ඖෂධ හා වෛද්‍ය සැපයුම් රැසක් කල් ඉකුත්වීමේ අවධානමක් (Video)

අතිරික්ත වෙමින් පවතින වෛද්‍ය සැපයුම් ද්‍රව්‍ය සඳහා නිසි සංගණනයක් සිදු කරමින් නාස්තිය අවම කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කෝවිඩ් වසංගතය හේතුවෙන්, වරින් වර රෝහල් වල ලබා දෙන සේවාවන් සීමා කිරීමත්, රෝගීන්ගේ පැමිණිම සැලකිය යුතු මට්ටමින් අඩු වීමත් සිදු විය. එනිසාම පහුගිය වසර එකහමාරකට ආසන්න කාලයක් අධිකාරී පරිපූරක වෛද්‍ය නිළධාරීන් විසින් පූර්ව වශයෙන් ඉදිරිපත් කර ඇති වාර්ෂික ඇස්තමේන්තු වලට අදාල සැපයුම් ද්‍රව්‍ය වාර්ෂික ඇස්තමේන්තු වල පුරෝකථනය කල ප්‍රමාණ වලින් භාවිතයට නොගැනුනි. මේ හේතුවෙන් සමහර රසායනගාර සැපයුම්, වෛද්‍ය සැපයුම් කල් ඉකුත්වීමටත් අනවශ්‍ය ලෙස ගොඩ ගැසීමටත්, නාස්තියටත්, දූෂණයටත් ලක්වීමේ හැකියාව පවතී.

පවතින සාම්ප්‍රදායික රෙගුලාසි යටතේ අදාල පරිපූරක වෛද්‍ය නිළධාරීන්ට ඒවා තිරසාර ලෙස කලමණාකරණය කර ගැනීමේ හැකියාවක්ද නොමැති බැවින් මේ පිළිබඳව සැලකිල්ලට ගෙන නව සංගණනයක් සිදු කරමින් හෝ නාස්තියකින් තොරව අදාල සැපයුම් භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසත්, ඒ සඳහා පූර්ව වශයෙන් සැලසුම් සකස් කර ගැනීමට පවතින රෙගුලාසි යාවත්කාලීන කිරීමට කටයුතු කරන ලෙසත් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.