සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට පොලිසියෙන් හිරිහැර හා බාධා (VIDEO)

සියළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට මහමඟදී සමාන සැලකිල්ලක් දැක්වීමට අදාල පොලිස් නිළධාරීන් දැනුවත් කරන ලෙසත් එසේ නොවන්නේ නම්, ඊට එරෙහිව සාමුහික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති තීරණය කර ඇති බව පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය කියා සිටී.

පොලිස්පතිවරයා වෙත යැවූ ලිපිය පහතින් දැක්වේ.

රෝහල් වලට පැමිණෙන සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට මහමඟදී පොලීසිය විසින් හිරිහැර හා බාධාවන් ඇති කිරීම.

සෞඛ්‍ය සේවාවන් සඳහා සිය වාහන වලින් සෞඛ්‍ය ආයතන කරා පැමිණෙන වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්යය මණ්ඩලය මහමඟදී පොලීසිය විසින් වලක්වනු ලබන බවත් අනවශ්‍ය ප්‍රශ්ණ කිරීම් සහ හිරිහැර බාධාවන් ඇති කරන බවත් අප වෙත වාර්තා වී ඇත. ඒ අනූව ඇතැම් පොලිස් නිළධාරීන්ගේ මතය වී ඇත්තේ සෞඛ්‍ය ආයතන ලාංඡනයක් සහිත අවසරපතක් පතක් සහිත වාහන වල ගමන් කල හැක්කේ වෛද්‍ය නිළධාරීන්ට පමණක් බවත් අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්ය මණ්ඩල ඊට අයත් නොවන බවත්ය.

මෙහිදී, සෞඛ්‍ය සේවාව යනු සාමුහික සේවාවක් බවත් එය වෛද්‍ය නිළධාරීන් විසින් පමණක් ආවරණය නොකරන බවත් පොලිස් නිළධාරීන් සහා අවබෝධයක් ලබා දෙන ලෙස අප විසින් ඉල්ලා සිටිමු. එසේම ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක රෝහල් ලාංඡන සහිත වාහන පරීක්ෂා කිරීමක් ගැන සඳහන් කිරීමේදී අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන්ගේ නම් සඳහන් නොකිරීම ඊට හේතුවක් විය හැකි බව පෙනෙන්නට තිබෙන නමුත් මාධ්‍යයට නිකුත් කරන සාමාන්‍ය ප්‍රකාශයක් එලෙස රටේ නීතියක් බවට පරිවර්තනය කර ගැනීම අතිශය බරපතල තත්ත්වයකි.

එසේම, සෞඛ්‍ය ආයතනයක් විසින් වාහන අවසර පත්‍රයක් නිකුත් කිරීම මඟින් පුද්ගලයෙකුගේ තරාතිරම මැනීම අපේක්ෂා නොකරන අතර එය එම වාහනය අදාල ආයතනයට ඇතුළු කිරීම හා නවතා තැබීම සඳහා, එම වාහනයේ හිමිකරු රෝහල් කාර්යය මණ්ඩලයට අයත් අයෙකු බව හැඟවීම සඳහා දෙනු ලබන්නක් පමණක් බව සිහිපත් කරමු.
කෙසේ නමුත් වාහන වල පැමිණිය යුත්තේ වෛද්‍ය නිළධාරීන් පමණක් බව හෝ රෝහලක සිටිය යුත්තේ වෛද්‍ය නිළධාරීන් පමණක් බව ශ්‍රී ලංකාවේ පොලිසිය හෝ වෙනත් පාර්ශ්වයක් විසින් විශ්වාස කරනු ලබන්නේ නම්, අතිශය දුෂ්කරතාවයන් මැද තමන්ගේ පෞද්ගලික වාහනයෙන් මහජන සේවාවක් සඳහා පැමිණෙන නිළධාරීන් තවදුරටත් අනවශ්‍ය පීඩාවන්ට ලක් වන්නේ නම්, ඔවුන්ව නිවසේ රඳවමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදු වන බව ඉතා කණගාටුවෙන් පෙන්වා දෙමු. එසේම සෞඛ්‍ය සේවාවේ නිළ ලාංඡනයක් පැළඳ පැමිණෙන පුද්ගලයා සෞඛ්‍ය සේවකයෙක්මද යන්න පරීක්ෂා කිරීම පිළිබඳව අපගේ කිසිඳු විරෝධතාවයක් නොමැති නමුත් ඔහු වෛද්‍යවරයෙකු නොවීම තුල හිංසාවට ලක්කිරීමේ ප්‍රතිපත්තිය අප තරයේ බැහැර කරමු.

එනයින් මේ පිළිබඳ ඔබගේ දැඩි සැලකිල්ල යොමුකර සියළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට මහමඟදී සමාන සැලකිල්ලක් දැක්වීමට අදාල පොලිස් නිළධාරීන් දැනුවත් කරන ලෙසත් එසේ නොවන්නේ නම්, ඊට එරෙහිව සාමුහික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති තීරණය කර ඇති බවත් ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.