යුරෝපා සංගමය ජීඒස්පී + සහනය නතර කිරීමට දැනටමත් තීරණය කරලා – පාර්ලිමේන්තු මංත්‍රී එම්. සුමන්දිරන් (VIDEO)

ශ්‍රි ලංකාවට ලබා දෙන ජීඑස්පී ප්ලස් සහනය නතර කිරීමට යුරෝපා සංගමය දැනටමත් තීරණය කර ඇතැයි මෙරට නිරීක්ෂන චාරිකාවක නිරත වන යුරෝපා සංගමයේ දූක පිරිස මුණ ගැසීමෙන් පසු ජනමාධය ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරන් ප්‍රකාශ කරයි.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී 2021  ජූනි 10 බ්‍රහස්පතින්දා ලංකාවට අවාසි සහගත ලෙස  සම්මත කරගන්නා ලද  යෝජනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ බියකරු පනත යටතේ සිදුවෙමින් පවතින අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබුනි.

 ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිලිබඳ වගකීම් ඉටුකර නැති බව ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය හෙවත් වරණීය බදු ක්‍රමය යටත් ලබාදී ඇති සහන අත්හිටුවන ලෙස යුරෝපා පාර්ලිමේන්තුව විසින් යුරෝපා කොමිසමෙන් දැඩි ලෙස ඉල්ලා තිබේ.

මේ අතර මානව විරෝධි කටයුතු දිගටම සිදු කරන බවට එල්ල වී තිබෙන චෝදනා නිසා ශ්‍රී ලංකාවට GSP+ ලබා දීම හෝ නොදීම සම්බන්ධයෙන් සොයා බැලීමට යුරෝපයෙන් පැමිණි දුත පිරිස ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය කෙරෙහි සෑහීමකට පත්වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අධිකරණ අමාත්‍යාංශය ඒ් බව නිවේදනය කර ඇත්තේ සැප්තැම්බර් 28 වැනි අගහරුවාදාය.

 යුරෝපා වෙළෙඳාම සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක  නිකොලාස් සයමිස්, යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) දකුණු ආසියා කලාපීය ප්‍රධානී අයෝනිස් ජියෝගරාකිස්-ආර්ජිරෝපොලෝස්, GSP වෙළෙඳ වරණය පිළිබඳ සම්බන්ධීකාරක ගුයිඩෝ ඩෝරා, රැකියා, සමාජ කටයුතු සහ අන්තර්ග්‍රහණය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ ප්‍රධානී ලුයිස් ප්‍රාට්ස් සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින සම්බන්ධ EEAS නිලධාරිනී මොනිකා බයිලයිටේ ගෙන් සමන්විත දුත පිරිස ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම වෙනුවෙන් දිවයිනට පැමිණ සිටිති.

(උපුටා ගැනීම - ශ්‍රී ලංකා බ්‍රීෆ්)