2023 පෙබරවාරි 04 වනදාට යෙදුණු ලෝක පිළිකා දිනය සඳහා විශේෂ සටහනක් !
ශ්‍රී ලංකාවේ දිනකට හඳූනාගන්නා නව පිළිකා රෝගීන් 105 ක්. දිනකට පිළිකා රෝගය නිසා මරණ 46 ක්. නිසි අවධානයක් නොමැතිකමින් නිකරුණේ මියයන ජීවිත !!
පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් හා විකිරණ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාවක්. වහාම පිලියම් අවශ්‍යයි. පිලිකා රෝග පිලිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් අබේසිංහ මහතා කියයි
පෙබරවාරි 04 වනදාට ලෝකය පුරා ලෝක පිළිකා දිනය සැමරේ. මෙවර ලෝක පිළිකා දිනයේ තේමාව සත්කාරයේ හිඩැස පුරවමු යන්නයි. පිළිකාව පිළිබදව සමාජයේ කාලාන්තරයක් තිස්සේ පැවති විශ්වාස හා මිත්‍යා මත අද වන විට යම් ප්‍රමාණයකින් වෙනස් වී ඇතත් තව දුරටත් පිළිකාව හා එය වලක්වා ගැනීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ජාවක් සිදු විය යුතුව ඇත.

පිළිකා රෝගයට ගොදුරුවීම අවම කර ගැනීමටත් එසේ පිළිකාව වැලදුනවිට මුල් අවධියේම හදුනා ගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් මොහෝ පිළිකා තත්වයන් සුව කර ගැනීමටත් හැකිය. කෙසේ වෙතත් මේ කරුණු සම්බන්ධව පවතින 2022 වර්ෂයේදී පමණක් ලෝකයේ පිළිකා රෝගීන් මිලියන 19.03 ක් අලුතින් වාර්තා වී තිබේ. එසේම මිලියන 10 ක ජනතාව පිලිකාව නිසා මිය ගොස් තිබේ.ක්ෂය රෝගය , එච්.අයි.වී .ඒඩ්ස් .මැලේරියා ආදී රෝග තුනම නිසා මරණයට පත් වන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් පිළිකා නිසා මරණයට පත්වෙති. කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා පිළිකාව නිසා වසරකදී මිය යන සංඛ්‍යාව මිලියන 10 ක් වුවද වසර 2030 වන විට වසරකට ලොව පුරා මිලියන 13 ක් පිළිකාවෙන් මියයා හැකි බව විද්‍යාත්මක ප්‍රක්ෂේපණ ඇසුරින් ගණන් බලා තිබේ. වඩාත්ම සංවේදී කරුණ වන්නේ මේ වන විට වසරකදී පිළිකාව නිසා මියයන මිලියන 10 ක ජනතාව අතරින් 65% ම දියුණු වෙමින් පවතින රටවල ජනතාව වීමයි.මෙසේ මියයන සංඛ්‍යාව මිලියන 13 ක් දක්වා වැඩි වන කාලයක වුවද මෙම ප්‍රතිශතයේ සාධනීය වෙනස් කමක් සිදු කර ගැනීමට නම් එම දියුණුවෙමින් පවතින රටවල් වැඩි වැඩියෙන් පිළිකා රෝග නිවාරණය, හදුනාගැනීම සහ ප්‍රතිකාර මෙන්ම ප්‍රතිකාර මගින් සුව කර ගත් නොහැකි රෝගීන්ට ජීවිතයේ ඉතිරි කාලය හොදින් ගත කිරීමේ අවස්ථා ලබා දිය යුතුය . “සත්කාරයේ හිඩැස පුරවවමු “ මැයෙන් යොදා ගෙන තිබෙන මෙවර ලෝක පිළිකා දින තේමාවෙන්ද ගම්‍ය වන්නේ පිළිකාව හා ඊට ගොදුරු වන්නන් ගැන අපේ අවධානය වැඩි වැඩියෙන් යොමු කල යුතු බවය.
සියළු පිළිකා සැලකූ විට එම පිළිකාවලින් 1/3 ක් (තුනෙන් එකක්) වලක්වා ගත හැකිය.එසේම තවත් 1/3 ක ප්‍රමාණයක් කලින් හදුනා ගැනීමෙන් සුව කර ගත හැකිය. සමස්ත පිළිකා ප්‍රමාණයෙන්, එනම් පිළිකා වැලදුනු රෝගීන්ගෙන් ඉතිරි තුනෙන් එකක් සුව කර ගත නොහැකි පිළිකා අතරට ගැනේ. සමාජයක් ලෙස අපගේ යුතුකම හා වගකීම වන්නේ එම ජනතාවටද ඔවුන්ගේ මරණය තෙක් හොදින් ජීවත් වීමේ අවස්ථා සලසා දීමය.
වසර 2020 දී වර්තා වු තොරතුරු වලින් සකස්කල දත්ත වලට අනුව එම වසරේදී ශ්‍රී ලංකාවේ ජනතාව අතරින් 38229 දෙනෙක් අලුතින් පිලිකා රෝගීන් ලෙස හදුනා ගෙන තිබේ.ඉන් 20395 දෙනෙක් කාන්තා රෝගීන් ය. 17834 දෙනෙක් පුරුෂයින් ය. ඒ නුව ශ්‍රී ලංකාවේ දී දිනකට නව පිළිකා රෝගීන් 105 ක් පමණ හදුනා ගැනේ. 2020 වසරේදී පිළිකාව නිසා ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 16691 දෙනෙක් මරණයට පත් වී තිබේ. ඒ අනුව දිනකට 46 දෙනෙක් පිළිකාව නිසා ශ්‍රී ලංකාවේදී මරණයට පත් වී තිබේ. තවත් ලෙසකින් කියන්නේ නම් ශ්‍රී ලංකාව තුල පිළිකා රෝගීන් ලෙස හදුනා ගන්නා පුද්ගලයින් ගෙන් 50% පමණ මරණයට පත් වේ. මෙය රටක් ලෙස වහා අවධානයට ලක් විය යුතු ඉතා කණගාටුදායක තත්වයකි.
මේ අතර කාන්තාවන් අතර බහුලව වාර්තා වන පිළිකාව පියයුරු පිළිකාව වෙයි. කාන්තාවන්ට වැලදෙන සියලු පිළිකා වර්ග අතරින් 1/3 (තුනෙන් එකක්) ක් පියයුරු පිළිකා වේ. පියයුරු පිළිකා වලට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා,මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා ,ගර්භාෂ පිළිකා ,ඩිම්බ කෝෂ පිළිකා සහ ගැබ්ගෙල පිළිකා කාන්තාවන් අතර බහුල පිළිකා සේ සැලකේ. පිරිමින්ට වැලදෙන පිළිකා වර්ග මීට මදක් වෙනස් ස්වභාවයක් ගනී. මුඛය හා මුඛය, තොල් ආශ්‍රිත පිළිකා පිරිමින් අතර බහුලම පිළිකා විශේෂය වෙයි. පිරිමින් අතර වාර්තා වන සියලු පිළිකා අතරින් 1/5 (පහෙන් එකක්ම) මුඛය හා තොල් ආශ්‍රිතව ඇතිවන පිළිකා වෙයි. ශ්වාශනාලය හා පෙනහළු ආශ්‍රිත පිළිකා,මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා,ගලනාලය හා පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිලිකා පුරුෂයින් අතර බහුලව වාර්තාවන සෙසු පිළිකා වර්ග වෙයි.
කාන්තාවන් හා පුරුෂයින් අතර පිළිකා සම්බන්ධව යම් කැපී පෙනෙන වෙනසක් ද මේ අතර හදුනා ගත හැකිය. එනම් කාන්තාවන් අතර පිළිකා වාර්තා වීම පිරිමින්ට සාපේක්ෂව වැඩි වුවද පිළිකා නිසා වැඩිපුර මිය යන්නේ පුරුෂ පාර්ශවයයි. ඊට හේතුව වන්නේ මුඛ පිළිකා සහ පෙනහළු පිළිකා කලින් හදුනා නොගෙන නිසි ප්‍රතිකාර ලබා නොගැනීමෙන් මිය යන පිරිමින් සංඛ්‍යාව වැඩි වීමයි. එහෙත් කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පියයුරු පිළිකාව සහ දෙවැනියට වැඩියෙන්ම වාර්තා වන තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිලිකා කලින් හදුනාගෙන සුව කල හැකි වීමයි.
මේ අවාසනාවන්ත තත්වය හමුවේ මන්දෝත්සහීව සිටීම නොව අපට කල හැකි දේ හදුනා ගැනීම අවශ්‍යය.පිලිකාව නිසා අප රටේ පුද්ගලයින් මිය යාමට එරෙහිව වහා ක්‍රියාත්මක විය යුතුය. ප්‍රධාන වශයෙන්ම පිලිකා වලක්වා ගැනීමට ක්‍රියා කිරීම මෙහි පලමු කාර් යය වේ. (Primary Prevention).මෙසේ පිළිකාව වලක්වා ගැනීම පිලිබදව දැනුවත් වීම අතිශය වැදගත් ය. ඒ අනුව ක්‍රියාත්මක වීම වැදගත්ය. මුඛ්‍ය ආශ්‍රිත පිළිකා සහ පෙනහළු ආශ්‍රිත පිලිකා බොහොමයක් පහසුවෙන් වලක්වා ගත හැකිය. මන්ද යත් එම පිළිකා දෙවර්ගයම දුම්කොල හා බැදී පවතින හෙයිනි. සපන සුම්කොල හා උරන හෝ දුමක් ලෙස සිරුරට ඇතුළු කර ගන්නා දුම්කොළ නිසා ඇතිවන මෙම පිළිකා දෙවර්ගයම දුම්කොළ ජීවිතයෙන් ඉවත් කිරීමෙන් වලක්වා ගත ගැකිය. පියයුරු පිළිකා සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ද කලින් හදුනා ගැනීමේන් සම්පූර්ණයෙන් සුව කර ගත ගැකිය.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනුබද්ධිත ආයතන මගින් පිළිකා අභියෝගය ජය ගැනීම වෙනුවෙන් ලබා දෙන සේවාවන් රැසකි. ඒවා දීප ව්‍යාප්තව පැවතීම එක් අතකින් වාසනාවකි. පිළිකාව වලක්වා ගැනීමටත්, පිළිකා ව කලින් හදුනා ගැනීමටත්, පිළිකා රෝගීන් සදහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකය.
පිළිකා වැලැක්වීමට ප්‍රධාන වශයෙන් සමාජය හා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකය.පිළිකා ව සදහා හේතුවන අවදානම් සාධක ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යය. සපන දුම්කොළ භාවිතය හා දුම් බීම පිළිකාවට අත අවනන ප්‍රධාන හේතු දෙකකි. වැරදි ආහාර පුරුදු හා ජීවන රටාව මෙවැනිම තවත් හේතු දෙකකි.පිළිකා කාරක වලින් වැලකීම මෙහිදී සමාජය දිරිමත් කරන කටයුත්තකි.දුම්කොල හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පණත මගින් දුම්කොල හා මධ්‍යසාර භාවිතය අවම කිරීමට පණවා ඇති නීති මෙහිදී අපේ ප්‍රශංසාවට ලක් විය යුතු කරුණකි.
හෙපටයිටිස් බී එන්නත ලබා දීම පිළිකා වැලැක්වීමේ වැදගත් පියවරකි.මානව පැපිලෝමා වෛරස් එන්නතද මේ වන විට ලබාදීම ශ්‍රී ලංකාවේ සිදුවෙයි.එය ගැබ්ගෙල පිළිකා වැලැක්වීම වෙනුවෙන් අතිශයින් වැදගත් වෙයි.වයස අවුරුදු 10- 11 අතර සියළුම ගැහැණු ළමයින්ට, එනම් හය වසරේ අධ්‍යාපනය ලබන දැරියන්ට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පාසැලේදී මෙම එන්නත් ලබා දෙයි.මේ වයසේ දරුවන් මෙම එන්නත් ලබා ගැනීමට යොමු කිරීම හා උනන්දු කරවීම අප ඔබ සැමගේ වගකීමකි.මෙය කාන්තාවන් අතර ගැබ්ගෙල පිළිකාව වැලැක්වීමට අතිශය වැදගත් කරුණකි.
ශ්‍රී ලංකාව පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල ආශ්‍රිතව සුවනාරී සායන දහසක් (1000) පමණ ක්‍රියාත්මක වේ.පියයුරු පරීක්ෂාව හා ගැබ්ගෙල පිළිකා හදුනා ගැනීමට සිදු කරන පරීක්ෂාවන් සිදු වේ.ස්වයං පියයුරු පරීක්ෂාව මෙන්ම සායනික පියයුරු පරීක්ෂාවද සුව නාරී සායනයේදී සිදු කෙරේ.නොමිලයේ ලබා දෙන සුව නාරී සායන සේවා ලබා ගැනීමට කාන්තාවන් යොමුවීම පිළිකා වලක්වා ගැනීමේ ප්‍රධාන පියවරකි.
ගැබ් ගෙල පිලිකා කලින් හදුනා ගැනීමට වයස අවුරුදු 35 – 45 අතර අය පැප් පරීක්ෂනය සදහා යොමු වීම අවශ්‍යය. එහෙත් කන්ගාටුවට කරුණ නම් මේ වන විටත් සියලු පහසුකම් දිවයින පුරා නොමිලයේ ලබා දුන්නද පැප් පරීක්ෂණ සහ්ඩහා යොමු වන කාන්තාවන් සංඛ්‍යාව ඉතා අඩුය. මීට අමතරව. HPV /DNA පරීක්ෂණ සිදු කිරීමද අරඹා තිබේ.දිවයිනේ සමහර ප්‍රදේශවල මෙම පරීක්ෂණද සිදුකිරීමේ පහසුව පවතී. වසර 2020 දත්ත වලට අනුව ගැබ්ගෙල පිළිකා තත්වයට පත්වූ කාන්තාවන් 1200 ක් පමණ හදුනා ගෙන ඇත . එය මුල් අවධියේම හදුනා ගැනීමට හැකියාව තිබියදී පිළිකාවක් බවට පත් වන තුරුම කල් මැරීම කණගාටුදායකය.
රෝහල් ආශ්‍රිතව සුව දිවි සායන නම් සායන විශේෂයක් දැන් ක්‍රියාත්මකය. ඒවායින්ද පිළිකා කලින් හදුනා ගැනීඅසේම දන්ත සායන 700ක් පමණ දිවයින පුරා විසිරී පවතී. මේවායේදී මුඛ පිළිකා හදුනා ගැනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියයුරු සායන අලුතින්ම හදුන්වා දී තිබේ. රෝහල් වල ශ්ල්‍ය සායන සමගම මෙම සායනයද ක්‍රියාත්මකය. ශල්‍ය සායන වලදී වන ප්‍රමාදය නොමැතිව පියයුරු පරීක්ෂා කිරීම කඩිනම් කර පියයුරු පිළිකා කලින් හදුනා ගැනීම මේ මගින් සිදුවේ. මීට අමතරව පිළිකා කලින් හදුනා ගැනීමේ මධ්‍යස්ථාන 04ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකය.ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට පිහිටා තිබේ . අනෙක් මධ්‍යස්ථාන රත්නපුර, යාපනය හා මාතර රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වේ.කලින් වෙලාවක් වෙන් කර ගැනීමෙන් තොරව, වෛද්‍ය වරයෙකු ගේ යොමු කිරීමකින් තොරව ඕනෑම දිනකගොස් පිලිකා කලින් හදුනාගැනීමේ පරීක්ෂණ සිදු කර ගත හැකිය. මුඛ පිළිකා,පියයුරු පිලිකා සහ ගැබ්ගෙල පිළිකා සම්බන්ධව හදුනා ගැනීමේ පරීක්ෂණ මේ මධ්‍යස්ථාන වලදී නොමිලයේ සිදු කර ගත හැකිය. මීට අමතරව වෙනත් ඕනෑම පිළිකාවක් හදුනා ගැනීමට හා ප්‍රතිකාර වෙත යොමු වීමේ මග මේ තැන් වලදී පෙන්වා දෙයි. යම් සැකයක් පවතින විටෙක පැමිණ පරීක්ෂා කර ගැනීම කල යුතුය. මීට අමතරව දිවයින පුරා බාහිර රෝගී අංශ හා ශල්‍ය සායන වලදීද මෙම සේවා ලැබේ.
පිළිකාවට ප්‍රතිකාර කිරීමට පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන 25 ක් පලාත් සියල්ලම ආවරණය කරමින් පිහිටා තිබේ .මේ අතර මැමෝග්‍රැෆි පරීක්ෂණය සිදු කරන මධ්‍යස්ථාන 18 ක් සහ තවත් නවීන ප්‍රතිකාර ඇති මධ්‍යස්ථාන 20ක් ඇත.
වලක්වා ගැනීමටත් නොහැකිව, කලින් හදුනා ගැනීමටත් නොහැකිව රෝගයට ගොදුරු වූ පුද්ගලයින්ගේ ජීවන තත්වය උසස් කිරීමට සහන සත්කාර සේවා රෝහල් ආශ්‍රිතව අරඹා තිබේ .සත්කාරයේ හිඩැස පුරවාලීමට වැඩ කටයුතු නිරන්තරයෙන් සිදු කරමින් පවතී.
මේ වන විට අප රටේ පවතින වාතාවරණය නිසා විශේෂයෙන්ම වෙනදාටත් වඩා පිලිකාව වලක්වා ගැනීම ගැනම අවධානය යොමු කල යුතුය. වැලදුනු පසු ප්‍රතිකාර කිරීම ඉතා මිල අධික කටයුත්තකි.ජීවන රටාව , සමහර විට ජාන ලක්ෂණ සහ අවට පරිසරය පිළිකාවක් ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු තුනයි.
සමහරක් පිළිකා එන්නත් ලබාගෙන වලක්වා ගත හැකිය.අක්මා පිලිකා, ගැබ්ගෙල පිළිකා වැලැක්වීමට දැන් එන්නත් ඇත. හෙපටයිටිස් බී එන්නත හා මානව පැපිලෝමා වෛරස එන්නත් දෙක ඒ එන්නත් වේ.
කුඩා කල සිට දරුවන්ගේ ආහාර පාන පිළිබද සැලකිලිමත් විය යුතුය. ව්‍යායාම වැඩිකල යුතුය. අධික සීනි හා අධික ලුණු සහිත ආහාර අනුභවය පිළිකා වැලදීමට යම් හේතුවක් වනවා සේන අනෙකුත් බෝ නොවන රෝග වලටද අත වනයි.
කුඩා දරුවන් ආශ්‍රිත පිලිකා වලක්වා ගැනීමේ විශේෂ ක්‍රමයක් නැත. නමුත් ඔවුන්ට වැලදෙන පිලිකා සුව කර ගැනීමේ වැඩි ඉඩක් පවතී.ඒවාට ප්‍රතිකාර කිරීමට ඇති පහසුකම් දැනට ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේය.
පිලිකාවක් බවට පත් වීමට පෙර හදුනාගැනීමේ පරීක්ෂණ කීපයක් ඇත . පැප් පරීක්ෂණය මගින් කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකාවද,මුඛය පරීක්ෂාවෙන් මුඛ පිළිකාවද මුල් අවධියේම හදුනා ගත හැක. මුල් අවධියේ හදුනා ගැනීමෙන් පහසුවෙන් එය ඉවත් කර ගත හැකිය. සැත්කම් මගින් සහ පිළිකා නාශක ධූලක මගින් පිළිකා ඉවත් කෙරේ.ඊට අමතරව විකිරණ භාවිත කෙරේ. මුල් අවස්ථාවේදී හදුනා ගත හැකි නම් සැත්කමකින් පමණක් සුව කර ගත හැක . පිළිකාව ඔඩු දුවා වෙනත් අවයව වලට පැතිරී ඇත්නම් අනෙක් ප්‍රතිකාර වර්ග කීපයක් පාවිච්චි කිරීමට සිදුවේ. එය රෝගියාටද අසීරුය. සැත්කම පවා විශාල ලෙස කිරීමට සිදුවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පිළිකා ප්‍රතිකාර රෝහල මහරගම රෝහලයි.එහි ප්‍රතිකාර වෙනුවෙන් සෑම පහසුකමක්ම ඇත. සෑම පලාතකම විකිරණ ප්‍රතිකාර තිබෙන අතර සියලුම දිස්ත්‍රික්ක වල පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු සිටිති. නිරන්තරයෙන් එම වෛද්‍යවරුන් වෙනුවෙන් පුහුණුව ලබාදේ.
රටපුරා විහිදී යන ලෙස ප්‍රතිකාර කිරීමේ සමහර ප්‍රතිකාර පහසුකම් රට පුරා නැත. ඒවා වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. මේ දිනවල පවතින තත්වය හමුවේ එය සැක සහිතය .පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් සහ විශේෂයෙන් විකිරණ විශේෂඥ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් නැත.නව ප්‍රවණතාව වන්නේ ඉතා අසීරුවෙන්, වෙහෙස දරා ශ්‍රී ලංකාවේ පුහුණුකර විදේශ පුහුණුවට යන විශේෂඥ වෛද්‍යවරුන් නැවත පැමිණීමේ අඩුවක් දක්නට ඇත . ඉදිරියේදී එය ගැටළුවක් විය හැකි බැවින් ඒ අය නැවත මෙරටට ගෙන්වා ගැනීමට විධිමත් ක්‍රියාවලියක් අවශ්‍යය.එම ක්‍රියාවලියේ එක කොටසක් වන්නේ කොළඹින් බැහැර ප්‍රදේශවල ප්‍රතිකාර පහසුකම් වැඩි දියුණු කිරීමයි.
පුහුණුවෙන් පසු කොළඹින් බැහැර ප්‍රදේශවලට යන විශේෂයෙන් විකිරණ සම්බන්ධ වෛද්‍යවරු එහි ගිය පසු අදාල පහසුකම් නොමැතිවිට මන්දෝත්සාහී වී අපහසුතාවට පත් වෙති.එම වෛද්‍යවරුන්ට , තමාගේ හා තම පවුලේ ප්‍රශ්න වලට වඩා ප්‍රතිකාර කිරීමේ පහසුකම් රටපුරා සමව බෙදී නොයාම ගැටලුවකි. එවැනි තත්ව ඔවුන් රට හැරයාමට හේතුවේ. මැදි වයසේ පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් කීපදෙනෙක් දැනටමත් රට හැර ගොස් තිබේ.විවිධ රටවලින් අපේ පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ට විශාල ඉල්ලුමක් පවතී.එම ඉල්ලීම තිබියදී ඔවුන් මෙරට රදවා ගැනීමට කල යුතු දේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ජා කිරීමට පිලිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සූදානමින් සිටී.
පිළිකා සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන ඖෂධ සමහරක් ශ්‍රී ලංකාවේ හිගයක් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඖෂධ මිලදීගෙන ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් ලබා ගැනීමට වැඩ සටහනක් ක්‍රියාත්මක වේ. එහෙත් මේ ක්‍රමයෙන් මිලදී ගැනීමේදී පවා මාස 06 ක පමණ ප්‍රමාදයක් පවතී. එය කඩිනමින් නිවැරදි වනු ඇතැයි අපේක්ෂා කෙරේ .
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ක්‍රම වේදයක් හරහා පරිත්‍යාග ශීලීන්ට මුදල් ආධාර හා සෙසු පරිත්‍යාග ලබා දීමේ ක්‍රම කීපයක් ඇත. ඍජුවම අවශ්‍ය අයට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධ විය හැකියි. නැතිනම් වෛද්‍ය සැපයුම් ඒකකය සමග සම්බන්ධ විය හැකිය. මේ වෙනුවෙන් අවශ්‍ය තොරතුරු හා පරිත්‍යාග යොමුකිරීමේ දොරටු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health .gov.lk වෙත පිවිස සොයා ගත හැකිය .
(මූලාශ්‍රය -සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ , විශේෂඥ වෛද්‍ය ඊෂානි ප්‍රනාන්දු මහත්මිය ,ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහතා, සහ මහරගම අපේක්ෂා රෝහලේ ,පිළිකා රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය, පිලිකා රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් අබේසිංහ මහතා සහභාගීවූ , කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යාංශයේ පැවති ප්‍රවත්ති සාකච්ජාව)
සටහන - ජානක සුනෙත් බණ්ඩාර
