කොන්දේසි නැත. අපි විරුද්ධයි. BBC මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

fmm-bbc-sinhala

පල්ලේගම හේමරතන භික්ෂුවගේ ළමා අපචාර සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය    රැස්වී කළ කතාබහ සම්බන්ධ ආන්දෝලනාත්මක වාර්තාකරණය හේතුවෙන්  බීබීසී මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇත. 

එය ඉතා නින්දිත හා සිදු නොවිය යුත්තක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි. ඊට පාදක වන හේතු ගණනාවක් ඇත.

ඉතිහාසය පුරා පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යොදාගෙන ඇත්තේ පුරවැසි අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහාය. ඒ පිළිබඳව දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගය ආණ්ඩු බලය හොබවන අවස්ථාවේ කිසිසේත්ම සිදු නොවිය යුතු ලෙස බලය අවභාවිතා කරමින් යල් පැන ගිය නීතියක් භාවිතා කරමින් ප්‍රකාශනයේ නිදහස  අත්තනෝමතික ලෙස උල්ලංඝනය කිරීම පිළිකුල් සහගතය. වරප්‍රසාද සහිත පංතිය විවේචනය කිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කොට ඇති මෙවැනි නීති මර්ධන නීති ලෙස හැඳින්වීම විනා වෙනත් සුදුසු හැඳින්වීමක් ශිෂ්ඨ සම්පන්න ලෝකය සතුව නැත.

තමන්ට බලය අහිමි වකවානුවක විවේචනය කරන ලද මර්දනකාරී නීති හා අණපනත් බලය දරන අවස්ථාවේ වඩා දැඩිව භාවිතා කිරීම පිළිකුල් සහගතය. 

එබැවින් BBC  මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම මාධ්‍ය නිදහසට එල්ල කරන ලද බලගතු තර්ජනයක් ලෙස සලකා හෙළා දැකීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුබට නොවේ. ලබ්බට තැබූ අත පුහුලටත් තබන්නා සේ මේ ප්‍රවේශය මාධ්‍ය මර්ධනය සඳහා යොදාගත හැකි බව අපගේ අත්දැකීම් අනුව පැහැදිලි වේ.

එම නිසා අපි ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ මේ මර්දනකාරී නීති යොදා ගනිමින් අත්තනෝමතික ලෙස පුරවැසියන්ගේ කටවැසීමට ගන්නා උත්සාහයන් වහාම අත්හිටුවන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වනාහිින් මන්ත්‍රීවරියන් එක්ව පිහිටුවා ගන්නා ලද සාමූහිකයක් මිස  ව්‍යවස්ථාපිත හෝ පනතකින් බලගන්වන ලද කමිටුවක් නොවන බව අපගේ විශ්වාසයයි. එවැන්නක් රැස්වී කළ කතාබහක් වාර්තා කළ මාධ්‍ය ආයතනයක් වරප්‍රසාද කඩ කළ බව අර්ථකථනය කරන්නේ නම් මන්ත්‍රීවරුන් සන්ධ්‍යා සාදයකදී කළ කතාබහ වාර්තා කරන මාධ්‍ය ආයතනද වරප්‍රසාද කමිටුවට කැඳවිය යුතුය.

පාර්ලිමේන්තුව හා එය නියෝජනය කරන මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද හා බලතල සම්බන්ධයෙන් අපට ගැටළුවක් නැත. එහෙත් ඒ සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාවේ සඳහන් මහජන පරමාධිපත්‍යයට යටත්වය.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අධිකරණ බලතල ඉක්මවා යන්නේ නම් එයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභියෝගයට ලක් කරන බරපතළ ගැටලුවකි.

එබැවින් මේ සියල්ල නැවත නැවතත් පරිස්සමට පිරික්සා බැලිය යුතුය. එය සම්බන්ධ වගකීම පැවරෙන්නේද මහජනතාව සතු පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන උත්තරීතර පාර්ලිමේන්තුවටමය.

එමනිසා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වන අපි දැඩිව කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සුබසාධක සංගමයක් වැනි එකමුතුවක සාකච්ඡා කළ දේ බරපතල ලෙස ගනිමින්  අදහස් මර්දනයට දායක නොවිය යුතු බවයි. එසේ නොවුනහොත් අනාගතයේදී මෙම පාර්ලිමේන්තුව ව්‍යවස්ථාවට පටහැණිව සහ අත්තනෝමතිකව පුරවැසියා සතු  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරා ගත් බව ඉතිහාස ගතවීම නියතය.

ඒ වගත් පෙන්වා දෙමින් BBC මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම නොකළ යුත්තක් ලෙස සලකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හෙළා දැකීමට භාජනය වෙයි.