ජනමතමයට හිස නමනු  - GMOA ඉල්ලයි

ජනමතමයට හිස නමනු  - GMOA ඉල්ලයි
ආණ්ඩුව වහාම ජනමතයට හිස නමා රට ස්ථාවර කිරීමට පියවර ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
කරුණු අටකින් සමන්විත යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය මතය ප්‍රකාශ කර තිබේ. 
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය මෙසේය.
 
 
රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය රජකරවූ මර්දනකාරී ආණ්ඩුව ජන මතයට හිසනවනු.
---------
වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමනාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව දරුණු ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට මුහුණදී සිටින මේ මොහොතේ රටේ ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී පවතින තත්ත්වය විශ්ලේෂණය කොට රට වෙනුවෙන් ස්වාධීන සහ විද්වත් මතයක් සෑම විටම පෙන්වා දුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපගේ භූමිකාව සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ දිනයේ දී පැවැත්විණි.
 
එහිදී පහත සඳහන් තීරණ වලට එලඹෙන ලදී.
 
1. පවතින අර්බුදකාරී වාතාවරණය තුළ ජනතාවගේ ප්‍රබලතම ඉල්ලීම වනුයේ වත්මන් ජරාජීර්ණ පාලන ක්‍රමය වෙනස් කර ඒ වෙනුවට රටට හිතැති දේශපාලන ක්‍රමයක් බිහි කළ යුතුය යන්නයි. රජය මර්දනය සහ ප්‍රචණ්ඩත්වය මුදා හැර ජනතා අරගලය යටපත් කිරීමට උත්සාහ ගන්නා බව පෙනේ. ගාලු මුවදොර පිටියේ සාමකාමී අරගලයේ සිට රඹුක්කන නගරයේ ජිවිත අහිමි වූ සිදුවිම් දාමය දක්වා ප්‍රකාශිත ජනතා අභිලාෂය රජය හෝ විපක්ෂය මෙතෙක් හඳුනාගෙන නැත. අතිපුජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ අති උතුම් කාදිනල් හිමිපාණන් ඇතුළු පූජ්‍ය පක්ෂය ද මේ සම්බන්ධයෙන් තම මතය රටට පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එබැවින් රට අස්ථාවර කල, ප්‍රතිපත්තියකින් තොර, මර්දනකාරී රජය වහාම ජන මතයට සහ ආගමික නායකයන්ගේ මතයට හිස නැමිය යුතුය.
 
2. ජනතා ගැටළු වලට සැබෑ විසඳුම් ලබා නොදී තවදුරටත් පටු න්‍යාය පත්‍ර ඔස්සේ පක්ෂ දේශපාලනයේ නිරත වීම පසෙකලා පක්ෂ විපක්ෂ සියලු පාර්ලිමේන්තු නියෝජිතයන්  එක්වී පවතින දේශපාලනය අස්ථාවරත්වය අවසන් කිරීම සඳහා වහාම විසඳුම් ලබා දිය යුතුය.
 
3. ජනතාව ඉල්ලා සිටින ප්‍රතිපත්තිගරුක දේශපාලන ක්‍රමවේදය රටට හඳුන්වා දිය යුතුය. එහිදී විගණනයට යටත් වන, අවම ප්‍රමිතියක් සහිත, වගවීම දරන, කාර්යසාධනය ඇගයීමට ලක් කළ හැකි සහ දුෂිත, අසමත් දේශපාලනඥයින් ඉවත් කළ හැකි පාලන ක්‍රමවේදයක් රට තුළ ස්ථාපනය කළ යුතුය.
 
4. පවතින ඖෂධ සහ ඉන්ධන හිඟය හමුවේ සැලසුම් සහගත ලෙස සෞඛ්‍ය පද්ධතිය බිඳවට්ටවා, ආර්ථික කළමනාකරණයට මුවා වී නිදහස් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන ඕනෑම මොහොතක එය පරාජය කිරීමට ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹීමට මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.
 
5. පවතින ආර්ථික අර්බුදය හමුවේ වේගයෙන් ඉහළ යන උද්ධමනයත්, ජීවන වියදමත් සමග දැඩි පීඩාවට පත්ව ඇති රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික සහ දෛනික වැටුප් ලබන සියලුම පුරවැසියන්ගේ ජීවන වියදම් ගැටලුව සඳහා උද්ධමනයට සමානුපාතික ආදායමක් හිමිවන සාධාරණ විසඳුමක් ව්‍යවස්ථාදායකය විසින් ලබාදිය යුතුය.
 
6. නැවතත් භීෂණකාරී යුගයක් උදා වීම වැළැක්වීම සඳහා රඹුක්කන අවාසනාවන්ත සිදුවීම පිළිබඳ ස්වාධීන සහ සාධාරණ විමර්ශනයක් සිදුකර සියලු වරදකරුවන් සඳහා දැඩි දඬුවම් ලබා දිය යුතුය.
 
7. ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අරගල කරන සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සහ භාෂණයේ නිදහස තහවුරු කළ යුතුය.
 
8. දැනුම් ආර්ථිකය තුළ විදේශ විනිමය ඉපයීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය යොදා ගත හැකි ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සැකසීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අනුකමිටුවක් පිහිටවන ලදී. එහි සවිස්තරාත්මක යෝජනාවලිය ඉදිරි සතියේදි සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමට කටයුතු කරනු ලැබේ.  
 
වත්මන් අර්බුදය සඳහා පවතින ව්‍යවස්ථා රාමුව තුළ විසඳුම් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් පත්කරන ලද කමිටුවක් මේ වන විටත් යෝජනාවලියක් සකස් කරමින් තිබෙන අතර එය ඉදිරි සතියේ දී සියලු දේශපාලන පක්ෂ නායකයින් සහ ජනතාවට එළිදැක්වීමට නියමිතය. 
 
20 වෙනි දිනයේ රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ජනතා අරගලයට එරෙහිව දියත් වන මර්දනය සහ ප්‍රචණ්ඩත්වය හෙලා දකිමින්, ප්‍රතිපත්තිගරුක රටක් බිහි කිරීම සඳහා වර්තමාන රජය සහ අද වන විට රට මුහුණ දෙමින් තිබෙන තත්ත්වයට වගකිව යුතු සියලු දේශපාලඥයින් ජනමතයට හිස නමා රට ස්ථාවර කරන තෙක් රට පුරා අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.
 GMOA1
 
GMOA2
වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු
ලේකම් 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය