බැසිල්ට එරෙහිව උතුරු නැගෙනහිර බැංකු සේවක විරෝධයක් (VIDEO)

අමාත්‍ය බැසිල් රාජපක්ෂ යටතේ වූ මුදල් අමාත්‍යංශයේ බලධාරීන් එකඟ වූ වෘත්තීය කොන්දේසි ඇතුලත් ගිවිසුම් අත්සන් කිරීම මගහැර සිටීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය විසින් උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන නගර පහකදී උද්ඝෝෂණ  පවත්වා තිබේ.

පලාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ යාපනය, වව්නියාව, අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන  නගරවලදී නොවැම්බර් 5 වැනි සිකුරාදා දහවල් එම විරෝධතා දියත් වු බවයි.

cvxvdf

රාජ්‍ය බැංකු කළමණාකාරීත්වය හා ලංකා බැංකු සේවක සංගමය එකඟ වු සාමුහික ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යොමු කර මාස දෙකක් ගත වී ඇතත් මුදල් අමාත්‍යාංශය එයට අනුමැතිය ලබා දී නොමැති බවට විරෝධතා කරුවෝ චෝදනා කරති.

ලංකා බැංකු සේවක සංගමය පෙන්වා දෙන්නේ බැංකු  සේවකයන්ගේ උසස්වීම් සහ වැටුප් වැඩිවීම කරනු ලබන්නේ වසර තුනකට වරක් අත්සන් කරනු ලබන සාමාහික ගිවිසුම මගින් බවයි.

මෙවර එම ගිවිසුම ඉදිරිපත් කොට දින හැටක් ගත වී ඇතත් තවමත් එය අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබා නොදීමෙන් සේවකයන්ට බලවත් අසාධාරණයක් වී ඇති බවට ඔවුන් අවධාරණය කරති.

එම ගිවිසුමට අනුමැතිය ලබා දීමට විරෝධය පළ කරමින් දිවා කෑම පැයේදී රටේ ප්‍රධාන නගර වල විරෝධතා මාලාවක් දියත් කිරීමට ලංකා බැංකු සේවක සංගමය කටයුතු කරමින් සිටි.