සේවකයින්ට වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ නම් අර්ථ සාධක අරමුදල සංශෝධනය සහයෝගය දෙනවා - CMU

cmu-epf

මෙරටෙහි අර්ථසාධක අරමුදල පිහිටුවා ගැනීම සඳහා සක්‍රීය දායකත්වයක් සැපයූ වෘත්තීය සමිතියක් වශයෙන් එය වර්තමාන තත්ත්වයට ගැලපෙන අයුරු සහ සේවකයින්ට වැඩි ප්‍රතිලාභ ලබාදෙන අයුරු සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් එයට සහයෝගය දැක්වීමට, සූදානම්ව සිටින බව EPF ඉල්ලුම්කරුවන් (unclaimed) නොමැති මුදල් සේවක සුභසාධනය සඳහා යෙදවීම පිළිබඳව ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) කම්කරු අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, වර්තමානයේ මහ බැංකුවේ කළමණාකරණය යටතේ පවතින කම්කරු සේවක අර්ථසාධක අරමුදල් පිළිබඳව අදාළ පනතෙහි සංශෝධන කිහිපයක් පිළිබඳව යෝජනාවක් පසුගිය ඔක්තෝම්බර් 30 වන දින පැවති ජාතික කම්කරු උපදේශක සභාව වෙත ඔබ විසින් ඉදිරිපත් කර, සාකච්ඡාවට බඳුන් කරන ලද බව දැනගන්නට ලැබුණි.

මෙරටෙහි අර්ථසාධක අරමුදල පිහිටුවා ගැනීම සඳහා සක්‍රීය දායකත්වයක් සැපයූ වෘත්තීය සමිතියක් වශයෙන් එය වර්තමාන තත්ත්වයට ගැලපෙන අයුරු සහ සේවකයින්ට වැඩි ප්‍රතිලාභ ලබාදෙන අයුරු සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් එයට සහයෝගය දැක්වීමට, අප සංගමය නිරතුරුවම සූදානම්ව සිටින බව දන්වා සිටිමු.

මෙම අරමුදලේ ඉල්ලුම්කරු නොමැතිව රුපියල් බිලියන ගණනාවක මුදල් ඉතිරි වී ඇති බව ඔබද දන්නා කරුණක් වන අතර, එම මුදල් පහතින් දක්වා ඇති කටයුතු සඳහා යොදවා ගැනීමේ අරමුණින් ක්‍රියා කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.

නිදහස් වෙළඳ කලාප කම්කරුවන් හට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා තට්ටු ගොඩනැගිලි සැලසුම් ක්‍රියාත්මක කිරීම

අප සංගමය විසින් කටුනායක, බියගම ඇතුළු නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳව කරන ලද සමීක්ෂණ හරහා පෙනී ගියේ, ලංකාවේ නොයෙකුත් පළාත් වල සිට සංක්‍රමණය වෙමින් එම කලාපය ආසන්නයේ පිහිටි පුද්ගලික ගෙවල් සහ ස්ථාන වල පදිංචිව සිටින බහුතරයකට අවශ්‍ය ජලය, විදුලිය, වැසිකිලි පිරිසිදුභාවය, ආරක්ෂාව යන මූලික පහසුකම් පවා සීමා වී ඇති පරිසරයන් තුළ ජීවත් වීමට සිදුව ඇති බවයි.

සමහර ස්ථාන වල කුඩා කාමර වල විශාල පිරිසක් පදිංචි වී සිටින තත්ත්වය මත, විශාල තෙරපිල්ලට ලක්ව සිටියත් එම නිවාස හිමියන් වඩාත්ම අධික කුලී මුදලක් අය කරගන්නා බව ද දැනගන්නට ලැබුණි.

සමහර ස්ථාන වල ගෙවල් හිමියන්ගේ සහ ඥාතීන්ගේ ලිංගික අඩන්තේට්ටම් වලටත් මෙම සේවිකාවන් ලක්වන අතර, ඒවා පැමිණිලි කිරීමට පවා ඉදිරිපත් වීමට ඔවුන් මැලි වන්නේ ඇතිවිය හැකි තර්ජන හමුවේ ඔවුන්ට ආරක්ෂාවක් නොමැති නිසා බව හෙලි වී ඇත.

පැය 08 කට හෝ ඊට වැඩි කාලයක් කර්මාන්තශාලා වල මහත් තෙරපිලි මැද්දේ වැඩ කර තම නවාතැන් වලට පැමිණ විවේක ගන්නට පවා ඔවුන්ට නොහැකි වී තිබේ. පිටත පැමිණෙන විට ආරක්ෂාවක් ඇත්තේම නැත. මෙම තත්ත්වයන් නිසාම සේවය අතහැර වෙනත් ස්ථාන වලට යෑමේ ප්‍රවණතාවය ද දිනෙන් දින වර්ධනය වන අතර, එම හිස්තැන් පිරවීමට ආයතන හිමියන්ට වඩාත්ම පරිශ්‍රමයක් දරන්නට සිදුව ඇති අතර, නිශ්චිත වේලාවට නිෂ්පාදන ලබා දීමට නොහැකි තත්ත්වයන් නිරතුරුවම වාර්තා වේ. මෙය මෙම ව්‍යාපාරය සීඝ්‍රයෙන් බිඳ වැටීමට ද හේතුවිය හැක.

මෙරටෙහි අපනයන ආර්ථිකයට වඩාත්ම වටිනා දායකත්වයක් ලබාදෙන මෙම සේවක කොටසට යහපත් ජීවන රටාවක් සකස් කර දීම රජයේ පමණක් නොව පුරවැසියන්ගේ ද වගකීම වන බව ඔබ ද පිළිගන්නවා ඇත. මෙම අපනයන ව්‍යාපාරය ආරක්ෂා කිරීමට මෙය ද වැදගත් සාධකයක් වනු ඇත.

මූලික පහසුකම් ලබාදීම

මොවුන්ගේ නවාතැන් පහසුකම් ලබාදීම සඳහා ගොඩනැගිලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එම සංකීර්ණ වල සෞඛ්‍ය මධ්‍යස්ථාන, ක්‍රීඩා පිටි, විවේකීව සහ නිදැල්ලේ රැඳී සිටීමට ස්ථානයන්, අභ්‍යාස පහසුකම්, පුස්තකාල පහසුකම්, නෑදෑ/ මිතුරන් හමුවීමට පහසුකම්, සමූපකාර, වෙළඳසැල්, බැංකු, ආරක්ෂාව යනාදී කරුණු ඇතුළු කිරීමට ද වග බලාගත යුතුය.

මෙම නවාතැන් පහසුකම් සඳහා යම් සීමිත ගාස්තුවක් ද අයකර ගත යුතු වේ.

ඉහතින් දක්වා ඇති කරුණු සැලකිල්ලට ගනිමින්, අප විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට ඔබගේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.