මහරගම අපේක්ෂා රෝහලේ CT simulation පරීක්ෂණ යන්ත්‍රය බාරගැනීම අවුලකින් රෝගින් අමාරුවේ

ct-scanner

පිළිකා රෝග තත්ත්වයට පත් වූ රෝගීන්ගේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර සේවාව ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන් සිදු කළ යුතු CT පරීක්ෂණය සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන් 800ට වැඩිි ප්‍රමාණයක් දැඩි අසරණතාවයට පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයෙන් වැඩිදුරත් සඳහන් වන්නේ, CT Simulation පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය වන නව සිටී යන්ත්‍රය ස්ථාපනය කිරීම මේ වනවිට අවසන් වී ඇතත් එම යන්ත්‍රය රෝහලට භාර ගැනීම නිසි පරිදි සිදු නොවූයේ යැයි පවසමින් මෙලෙස සිටී පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාද වෙමින් පවතී. මේ වන විට ඉතා හදිසි පරීක්‍ෂණ පමණක් පෙට් scan යන්ත්‍රය භාවිතයෙන් සිදුවන නමුත් මෙමගින් බහුතර රෝගීන්ගේ ප්‍රතිකාර සිදුකිරීම සඳහා විසඳුමක් ලැබී නොමැත.

යන්ත්‍රය භාර ගැනීමේ කටයුත්ත සඳහා Acceptance කමිටුවක් පත් කිරීම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් ජුනි මස පළමු සතියේ සිදු කළත් රෝහලේ යම් පාර්ශවයකගේ බලපෑම් හේතුවෙන් මෙම යන්ත්‍රය භාර ගැනීමේ කටයුත්ත දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බව තොරතුරු වාර්තා වී ඇත. මෙවැනි යම් යම් පාර්ශවයන්ගේ බලපෑම් මත මෙලෙස රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඩාල වීම සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර සේවාව ආරම්භ කිරීමට පෙර ප්‍රතිකාරය සැලසුම් කිරීම සඳහා මෙම CT පරීක්ෂණය අනිවාර්යයෙන්ම සිදු කළ යුතු අතර මෙම පරීක්‍ෂණය ප්‍රමාද වීම මත රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාරය ප්‍රමාද වීම සිදුවීම බරපතල තත්වයකි.

මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කොට රෝගීන්ගේ ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන මෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නලින්ද ජයතිස්ස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී