1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ගෙන එන ලද පනතෙහි මූලික සංකල්ප හා කොන්දේසි සහ විධි විධානයන් බොහෝමයකම, භාෂාමය වෙනස්කම් සහිතව “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” නමින් කෙටුම්පත ඉවත දැමිය යුතු බව ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ඔබගේ ආණ්ඩුව විසින් සකස් කොට ඉදිරිපත් කර ඇති ඉහතින් දක්වා ඇති පනත් කෙටුම්පත ඉවත් කර දමන ලෙස ඉල්ලා සිටිය යුතු බවට අප සංගමයේ විධායක කාරක සභාව විසින් තීරණය කර ඇති බවට දන්වා සිටිමු.
1978 වසරේදී එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් “ත්‍රස්තවාදය වැළකීමේ, තාවකාලික විධිවිධාන පනත” නමින් ගෙන එන ලද පනත එකහෙළාම ප්‍රතික්ෂේප කර එය ඉවත් කර දමන ලෙස දිගින් දිගමට හඬ නැගූ අප සංගමය කියා සිටියේ එම පනතෙහි සඳහන් වැරදි පිළිබඳව ක්‍රියා කිරීමට පවතින දණ්ඩ නීති සංග්‍රහය සහ වෙනත් නීති ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන අතර, රජයට විරුද්ධව යෑම, කැරළි හෝ කුමන්ත්‍රණ පිළිබඳ ක්‍රියා කිරීමට හදිසි නීතිය සහ මහජන ආරක්ෂක පනත ද ඇති බවයි.
1971 වසරේදී ඔබගේ පක්ෂයට සම්බන්ධ තරුණයින් විසින්, ආණ්ඩු බලය අල්ලා ගැනීම සඳහා බව කියමින් දියත් කරන ලද ව්‍යාපාරය මෙල්ල කිරීම සඳහා එවකට ශ්‍රී ලංකා, සමසමාජ සහ කොමියුනිස්ට් සභාගී ආණ්ඩුව විසින් යොදවා ගත්තේද හදිසි නීතිය සහ මහජන ආරක්ෂක පනත බව ඔබද දන්නා කරුණකි.
එහිදී පොලිසිය සහ සන්නද්ධ හමුදාවන්ට ලබාදෙන ලද අසීමිත බලතල හේතුවෙන් සැකකරුවන් සහ ආණ්ඩුවේ විරුද්ධවාදීන් අල්ලාගෙන, මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමකින් තොරව මරා දැමීමටත්, පුරවැසියන්ගේ මානව සහ සිවිල් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමටත්, වගවීමෙන් වැළකී සිටීමටත්, පොලිසිය සහ ආරක්ෂක අංශයන් වලට හැකි විය.
1964 වසරේදී, වාමාංශික ව්‍යාපාරය පාවා දී දක්ෂිණාංශික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හවුල්ව ලංකා සමසමාජ පක්ෂය සහ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නැගී එන තවත් රතු පක්ෂයක් බව සලකමින් ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් හංවඩු ගසමින් ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට පූර්ණ බලය ලබා දී තිබුණේද සන්නද්ධ හමුදාවන් වලටය. ලංකාවේ සමූහ මිනී වලවල් නිර්මාණය වූයේද මේ අවධියේය.
මේ අවස්ථාවේදී ඔබ පක්ෂයේ සාමාජිකයින්ගේ මානව හිමිකම් වෙනුවෙන් සක්‍රීයව ඉදිරිපත් වූයේ අපගේ සංගමය වන අතර, අප සංගමයේ ප්‍රධාන ලේකම්ව සිටි නීතීඥ බාලා තම්පෝ සහෝදරයාව සංගම් කටයුතු වලින් වසර තුනකට මුදාහැර, ඔබ සාමාජිකයින්ට නීතීඥ සහය ලබා දුනිමු.
1978 වසරේ ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික බව කීවත්, වසර 45ක් මුළුල්ලේම එය අවලංගු නොවී පවතී. මෙම පනත 78 දී ගෙන එන ලද්දේ උතුරේ තරුණයින් මෙල්ල කිරීමට බව කීවත් පසුව එය 89-90 කාලයේදී සෘජුවම උපයෝගී කරගනු ලැබුවේ ඔබගේම පක්ෂයේ සාමාජිකයින්ට විරුද්ධවය. මෙවර දහස් ගණන් තරුණ තරුණයින් සැකපිට අල්ලාගෙන අමු අමුවේ මරා දැම්මා පමණක් නොව, හන්දි හන්දි ගානේ ඔවුන්ව පන පිටින් හෝ මල කඳන් පුළුස්සා විනාශ කර දැමීමට ආරක්ෂක අංශ වලට බලය ලබා දී තිබුණි. මෙම පනත ද උපයෝගී කර ගනිමින් වෘත්තීය සමිති සාමාජිකයින් වශයෙන් අප සංගමයේ සාමාජිකයින්ට ද තාඩන පීඩන වලට ලක් වීමට සිදුවිය.
මෙහි කෲරත්වය අමුතුවෙන් ඔබ හට පෙන්වා දීමට අවශ්‍ය නැති බව සිතමි. අයුතු ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබාගෙන වද හිංසාවන්ට ලක් කිරීම, නඩු නැතිව වසර ගණනාවක් සිර භාරයේ තැබීම යන කරුණු වලට අමතරව දේශපාලන උවමනාවන් සඳහා සහ විරුද්ධවාදීන් මර්ධනය කිරීම, මාධ්‍ය නිදහස සීමා කිරීම, මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම, කප්පම් ගැනීම වැනි සමාජ විරෝධී ක්‍රියාවන් කිසිදු බාධාවකින් තොරව කිරීමටද මඟ පෑදීය.
මෙම හේතු නිසාම ජාතික, ජාත්‍යන්තර මට්ටමින් මෙම පනත මනුෂ්‍යත්වයට විරුද්ධ කැලෑ නීතියක් (Draconian) වශයෙන් හඳුන්වා දෙමින් මෙය ඉවත් කර දමන ලෙස හඬ නැඟීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව ද මෙම පනත ඉවත් කරන ලෙස දන්වා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණෙහි නායකයෙකු වශයෙන්, විරුද්ධ පක්ෂයේ සිටියදී ඔබද, එවකට මානව, සිවිල් ක්‍රියාකාරිණියක්ව සිටි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මහත්මියද මෙම පනත ඉවත් කළ යුතු බවට හඬ නගා ඇත.
මෙවැනි තත්ත්වයක හමුවේ 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ගෙන එන ලද පනතෙහි මූලික සංකල්ප හා කොන්දේසි සහ විධි විධානයන් බොහෝමයකම, භාෂාමය වෙනස්කම් සහිතව ඔබ විසින් “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” නමින් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.
මෙම කෙටුම්පත අප වඩාත්ම අවධානයකින් කියවූයෙමු.
පුරවැසියන් අත්අඩංගුවට ගැනීම සහ දඬුවම් පැමිණවීම, රඳවා තබා ගැනීම යන කරුණු ප්‍රමුඛ සියළු කරුණු මූලික වශයෙන් පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් සකස් වී ඇති අතර, එම බලතල ආරක්ෂක අංශ විසින් සහ ආණ්ඩුව විසින් අයතා ලෙස උපයෝගී කර ගැනීමට ඇති අවස්ථාවන්ද පුළුල් වී ඇත.
අප සංගමයේ ස්ථාවරය වනුයේ මෙවැනි පනතක් අප රටට අවශ්‍ය නොවන බවයි. දැනට ඇති නීතිමය ප්‍රතිපාදනයන් අදාළ වැරදි පිළිබඳව ප්‍රමාණවත් බව දන්වා සිටිමු.
එබැවින් මෙම පනත ක්‍රියාවට පරිවර්තනය කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමු.

