ජාත්‍යන්තර කාන්තා දිනට අපරාණුමත C190 සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිරීති සකසන ලෙස ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) විසින් කම්කරු අමාත්‍යවරයාගෙන් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වන දිනට යෙදී ඇති බව ඔබද දන්නා කරුණකි.
ලොව පුරා සිටින වැඩ කරන කාන්තාවන් තමන්ට සාධාරණයක් හා රැකියා ස්ථානයන් වල ආරක්ෂාවක් ඉටුවිය යුතු බවට හඬ නගන දිනයක් වශයෙන් මෙය යොදවා ගන්නා බව ද ඔබද දන්නා කරුණකි.
දැනටමත් ආණ්ඩුව විසින් අපරාණුමත කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C190 සම්මුතිය වැඩ කරන කාන්තාවන් හට එරෙහි තාඩන පීඩන හා ලිංගික බලපෑම් වළක්වාලීම සඳහා සම්මත කෙරුණු වැදගත්ම සම්මුතියක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම සම්මුතිය නීතීන් වලට සීමා නොවී විශේෂයෙන්ම වැඩ කරන ස්ථානයන් වල සිදුවන අයුක්ති සහගත කටයුතු ප්‍රබල ලෙස වළක්වාලීම සඳහා සකස් කෙරුණු එකක් බවට පිළිගැනීමට ලක්ව ඇත.
කෙසේ වෙතත් මෙම සම්මුතිය ආණ්ඩුව විසින් අපරාණුමත කර ඇතත්, එහි කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා අප රට තුළ ක්‍රියාත්මක කළ හැකි නීතිරීති සැකසීම ද කළ යුතුව ඇත්තේ රජය විසින්මය.
කාන්තාවන්ට සම තැන සහ නිසි ආරක්ෂාව සහ ගෞරවය ලැබිය යුතු බවට ඔබගේ ආණ්ඩුව නිරතුරුවම බල කර කියා සිටින බව අප දනිමු.
එය ප්‍රායෝගිකව හා ප්‍රතිඵලදායී අන්දමින් ක්‍රියාවට පරිවර්තනය කිරීමට නම් මෙම සම්මුතිය අපරාණුමත කිරීමෙන් අනතුරුව ප්‍රමාදයකින් තොරව අවශ්‍ය නීති සහ රෙගුලාසි සකස් කිරීමද කළ යුතුව ඇත.
කාන්තා දිනය සමරන මෙම අවස්ථාවේදී අප රටෙහි වැඩ කරන කාන්තාවන් හට නිසි මානුෂික ගෞරවය හා පිළිගැනීම ලබාදීම සඳහා හා ඔවුන් හට එරෙහිව වැඩ කරන ස්ථානයන් වල සිදුවන තාඩන පීඩන හා ලිංගික බලපෑම් වලින් ආරක්ෂා කර ගැනීම සහතික කිරීමටත්, එවැනි බලපෑම් කරන අයට නිසි දඬුවම් ලබා දීමටත් හැකිවන පරිදි නීති රීති සැකසීම සඳහා පියවර ගන්නා මෙන් මේ රටෙහි වැඩ කරන ජනතාව හා විශේෂයෙන් කර්මාන්තශාලාවන් වල හා කාර්යාලයන් වල සේවයේ නියුතු කාන්තා සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් වශයෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
අපගේ මෙම ඉල්ලීම පිළිගෙන මෙයට ප්‍රමුඛත්වය දී ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කරමු.

