විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ලබාදෙන පහසුකම් යනු ඔවුන්ට පෞද්ගලික වරප්‍රසාද ලබාදීමක් නොව, ඔවුන්ගේ සේවය රටේ සෑම ප්‍රදේශයකම ජනතාවට ලබාගත හැකි වන පරිදි සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කරන ජාතික ආයෝජනයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ,
සංවර්ධිත රටවලට සාපේක්ෂව අඩු ඒක පුද්ගල සෞඛ්‍ය වියදමක් යටතේ වුවද, එම රටවලට සමාන මට්ටමේ සෞඛ්‍ය දර්ශක පවත්වා ගනිමින් නිරෝගී සහ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතියේ සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. ඒ අතරින් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත වෘත්තීය නායකත්වය ලබා දෙමින් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය හා අඛණ්ඩතාව තහවුරු කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඉටු කරන කාර්යභාරය අතිශය වැදගත් වේ.
ලොව පිළිගත් ඉහළම වෛද්‍ය විද්‍යාත්මක සුදුසුකම් සම්පූර්ණ කර, විදේශ රටවලදී පවා විශේෂ පුහුණුව ලබා, ඉහළ වෘත්තීය නිපුණතාවයකින් යුතුව රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක්වන මෙම විශේෂඥ වෛද්‍යවරුන්ට විදේශ රටවලදී ඉතා ඉහළ වැටුප්, දීමනා සහ වෘත්තීය අවස්ථා හිමිවීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ තිබියදීත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විදේශීය වෘත්තීය අවස්ථා අත්හැර සිය මව්බිමට පැමිණ ශ්‍රී ලාංකික ජනතාවට සේවය කිරීමට තෝරා ගැනීම සුවිශේෂී ජාතික සේවයකි.
මෙවැනි විශේෂ පුහුණුව ලත් වෘත්තිකයන් සෞඛ්‍ය පද්ධතිය තුළ රඳවා ගැනීමත්, ඔවුන්ගේ සේවය රටේ සියලු ප්‍රදේශවල ජනතාවට ලබාගත හැකි වන පරිදි නිසි ලෙස ස්ථානගත කිරීමත් ඕනෑම රටකට අභියෝගාත්මක කාර්යයකි. එබැවින්, දුෂ්කර හා දුරස්ථ ප්‍රදේශවල සේවය කිරීමට ඔවුන් දිරිමත් කිරීම සහ පද්ධතිය තුළ රඳවා ගැනීම සඳහා බොහෝ රටවල් විශේෂිත මූල්‍යමය හා මූල්‍යමය නොවන දිරිගැන්වීම් ලබා දෙයි. එහෙත් ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් දීර්ඝ කාලයක් පුරා රටේ සෑම ප්‍රදේශයකම, විශේෂයෙන් දුෂ්කර හා දුරස්ථ ප්‍රදේශවල, අඛණ්ඩව සේවය ලබාදී තිබුණද, එම සේවය වෙනුවෙන් ඔවුන්ට සාධාරණ විශේෂිත දීමනා හෝ වරප්‍රසාද ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත.
විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ හඳුනාගත් විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා 1999 වර්ෂයේ සිට 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන පහසුකම් හෝ ඒ වෙනුවට අදාළ දීමනා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර, එම චක්‍රලේඛයේ සඳහන් සුදුසුකම් සපුරාලන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා මේ දක්වා එවැනි ප්‍රවාහන පහසුකමක් හෝ ප්‍රවාහන දීමනාවක් ලබා නොදීම බරපතළ අසාධාරණයකි. වෘත්තීය සුදුසුකම්, වගකීම් සහ සේවා ස්වභාවය සැලකීමේදී විශේෂඥ වෛද්‍යවරුන් ඊටත් වඩා ඉහළ වෘත්තීය වගකීම් දරන පසුබිමක මෙම තත්ත්වය තවදුරටත් සාධාරණීකරණය කළ නොහැක.
උදාහරණයක් ලෙස, බස්නාහිර පළාතේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකුට යාපනය, මොනරාගල හෝ අම්පාර වැනි දුරස්ථ හා දුෂ්කර ප්‍රදේශයක සේවයට වාර්තා කිරීමට සිදුවිය හැකි අතර, එවැනි අවස්ථාවක රාජකාරි ස්ථානයට යාම සහ නැවත පැමිණීම සඳහා වැයවන සම්පූර්ණ ප්‍රවාහන වියදම පෞද්ගලික වැටුපෙන් දැරීමට සිදුවේ. මෙවැනි දීර්ඝ දුර ගමන් නිරන්තරයෙන් සිදුකිරීමෙන් ඇතිවන ශාරීරික හා මානසික පීඩනයට අමතරව, දිගු වේලාවක් රිය පැදවීම හේතුවෙන් මාර්ග අනතුරුවලට ලක්වී ජීවිතයට පවා බරපතළ තර්ජනයක් ඇතිවිය හැකිය. මෑත කාලීනව ඉන්ධන මිල සහ අනෙකුත් ප්‍රවාහන වියදම් ඉහළ යාමත් සමඟ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ට තම මාසික වැටුපෙන් සැලකිය යුතු කොටසක්, ඇතැම් අවස්ථාවලදී අඩකට ආසන්න ප්‍රමාණයක් පවා, ප්‍රවාහනය සඳහා වැය කිරීමට සිදුව ඇත. එවැනි ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් බොහෝවිට මාසය පුරා අඛණ්ඩව සේවය කිරීමටත්, හදිසි අවශ්‍යතා සඳහා ඕනෑම වේලාවක සේවයට කැඳවිය හැකි තත්ත්වයක සිටීමටත් බැඳී සිටීම මෙම ගැටලුව තවදුරටත් බරපතළ කරයි.
දැනට පවතින නීතිමය හා පරිපාලන පසුබිම තුළම 22/99 චක්‍රලේඛයේ අදාළ ප්‍රතිපාදන යටතේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් හෝ ප්‍රවාහන දීමනාවක් ලබාදීමට කටයුතු කළ හැකි වුවද, මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකර ඇති ඉල්ලීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. මෙවැනි තත්ත්වයන් දුෂ්කර ප්‍රදේශවල සේවය කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් අධෛර්යමත් කිරීමටත්, විදේශ පුහුණුවෙන් අනතුරුව නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන වෛද්‍යවරුන්ට අහිතකර පණිවිඩයක් ලබාදීමටත්, දැනට සේවයේ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට විදේශීය වෘත්තීය අවස්ථා සොයා යාමටත් හේතුවක් විය හැකිය.
ඒ අනුව, 22/99 චක්‍රලේඛයේ අදාළ ප්‍රතිපාදන යටතේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් හෝ සාධාරණ ප්‍රවාහන දීමනාවක් කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම්, වගකීම් සහ සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඔවුන් රට තුළ රඳවා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අපි අවධාරණයෙන් ඉල්ලා සිටිමු.
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ලබාදෙන පහසුකම් යනු ඔවුන්ට පෞද්ගලික වරප්‍රසාද ලබාදීමක් නොව, ඔවුන්ගේ සේවය රටේ සෑම ප්‍රදේශයකම ජනතාවට ලබාගත හැකි වන පරිදි සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කරන ජාතික ආයෝජනයකි.
