C 190 අපරානුමත කිරීමේ වැදගත්කම ගැන රජයට අවධාරණය කළ වෙබ් හමුවක්

C 190 අපරානුමත කිරීමේ වැදගත්කම ගැන රජයට අවධාරණය කළ වෙබ් හමුවක්
රැකියා ස්ථානයේ සිදුවන හිංසනය සහ හිරිහැර අවසන් කිරීම සඳහා ලෝක කම්කරු සංවිධානය විසින් අනුමත කරන ලද  C190 සම්මුතිය සම්මත කිරීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා පසුගිය 27 වෙනි දින වෙබ් රැස්වීමක් සංවිධානය කර තිබුණි.
 
මෙම වෙබ් රැස්වීම සඳහා NUSS, CMU, JSS, GNO, NUW, ඩාබිදු හා  වාණිජ කර්මාන්ත සේවා ප්‍රගතිශීලී සේවක සංගමය නියෝජනය කරමින් සාමාජිකයින් රැසක් සම්බන්ධ වී තිබුණු අතර වෘත්තීය සමිති නියෝජනය කරමින් සාමාජිකයින් 35 දෙනෙකු පමණ රැස්වීමට සම්බන්ධ විය.
 
එසේම, රෝහිණි කවිරත්න (සමගි ජනබල පෙරමුන) සමන්ති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ (බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය) ,ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, සහ මායන්ත දිසානායක (සමගි ජනබල පෙරමුන) යන යන  මහත්ම මහත්මීන්ද මෙම රැස්වීමට එකතුවී සිටීම විශේෂත්වයකි.
 

ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සැසිය ආරම්භකළ අතර එහිදී ඇය විසින් සමාජයේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වයන් හා හිරිහැරයන් සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් සිදුකළ අතර C- 190 සම්මුතිය නීතිගත කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද පැහැදිලි කරුණු කාරණා රැසක් අවධාරණය කරන ලදී.

මෙම සාකච්ඡාව පහසුකරණය කිරීම නීතීඥ ශාමලී රණරාජා මහත්මිය විසින් සිදුකළ අතර NUSS උපදේශිකා පබා දේශප්‍රිය මිය විසින්ද කරුණු කාරණා ඉදිරිපත්කරන ලදී.

මෙම අවස්ථාවේදී වෘත්තීය සමිති නියෝජනය කළ සාමාජිකයින් හා නායකයින්ට සිය අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලැබුණු අතර එහිදී සමාජය තුළදී මෙන්ම රැකියා ස්ථානවලදී කාන්තාවන් මුහුණ දෙන හිරිහැර හා ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් අත්දැකිම් ඇසුරින් කරුණු කාරණා රැසක් ඉදිරිපත්කළ අතර ඒ ඒ වෘත්තීය සමිති විසින් ඔවුන්ගේ අදහස් අනෙක් අය සමඟ බෙදා හදා ගැනීමත් C 190 සම්මුතිය නීතිගත කිරීමේ අවශ්‍යතාවයත් එමඟින් රැකියා ස්ථානයේ සිදුවන හිංසනය සහ හිරිහැර අවසන් කිරීම සඳහා ලැබෙන මනා පිටුවහලත් ගැන ගැඹුරින් කරුණු අවධාරණය කරන ලදී.

වෘත්තීය සමිති විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගරු. රෝහිණි කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් කතාකළ සියලුම කාරණා සැලකිල්ලට ගනිමින් C 190 සම්මුතිය නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාන්තා සමුළුව සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර පෙබරවාරි 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට නිවේදනය කරන ලදී
 

මේ සම්බන්ධයෙන් වැඩබිම අපකළ විමසීමකදී අදහස් දක්වමින් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වෙන බවයි.

IMG 20210126 141831

IMG 20210126 153247

IMG 20210126 153258

IMG 20210126 151523