ශ්‍රේෂ්ඨාධිකරණයේ SC/FR 23/2014 තීන්දුව වහාම ක්‍රියාත්මක කර කුසලතා මත පදනම් වූ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ,
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් SC/FR 23/2014 මූලික අයිතිවාසිකම් නඩුවේ ලබාදුන් තීන්දුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ සමානාත්මතාව, නීතියේ ආධිපත්‍යය සහ කුසලතා මත පදනම් වූ පරිපාලන ක්‍රමවේදයක් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් වැදගත් නීතිමය මාර්ගෝපදේශයක් ලෙස සලකයි.
මෙම තීන්දුවේ හරය වන්නේ රාජ්‍ය පරිපාලන තනතුරු සඳහා පත්වීම් සහ උසස් කිරීම් සිදු කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 12(2) වගන්තිවල සමානාත්මතා මූලධර්මයට අනුකූලව කටයුතු කළ යුතු බවයි. පත්වීම් නීතිය, සුදුසුකම්, පළපුරුද්ද සහ සේවා අවශ්‍යතා මත පදනම් විය යුතුය.
ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග හමුවේ වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකරණ, සැලසුම්, විද්‍යාත්මක, කෘෂිකාර්මික සහ අනෙකුත් දීප ව්‍යාප්ත සේවාවන්හි වෘත්තීය නිලධාරීන්ගේ දැනුම සහ පළපුරුද්ද උපරිම ලෙස භාවිතයට ගැනීම ජාතික අවශ්‍යතාවයකි. කුසලතා මත පදනම් වූ නායකත්වය රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, වගවීම සහ ජනතා විශ්වාසය ඉහළ නංවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපි රජයෙන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මූලධර්මවලට අනුකූලව පත්වීම් හා උසස් කිරීම් ක්‍රමවේදය සමාලෝචනය කර සියලු දීප ව්‍යාප්ත සේවාවන්ට සාධාරණ අවස්ථා තහවුරු කරන ලෙසයි.
අපගේ අරමුණ කිසිදු සේවාවක අයිතිවාසිකම් අවම කිරීම නොව, සියලු වෘත්තීය සේවාවන්ගේ දැනුම හා කුසලතා උපයෝගී කරගනිමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබාදීමයි.
- නීතියේ ආධිපත්‍යය සුරකිමු.
- සමාන අවස්ථා තහවුරු කරමු.
- කුසලතාවයට ගරු කරමු.
- කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනගමු.

