"UPTO"  වෘත්තීය සමිති ඉතිහාසය අලුත් කරයි

"UPTO"  වෘත්තීය සමිති ඉතිහාසය අලුත් කරයි
  • විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (UPTO) සාම්ප්‍රදායික වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයෙන් ඩිජිටල් යුගයට තැබූ විශිෂ්ට පියවරක්.
  • ‘Smart UPTO’ සමඟින් මාර්ගගත නිලවරණයකින් දැවැන්ත ජයග්‍රහණයක් ලද තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ නව්‍යකරණයයේ නැවුම් අත්දැකීම...

සාමාජිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන වෘත්තීය සමිතියක සැබෑ ශක්තිය වන්නේ එහි සාමාජිකත්වයයි. සාමාජිකයාට තම අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් තිබීමත්, තමන් වෙනුවෙන් වෘත්තීය සමිතිය ලබාදෙන සේවාවන් හා සහන පිළිබඳ නිවැරදි තොරතුරු පහසුවෙන් ලබාගැනීමට හැකිවීමත් අතිශයින් වැදගත්ය. කාර්යක්ෂමතාව, තීරණ ගැනීමේ විනිවිදභාවය සහ වෙනස් වන තාක්ෂණය සමඟ ඉදිරියට යාමේ හැකියාව ද ඒ සඳහා වැදගත් වේ.

එම අරමුණු පෙරදැරි කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (UPTO) සිය පරිපාලන කටයුතු ඩිජිටල්කරණය කරමින් ‘Smart UPTO’ පද්ධතිය හඳුන්වා දී තිබේ. මෙම වැඩපිළිවෙලේ ඵලදායී කාර්යභාරයන් අතර ව්‍යත්තීය සමිති ඉතිහාසයේ පළමුවරට සංගමයක නිලවරණයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ (ONLINE) පැවැත්වීමේ සුවිශේෂී කාර්යභාරය 2026.09.01 දින තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (UPTO) විසින් සිදුකර තිබීම සමස්ථ ව්‍යත්තීය සමිති ව්‍යාපාරයම නව මාවතක් කර යොමු කරන ලද සන්ධිස්ථානයක් ලෙස පෙන්වාදිය හැකිය.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (UPTO) වැනි දීපව්‍යාප්ත ස්වාධීන ව්‍යත්තීය සංගමයකට තම නිලවරණය තුලින් සමස්ථ සාමාජිකයාටම තම නායකයින් තොරාගැනීමේ අවස්ථාව ලබාදීමේදී මතුවන ගැටලු රැසකට මෙම ක්‍රමට තුලින් පහසු විසදුම් ලබාදී තිබේ.  රටපුරා එකවර ජන්දය පැවැත්වීමේදී සාම්ප්‍රදායික නිලවරණයකදී සාමාජිකයන් එක් ස්ථානයකට රැස් කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සහ ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළු කාර්යයන් රැසක් සිදු කළ යුතුය. දුර බැහැර ප්‍රදේශවල සේවය කරන හෝ රාජකාරි කටයුතු හේතුවෙන් නියමිත ස්ථානයට පැමිණීමට අපහසු සාමාජිකයන්ට ද එය අභියෝගයක් විය හැකිය. මේ සියලු අභියෝග තාක්ෂණය සමග ජයග්‍රහණය කරමින් මාර්ගගත ඡන්ද ක්‍රමය භාවිතා කළ පළමු අවස්ථාවේදීම 75% කට අධික සාමාජික සංඛ්‍යාවක්  මේ හරහා ජන්දය ප්‍රකාශ කිරීම තුලින් එය සාමාජිකයාට කෙතරම් සුවපහසු නවුම් අත්දැකීමක් ද යන්න පැහැදිලිය.

මෙය හුදෙක් වෙබ් අඩවියක් හෝ ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමක් ලෙස සීමා කළ නොහැකිය. දශක ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ පවත්වාගෙන ආ වෘත්තීය සමිති පරිපාලනය, සාමාජික සේවාවන් සහ තොරතුරු හුවමාරුව නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරමින් සිදුකරන ලද පරිවර්තනීය වැඩපිළිවෙළක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

‘Smart UPTO’ යනු මාර්ගගත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් නිර්මාණය කළ පද්ධතියක් නොවේ. සංගමයේ පරිපාලන හා සාමාජික සේවා රැසක් එකම ඩිජිටල් වේදිකාවක් ඔස්සේ කළමනාකරණය කිරීම එහි ප්‍රධාන අරමුණකි.

සාමාජික තොරතුරු සහ පරිපාලන දත්ත ඩිජිටල් ආකාරයෙන් පවත්වාගෙන යාම, සංගමයේ වැඩසටහන් සංවිධානය කිරීම, ගිණුම් හා මූල්‍ය වාර්තා ලබාගැනීම, මරණ සහ වෛද්‍ය ආධාර සඳහා මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම වැනි පහසුකම් එයට ඇතුළත් වේ. සාමාජිකයන්ට තම ණය පහසුකම්, වාරික සහ ඉතිරි ශේෂ පිළිබඳ තොරතුරු ලබාගැනීමට මෙන්ම විශ්‍රාම පාරිතෝෂිකයට අදාළ තොරතුරු පරීක්ෂා කිරීමට ද පද්ධතියෙන් පහසුකම් සලසා තිබේ.

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් දක්ෂතා දක්වන සාමාජික දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව අයදුම්පත් ඉදිරිපත් කිරීමේ පහසුකම ද මෙහි ඇතුළත්ය. කෙටි පණිවිඩ දැනුම්දීම් හරහා සාමාජිකයන්ට අවශ්‍ය තොරතුරු ලබාදීම මඟින් සංගමය හා සාමාජිකයන් අතර සන්නිවේදනය පහසු කිරීමට ද අපේක්ෂා කෙරේ.

සයිබර් ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා CERT තහවුරු කිරීම

මාර්ගගත පද්ධතියක් භාවිතයට ගැනීමේදී එහි පහසුකම් මෙන්ම තොරතුරු ආරක්ෂාව ද ප්‍රමුඛ අවධානයට ලක් විය යුතු කරුණකි. විශේෂයෙන්ම සාමාජික තොරතුරු, පරිපාලන දත්ත සහ නිලවරණ ක්‍රියාවලියට අදාළ තොරතුරු පවත්වාගෙන යන පද්ධතියක ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.

ඒ සම්බන්ධයෙන් වැදගත් පියවරක් ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් ‘Smart UPTO’ පද්ධතිය සඳහා අවදානම් දුර්වලතා ඇගයීමක් සහ විනිවිදීමේ පරීක්ෂණයක් (Vulnerability Assessment and Penetration Test – VAPT) සිදු කර තිබේ. 2026 ජූලි 24 දින ආරම්භ කළ එම ඇගයීමේ අවසන් වාර්තාව 2026 අගෝස්තු 24 දින සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා වෙත භාර දී ඇති බව ශ්‍රී ලංකා CERT ආයතනය 2026 සැප්තැම්බර් 15 දිනැති ලිපියෙන් සඳහන් කරයි.

එම ලිපියට අනුව, පරීක්ෂණයේදී හඳුනාගත් සියලු දුර්වලතා සාර්ථකව නිවැරදි කර ඇති බව තහවුරු කර තිබේ. ඒ අනුව, සයිබර් ආරක්ෂණ දෘෂ්ටිකෝණයෙන් ‘Smart UPTO’ පද්ධතිය ආරක්ෂිත හා සැබෑ භාවිතයට සූදානම් පද්ධතියක් ලෙස සැලකිය හැකි බව ශ්‍රී ලංකා CERT ආයතනය දන්වා ඇත.

මෙය පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වෘත්තීය ඇගයීමකි. එහෙත් ඕනෑම ඩිජිටල් පද්ධතියක ආරක්ෂාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. පද්ධතියේ ක්‍රියාකාරීත්වයට හෝ එය පවත්වාගෙන යන තාක්ෂණික පරිසරයට සැලකිය යුතු වෙනස්කම් සිදු කළහොත් නැවතත් සුදුසු ආරක්ෂක ඇගයීම් සිදු කිරීමේ අවශ්‍යතාව ද ශ්‍රී ලංකා CERT ලිපියෙන් අවධාරණය කර තිබේ. එය තාක්ෂණය වගකීමෙන් භාවිත කිරීම සඳහා අනුගමනය කළ යුතු වැදගත් පිළිවෙතකි.

ජාත්‍යන්තර අත්දැකීම් සමඟ සාමාජික කේන්ද්‍රීය අනාගතයක්

වෘත්තීය සමිතියක තාක්ෂණික දියුණුවේ සැබෑ වටිනාකම ඇත්තේ එමඟින් සාමාජිකයාට ලැබෙන ප්‍රතිලාභ තුළය. තොරතුරු ලබාගැනීමට පහසු වීම, අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සරල වීම, පරිපාලන කටයුතු වඩාත් විධිමත් වීම සහ නිලවරණයට සහභාගී වීමේ බාධා අඩු වීම එහි ප්‍රායෝගික ප්‍රතිඵල වේ. මේ සියල්ලේ සැබෑ වටිනාකම වන්නේ සාමාජිකයාට තමන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා අනවශ්‍ය කාලයක්, ශ්‍රමයක් සහ ගමන් වියදමක් වැය කිරීමට සිදු නොවීමයි. තොරතුරු ලබාගැනීමේ පහසුව සමඟම සාමාජිකයා සහ වෘත්තීය සමිතිය අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වීමයි.

‘Smart UPTO’ හරහා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය තබා ඇති මෙම පියවර, සාම්ප්‍රදායික වෘත්තීය සමිති පරිපාලනයෙන් ඩිජිටල් ක්‍රමවේද වෙත යොමුවීමේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එය දිගුකාලීනව සාර්ථක කරගැනීම සඳහා තාක්ෂණික ආරක්ෂාව අඛණ්ඩව පවත්වාගෙන යාම, සාමාජිකයන්ගේ විශ්වාසය දිනාගැනීම සහ පද්ධතිය ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.

අවසානයේ කිව යුත්තේ SMART UPTO යනු එක් වෘත්තීය සමිතියක තාක්ෂණික ජයග්‍රහණයක් පමණක් නොවන බවයි. එය ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට නව මඟක් පෙන්වන පූර්වාදර්ශයකි.

සාමාජිකයා වෙත තොරතුරු ගෙන යන, සාමාජිකයාගේ අයිතිවාසිකම් පහසු කරන, සාමාජික සහභාගිත්වය පුළුල් කරන සහ වෘත්තීය සමිතිය නවීන ලෝකයට ගෙන යන ගමනක ආරම්භයකි.

සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් නවීනත්වය වැළඳගැනීමේ මෙම අභියෝගය සාර්ථකව භාරගත් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ (UPTO) වෙත අපගේ ප්‍රශංසාව හිමිවිය යුතුය.

SMART UPTO – තාක්ෂණයෙන් සම්බන්ධ වන සාමාජිකත්වයක්, විනිවිදභාවයෙන් ශක්තිමත් වන වෘත්තීය සමිතියක්!

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image