවක ඇතැම් වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගවලට එළැඹීම සාධාරණ නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙවැනි අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සදාචාරාත්මක නොවන බවයි.

මහින්ද ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට (22) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී සහභාගි වෙමිනි.

පළාත් මට්ටමින් සංවිධාන කරන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන මෙලෙස ඊයේ පැවැත්වුණු අතර ඊට ගාල්ල, මාතර සහ හම්බන්න්තොට යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින්  සේවායෝජකයන්, සේවා නියුක්තිකයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 එහිදී යෝජිත නව කම්කරු නීති සම්බන්ධයෙන් සිය අදහස්, ගැටලු සහ යෝජනා  ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දී තිබිණි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කම්කරු නීති වර්තමාන ආර්ථික, සමාජීය සහ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කරමින් නව කම්කරු නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.

 ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.

සේවක අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීම, සේවායෝජකයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම, යහපත් කාර්මික සබඳතා ගොඩනැගීම සහ ජාත්‍යන්තර ශ්‍රම ප්‍රමිතීන්ට අනුකූල නීතිමය පසුබිමක් නිර්මාණය කිරීම මෙම නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණු අතර වේ.

නව කම්කරු නීති සම්පාදනයේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමේ වැදගත්කම මත, එම පාර්ශ්වයන්ට සිය අදහස් සෘජුවම අදාළ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම පළාත් මට්ටමේ වැඩසටහන් සංවිධාන කර තිබේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image