යෝජිත ‘වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත’ සහ ත්‍රිත්ව නීතිමය මර්දනය: ඩිජිටල් සිවිල් අවකාශය සහ ප්‍රකාශනයේ නිදහස අනතුරක - CSMD

social-media-declaration

2026 ජූනි මස රජය විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද "ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත" මඟින් මෙරට ඩිජිටල් සිවිල් අවකාශය සහ ස්වාධීන මතධාරීන්ගේ ප්‍රකාශන අයිතිය දැඩි සීමා කිරීමකට ලක් කිරීමේ බරපතළ අවදානමක් පවතින බැවින්, ඒ පිළිබඳව 'සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සාමූහිකය' වන අපගේ දැඩි අවධානය මෙසේ ප්‍රකාශ කර සිටිමු. මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීමය ප්‍රමිති හදුන්වාදීමේ සහ පවත්වාගෙන යාමේ මුවාවෙන් කරළියට එන මෙම පනත් කෙටුම්පත, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී ස්වාධීන මාධ්‍යකරණය සහ වෘත්තීය විවේචනය සෘජුවම නිහඬ කරන මර්දනකාරී මෙවලමක් වීමේ ඉහළ විභවයක් පවතී.

මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු එහි ආරම්භක ක්‍රියාකාරීත්වයම සෘජු දේශපාලන මැදිහත්වීමකට ඉඩකඩ සලසන බව කරුණුමය වශයෙන් පැහැදිලි වේ. පනතේ 5(4) වගන්තියට අනුව, පනත ක්‍රියාත්මක වී පළමු වසර සඳහා පත් කෙරෙන “අතුරු සභාව” (Interim Council) සම්පූර්ණයෙන්ම විෂය භාර අමාත්‍යවරයාගේ බලපෑමට යටත් වේ. අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යවරයාගේ එකඟතාවය මත නම් කෙරෙන සාමාජිකයන්ගෙන් සමන්විත මෙම සභාවට, ස්ථිර සභාවේ සාමාජිකයන් තෝරා ගන්නා මූලික නිර්ණායක තීරණය කිරීමේ බලය පැවැරේ. මෙය ආයතනයේ මුල්ම අඩිතාලම ස්වාධීන වෘත්තීය මට්ටමකින් තොරව, දේශපාලනික අභිමතය පරිදි සැකසීමට මඟ පාදන්නකි.

මෙම තත්ත්වය තුළ, මෙම පනත් කෙටුම්පත හරහා විශේෂයෙන් ඩිජිටල් අවකාශයට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට සහ අන්තර්ගත නිෂ්පාදකයන්ට එල්ල වන ප්‍රධාන තර්ජන ත්‍රිත්වය මෙසේ පෙළගැස්විය හැකිය:

1. "මාධ්‍ය වෘත්තිකයා" අර්ථ දැක්වීම හරහා ඩිජිටල් නිර්මාණකරුවන් කොටු කිරීම

මෙම පනත් කෙටුම්පත මඟින් "මාධ්‍ය වෘත්තිකයා" යන නෛතික විෂය පථයට සාම්ප්‍රදායික මාධ්‍යවේදීන් පමණක් නොව, YouTube, Facebook සහ TikTok වැනි සබැඳි වේදිකාවල ක්‍රියාත්මක වන "අන්තර්ගතයන් තනන්නන්" සහ "අන්තර්ගත සංස්කාරකවරුන්" ද සෘජුවම ඇතුළත් කර ඇත. මතුපිටින් මෙය ඔවුන්ට ලැබෙන වෘත්තීය වටිනාකමක් හෝ ඇගයීමක් ලෙස පෙනුනද, එහි සැබෑ යටිඅරමුණ වන්නේ ස්වාධීන පුරවැසියන්ව ආයතනික සහ රාජ්‍ය නියාමන රාමුවකට නතු කර ගැනීමයි.

2. අවිනිශ්චිත "විෂමාචාර" රීති සහ විනය පාලනයේ අවදානම

පනත මඟින් පිහිටුවන පාලක සභාවට වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක් පැනවීමට සහ සාමාජිකයන්ගේ විනය පාලනය කිරීමට පූර්ණ බලය පැවැරේ. එහි ඇති බරපතළම නෛතික හිඩැස වන්නේ "වෘත්තීය විෂමාචාරය" යන්න පනත් කෙටුම්පත තුළ නිශ්චිතව අර්ථ දක්වා නොමැති වීමයි. පාලක සභාව විසින් පසුව සකසනු ලබන රීති මත මෙය තීරණය වීමට ඉඩ හැරීම නිසා, රජය හෝ දූෂිත නිලධාරීන් විවේචනය කරන ඕනෑම අන්තර්ගතයක් "ආචාර ධර්ම විරෝධී" හෝ "විෂමාචාරයක්" ලෙස අර්ථ දක්වමින් නිදහස් මාධ්‍යවේදීන් දඩයම් කිරීමේ පුළුල් දේශපාලන ඉඩකඩක් මේ හරහා නිර්මාණය වේ.

3. අනෙකුත් මර්දනකාරී පනත් සමඟ බද්ධ වන 'ත්‍රිත්ව නීතිමය තර්ජනය'

මෙම පනත මඟින් විනය පරීක්ෂණයකට යටත් කර යම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකුගේ වෘත්තීය ලියාපදිංචිය අවලංගු කළහොත්, එහි බලපෑම හුදෙක් ආයතනික දඬුවමකට පමණක් සීමා නොවේ. දැනටමත් බලාත්මක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත (Online Safety Act - OSA) සහ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සමඟ මෙම පනත එකිනෙක බද්ධ වන මාරාන්තික 'ත්‍රිත්ව නීතිමය උගුලක්' මෙහිදී සක්‍රීය වේ.

ප්‍රායෝගික නිදර්ශනයක් ලෙස: රජයේ මහා පරිමාණ දූෂණයක් හෙළි කරන ස්වාධීන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුගේ (YouTube) වෘත්තීය ලියාපදිංචිය මෙම පනත යටතේ "ආචාර ධර්ම උල්ලංඡනය කළා" යැයි පවසා ඔහුගේ වරලත් බලපත්‍රය අවලංගු කළ හැකිය. ඉන්පසු ඔහු නිල නොවන සාමාන්‍ය වැසියෙකු බවට පත් කර, ඔහු පළ කළේ ව්‍යාජ තොරතුරු බව පවසමින් Online Safety Act යටතේ එම අන්තර්ගතය අන්තර්ජාලයෙන් ඉවත් කර දඬුවම් පැමිණවිය හැක. එමෙන්ම, මෙම අනාවරණය නිසා මහජන අප්‍රසාදයක් මතු වුවහොත්, එය රාජ්‍ය විරෝධී හැඟීම් ඇවිස්සීමක් ලෙස අර්ථ දක්වා යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (සම්මත වුවහොත්) යටතේ වරෙන්තුවක් නොමැතිව ඔහුව අත්අඩංගුවට ගැනීමට ද ක්‍රමවේදය සකස් වේ.

අපගේ ඉල්ලීම සහ අවධාරණය

සමාජ වගකීමක් ඇති, මානව හිමිකම් මත පදනම් වූ ආචාරධර්ම සහිත සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන් පෙනී සිටින සහ ක්‍රියාත්මක වන සාමූහිකයක් ලෙස, එම ආචාරධාර්මික පදනම මත පිහිටා අපගේ අවධාරණය සිදු කරමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තියෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සෘජුව හෝ වක්‍රව තර්ජනයට ලක්වීමත්, නීතිමය දඬුවම්වලට ඇති බිය නිසා මාධ්‍යකරුවන්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තමන් විසින්ම තමන්ව වාරණය කරගන්නා "ස්වයං- වාරණයක" (Self-Censorship) අඳුරු යුගයක් මෙරට ඩිජිටල් අවකාශය තුළ නිර්මාණය කිරීමට මෙම පනත් එකතුවට පූර්ණ හැකියාව පවතී.

එබැවින්, වෘත්තීයභාවයේ නාමයෙන් සිවිල් අවකාශය සහ විවේචනය කිරීමේ අයිතිය අහුරන මෙම පනත් කෙටුම්පත වහාම හකුලා ගැනීමට කටයුතු කරන ලෙස ජාතික ජන බලවේගය ආණ්ඩුවට අප බලකර කියා සිටිමු. එමෙන්ම, මෙරට මාධ්‍ය නිදහස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම වෙනුවෙන් වහාම එකමුතුව පෙළගැසෙන ලෙස සියලුම සිවිල් සංවිධාන, මාධ්‍ය වෘත්තිකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුරවැසියන්ගෙන් 'සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සාමූහිකය' ලෙස අප ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමු.

The following organizations belong to this collective. Sri Lanka Working Journalists Association | Jaffna Press Club | Eastern Provinces Journalists Forum | Centre for Policy Alternatives | Human Elevation Organization | Movement for Land and Agricultural Reform | ActNow Youth Campaign | Wedabima Media collective | National Collaboration Development | Foundation Best Vision foundation | Internet Media Action | maatram.org | vikalpa.org | groundviews.org