ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය 66 වන වරටත්

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය 66 වන වරටත්

1960 ආරම්භ වූ ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වයේ මැයි දින සමරු කම්කරු පෙරහැර සහ කම්කරු පූජාව 66 වන වරටත් මෙවර කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානය (පොල්වත්ත පල්ලිය) ආශ්‍රිතව පැවැත් වුණි.

වැඩ කරන ජනතාවගේ අරගලය ශක්තිමත් කරමු,බල ලෝභ යුද්ධවලට එරෙහිව නැඟී සිටිමු,යුක්තිය හා මානව අභිමානය වෙනුවෙන්  එක්ව නැගී සිටිමු යන තේමා පෙරදැරිව ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ මෙවර  කම්කරු පෙරහැර සහ කම්කරු පූජාව අද (මැයි 01) පෙරවරු 9.00 ට ලංකා සභාවේ කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු පියතුමා සහ එම සභාවේ කුරුණෑගල දියෝකීසියේ රදගුරු නිශාන්ත ප්‍රනාන්දු පියතුමා ඇතුළු ක්‍රිස්තියානි සභා නියෝජිත දේවගැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී පොල්වත්ත ගම වටේ පාද චාරිකාවේ යෙදුණි.

මෙම මැයි දින රැලියට වතු කම්කරුවන්, නාගරික කම්කරුවන්, ගොවීන්, ධීවරයන්,ගෘහ සේවකයන්  ඇතුළු වැඩ කරන පංතියේ ජන නියෝජිතයෝ ද බැප්ටිස්ට් සභාවේ ,ඇංග්ලිකන් සභාවේ, මෙතෝදිස්ත සභාවේ සහ රෝමානු කතෝලික සභාවේ

 පියතුමන්ලා සමඟ නිදහස්  පලස්තීනය සඳහා ශ්‍රී ලංකා සහයෝගීතාවයේ නියෝජිතයෝද එක්වූහ.

කම්කරු පූජාවේ ප්‍රධාන දේශනය කරන ලද්දේ ලංකා සභාවේ ලයනල් පීරිස් පියතුමා ය.

ඊශ්‍රායලය සහ ඇමරිකාව අද ඒගොල්ලන්ගේ ඉහළ තාක්ෂණය භාවිතා කරලා පලස්තීන ජනතාව විශේෂයෙන් දරුවන් දස දහස් ගණන් ත්‍රස්තවාදින් යැයි කියා ඝාතනය කිරීම අති විශාල අපරාධයක් බව ලයනල් පීරිස් සිය දේශනයේදී පෙන්වා දෙමින්  ඊට විරෝධය පළ කළේය.අද පවතින යුද්ධය නිසා අපේ රටත් විශාල අර්බුදයකට පත්වෙනවා.ඊශ්‍රායල මේ යුද්ධය පටන් ගත්තේ ඉරානයේ  ගැහැණු දරුවන් සිටින පාසලකට පහර පහර දී ගැහැනු දරුවන් එකසිය හැට දෙනකු ඝාතනය කරලයි.අපි මනුෂ්‍යත්වය අගය නොකිරීමයි මේ යුද්ධවලට හේතුව.අපිට පුළුවන් මේ තත්ත්වය වෙනස් කරන්න.අපිට සමගිය අවශ්‍යයි මේ සියල්ල වෙනස් කරන්න යැයි ලයනල් පීරිස් පියතුමා  වැඩිදුරටත් පැවසීය.

‍|උපුල් ජනක ජයසිංහ