සේවක අර්ථසාධක සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්වල මෙතෙක් කලක් පැවැති ව්යුහය වෙනස් කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ලංකා බැංකු සේවක සංගමය කියයි. වැඩකරන ජනතාවට අයත් විශාලතම අරමුදල්වල ව්යුහය වෙනස් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද එම සංගමය අවධාරණය කරයි. ඒ පිළිබඳව ලංකා බැංකු සේවක සංගමයේ ජ්යෙෂ්ඨ උප සභාපති අනුප නන්දුල කළ කතා බහක්
ඇත්තටම සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ පාලන ව්යුහය වෙනස් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තියෙනවා පමණක්ම නොවෙයි. ඒ අවශ්ය වෙනස්කම් කිරීම සඳහා ආණ්ඩුව පසුගිය දවසක කැබිනට් පත්රිකාවක් පවා සම්මත කරගත්තා. සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල කියන්නේ වැඩකරන ජනතාවට සම්පූර්ණයෙන්ම අයිති, රටේ තියෙන විශාලම අරමුදල් දෙකක්. පෞද්ගලික අංශයේ සේවකයින්ව ආරක්ෂා කළේත් මේ අරමුදල්වලින්ම තමයි. සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියන 5000කට සහ සේවක භාරකාර අරමුදල රුපියල් බිලියන 600කට ආසන්නයි. පෞද්ගලික අංශයේ සේවකයා සතුව පවතින එකම වත්කම මේ අරමුදල් පමණයි. ආණ්ඩුවට අත්තනෝමතික ලෙස ඒ අරමුදල් වලට අත තියන්න බැහැ. මේ ආණ්ඩුව වගේම
මීට පෙර පැවැති ආණ්ඩුත් මේ අරමුදල්වලට අත තියන්න උත්සාහ කළා. නමුත් වැඩකරන ජනතාවගේ මැදිහත්වීම නිසා ඒ සියලුම උත්සාහයන් අසාර්ථක වුණා. ඒ නිසා ඔවුන් ඒ යෝජනා හකුලා ගත්තා.
සේවක අර්ථසාධක අරමුදල මහ බැංකු පාලනයෙන් ඉවත් කිරීම, එය සමාගම් අයිතිකරුවන්ගෙන් සමන්විත ත්රෛපාර්ශ්වික කමිටුවකට පැවැරීම, සේවක අර්ථසාධක අරමුදලත් සේවක භාර අරමුදලත් යන අරමුදල් දෙක ඒකාබද්ධ කරන්න පුළුවන්ද කියන කරුණු අධ්යයනය කිරීමට කමිටුවක් පත් කිරීම හා සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම යන කරුණු අන්තර්ගත ලියවිල්ලක් තමයි කැබිනට් පත්රිකාව විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඇත්තටම ඒක ජාත්යන්තර මූල්ය අරමුදලේ යෝජනාවක් මත වෙන දෙයක්. මහ බැංකුව සතුව පවතින අරමුදල ලංකාවේ ප්රතිප්රාග්ධනය වෙනුවෙන් යොදවන්න පුළුවන් කියලා ජාත්යන්තර මූල්ය අරමුදල කියනවා. මේ අදහස පදනම් කරගෙන ලියවිලි තුනක් හදලා තියෙනවා. මේවා ඉදිරිපත් කරලා තියෙන්නේ මහ බැංකුව, ශ්රී ලංකා ප්රතිපත්ති අධ්යයන ආයතනය සහ ලංකා සේවා යෝජක සම්මේලනය හෙවත් හාම්පුතුන්ගේ සම්මේලනය කියන ආයතන තුනයි.
මහ බැංකුවට ළබැඳියාවන් අතර ගැටුමක් තියෙනවා. ඒ නිසා මහ බැංකුවේ පාලනයෙන් මේ අරමුදල් ඉවත් කරලා ඒවා සමාගම් අයිතිකරුවන්ගෙන් සමන්විත ත්රෛපාර්ශ්වික කමිටුවකට දීම, සේවක භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල එක අරමුදලක් බවට පත් කරන්න පුළුවන්ද කියන කාරණය සොයා බලන්න කමිටුවක් පත් කිරීම හා සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම කියන කාරණා තමයි ඒ ලියවිලි තුනේ අන්තර්ගත වෙලා තියෙන්නේ.
මහ බැංකුව එකවර ලංකාවේ රාජ්ය ණය කළමනාකාරිත්වය වගේම අර්ථසාධක අරමුදලේ ආයෝජකයා විදියටත් වැඩකරන එකයි ඔය ළබැඳියාවන් කියලා හඳුන්වලා තියෙන්නේ.
මහ බැංකුවේ පෙරකී ළබැඳියාවන් එකට පවත්වාගැනීම ඒවා අතර ගැටුමක් කියලා ආණ්ඩුවට උපදෙස් දෙන ලියවිලි තුනේම සඳහන් වෙලා තියෙනවා. ඒ වුණාට මේ කටයුතු කරන්නේ මහ බැංකුවේම එකකට එකක් සම්බන්ධයක් නැති අංශ දෙකකින්. ඒ නිසා බැලූ බැල්මට ළබැඳියාවක් තිබෙන බව පෙනුණාට සත්ය තත්ත්වය එය නොවෙයි.
සේවක අර්ථසාධක සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මහ බැංකුවෙන් ඉවත් කරලා.

රජය, හාම්පුතුන් සහ වෘත්තීය සමිති කියන කණ්ඩායම් තුනෙන් සැදුම්ලත් ත්රෛපාර්ශ්වික කමිටුව නියෝජනය කරන හාම්පුතුන්ට සේවක අර්ථසාධක සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්වල ආයෝජනයට මැදිහත් වීමට කිසිදු අයිතියක් නැහැ. ඒ අරමුදල් සියයට සියයක්ම අයිති වෙන්නේ එහි සාමාජිකයන් වන වැඩ කරන ජනතාවයි. රජය ජාත්යන්තර මූල්ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමේ අරමුණ ඇතිව මේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදල් බිලි දීමට කටයුතු කරමින් ඉන්නවා. වෘත්තීය සමිති හැටියට අපි ආණ්ඩුවේ ඒ උත්සාහයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
අනෙක ත්රෛපාර්ශ්වික කණ්ඩායමක් යටතට ඒ අරමුදල් පවරනවා කියන්නේ අරමුදල්වලට හාම්පුතුන් සම්බන්ධ වෙනවා කියන එකයි. ව්යාපාරික හාම්පුතුන් මේ අරමුදල්වලට සම්බන්ධ වීම හරහා අරමුදල් ඉදිරියේදී ආයෝජනය කරන ස්ථාන සම්බන්ධයෙන් ඔවුන්ට කලින්ම තොරතුරු දැනගන්නත් පුළුවන් වෙනවා. එහෙම වුණොත් මහ බැංකුව අර්ථසාධක අරමුදල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ස්ථාන හඳුනාගෙන, ඔවුන්ට පෙර එම තැන්වල ආයෝජනය කර ලාබ ලබන්නත් ඔය කියන පිරිසට හැකියාව තියෙනවා. එතකොට අර්ථසාධක අරමුදලට වෙන්නේ කඩාවැටී තිබෙන සමාගම්වල ආයෝජනය කරලා ඒ සමාගම් ගොඩදාන්න මිස ලාබ ලබන්න නොවෙයි.
ත්රෛපාර්ශ්වික ව්යුහයක් කියන්නේ රජය, හාම්පුතුන් සහ වෘත්තීය සමිති යන පාර්ශ්ව තුනම එකතු වී වැඩ කරන ක්රමයක්. ලෝක කම්කරු සංවිධානයේ 144 වෙනි ප්රඥප්තියට අනුව, කම්කරු නීති සහ ප්රතිපත්ති සකස් කරද්දී මෙවැනි ව්යුහයක් භාවිත කළ යුතුයි. එහිදී වෘත්තීය සමිතිවලට රජයටත් හාම්පුතුන්ටත් සමාන බලයක් තිබිය යුතුයි. නමුත් අපේ රටේ තියෙන ත්රෛපාර්ශවික ව්යුහයන් එකක්වත් එහෙම සමාන බලයක් තියෙන ඒවා නෙවෙයි. මේ ව්යුහයට එකතු වෙන්නේ මොන වෘත්තීය සමිතිද කියලා තීරණය කරන්නේ ආණ්ඩුව වීමයි එයට හේතුව. වෘත්තීය සමිති පැත්තෙන් බලද්දී අපේ රටේ මේ ක්රමය තියෙන්නේ ඉතාම දුර්වල මට්ටමකයි.
මේ රටේ වැඩ කළ හැකි පිරිස ලක්ෂ 80ක් පමණ වෙනවා. නමුත් සේවාවන්හි නියුක්තව ඉන්නේ ලක්ෂ 40ක් වැනි පිරිසක් පමණයි. එයිනුත් අරමුදල් වල සාමාජිකයෙන් වෙලා ඉන්නේ ලක්ෂ 25ක් වගේ පිරිසක්. ඒ අයගෙනුත් වෘත්තීය සමිතිවල ඉන්නේ ලක්ෂ 5ක් වැනි සුළු පිරිසක් පමණයි. එයිනුත් වැඩි පිරිසක් ඉන්නේ ආණ්ඩුවලට අයත් වෘත්තීය සමිතිවලයි. මේ නිසා නිවැරදිම කම්කරු නියෝජනයක් මේ ව්යුහය තුළට ගේන්න අපහසුයි. අනෙක ත්රෛපාර්ශ්වික ව්යුහයක් නිර්මාණය වුණොත් තවදුරටත් කම්කරු දෙපාර්තමේන්තුව අවශ්යද කියන ප්රශ්නයත් ඇතිවෙනවා .
ත්රෛපාර්ශ්වික ව්යුහය පවතින්නේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල පවත්වාගෙන යන්නයි. ඒ අරමුදලේ අයිතිය තියෙන්නේ භාණ්ඩාගාරයටයි. රටේ වැඩ කරන පිරිස ලක්ෂ 40ක් පමණ වුණාට, අරමුදලේ සාමාජිකයන් වෙලා ඉන්නේ ලක්ෂ 25ක් විතරයි. ඉතිරි ලක්ෂ 10-15ක් ස්වයං රැකියා කරන අයයි. ඊට අමතරව, සමහර අය රැකියා කළත් ඔවුන්ගේ සේවායෝජකයන් (හාම්පුතුන්) අරමුදලට මුදල් ගෙවන්නේ නැතිවෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවලදී නීතිය පාවිච්චි කරලා බලහත්කාරයෙන් ඒ මුදල් අයකරලා දෙන්නේ කම්කරු අමාත්යාංශයයි. ඒ නිසා කම්කරු අමාත්යාංශය මේ අරමුදලෙන් ඉවත් කළොත් සේවකයන්ට බරපතල අසාධාරණයක් වෙනවා. කම්කරු අමාත්යාංශයත් මහ බැංකුවත් අරමුදල්වලින් ඉවත් කිරීම වහාම නතර කරන්න කියලයි වෘත්තීය සමිති ලෙස අපි ඉල්ලන්නේ.
සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කරලා තියෙනවා. අරමුදලට කීප අවස්ථාවකම පාඩු වී තිබෙන බව ඒ වාර්තා තුළ තියෙනවා. මේ අරමුදලින් සියයට 90ක් පමණ තිබිය යුත්තේ රාජ්ය ගිණුම්වල, භාණ්ඩාගාර බිල්පත්වල හෝ බැඳුම්කරවලයි. කොටස් වෙළඳපොළේ හෝ වෙනත් ආයතනවල ආයෝජනය කරන්න සියයට දහයකට ඉඩ දීලා තියෙනවා. ප්රශ්නය ඇති වෙලා තියෙන්නේ ඒ සියයට 10 තුළයි. මහ බැංකුව තනිව කළ ආයෝජනවලට වඩා, ඒ කාලයේ බලයේ සිටි ආණ්ඩු විසින් කළ බලපෑම් මත තමයි මේ ආයෝජන වෙලා තියෙන්නේ. දැන් වගේ නෙවෙයි, ඒ කාලේ මහ බැංකුව ස්වාධීන නැහැ. අදත් බැලුවොත් සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 6ක් පිටත ආයෝජනය කරලා තියෙනවා.
අනෙක මේ අරමුදලට ලංකාවේ ප්රතිපත්ති පොලී ප්රතිශතය පාලනය කරමින් රටේ ආර්ථිකයේ පොලී අනුපාතිකය පහළ තබා ගැනීමේ හැකියාවකුත් තිබෙන බවත් මම මෙහිදී මතක් කරන්න කැමැතියි. මෙතරම් විශාල අරමුදලක් ආයෝජනය කිරීමේ දැනුම තියෙන්නේත් මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පමණයි. මොකද 1958 සිට මේ දේවල් ක්රියාත්මක කරලා ඔවුන්ට විශාල අත්දැකීම් සමුදායක් තියෙනවා. මෙවැනි වටපිටාවක් තුළ මහ බැංකුවෙන් මේ අරමුදල ඉවත් කිරීම ඉදිරියේදී විශාල අවුලක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මහ බැංකුව වගකීම සහ වගවීම කියන කාරණා යටතේ නීති සකස් කර හෝ රදවා ගත යුතුයි කියලයි අපි කියන්නේ. මහ බැංකුව තුළ දූෂණ අක්රමිකතා වී තිබේ නම් කෝපා, කෝප් වැනි කමිටු තුළදී ඒ ගැන ප්රශ්න කරන්න පුළුවන්.
සේවක අර්ථසාධක අරමුදල හදන්නේ පෞද්ගලික අංශයේ සහ රජයේ ව්යවස්ථාපිත මණ්ඩල සේවකයින්ගේ විකල්ප විශ්රාම ක්රමයක් ලෙසටයි. මෙය අවුරුදු 55න් පසුවයි ගන්න පුළුවන් වෙන්නේ. නමුත් රැකියාවෙන් ඉවත් වෙලා වෙනත් රැකියාවකට යන විටත් සේවා භාර අරමුදලේ සල්ලි ගන්න පුළුවන්. එවැනි අරමුදල් දෙකක් එකතු කරන එකෙන් සේවකයින්ට බොහෝ ප්රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.
ශ්රියානි විජේසිංහ සමඟ "අරුණ" පුවත්පත සමග කළ සාකච්ඡාවකි
