ඉදිරි මඟ: මිල ස්ථායිකරණය සහ සමෘද්ධිය සඳහා යහපත් ආණ්ඩුකරණයක් අවශ්‍යයි -  ආචාර්ය ෂාර්මිනී කුරේ (දෙවැනි කොටස)

ඉදිරි මඟ: මිල ස්ථායිකරණය සහ සමෘද්ධිය සඳහා යහපත් ආණ්ඩුකරණයක් අවශ්‍යයි -  ආචාර්ය ෂාර්මිනී කුරේ (දෙවැනි කොටස)

එතකොට ඉදිරි මඟ කුමක්ද? වෙලාවකට අත්කරගන්න, තව වෙලාවකට අතහැර දාන ප්‍රතිපත්තිවලින් පිරුණු, කිසි පිළිවෙලක් නැති අපේ අතීතය යළි ඇති වීම අපි වළක්වගන්නෙ කොහොමද? තිරසාර වර්ධනයකට අවශ්‍ය කරන දේවල් ගැන අපි දැන් අවුරුදු ගාණක් තිස්සෙ කතා කරලා තියෙනවා. ආදායම් නිසියාකාරයෙන් හසුරුවාගැනීමේ විනය, අපනයන ධෛර්යමත් කරන විවෘත වෙළෙඳ ක්‍රමය, තරඟකාරී වෙළෙඳපොළ, නවීකරණය කළ කම්කරු නීති, කාර්යක්ෂම විදුලි සැපයුම සහ ගමනාගමනය සහ වරාය සේවාවන් වගේ ප්‍රමාණවත් යටිතල පද්ධතියක් ඒ අතරෙ තියෙනවා. ඒක අභිරහසක් නෙවෙයි. එහෙනං ඇයි අපි ඒවා සකස් කරගන්නෙ නැත්තෙ?

මං විස්වාස කරන විදිහට අපේ තියෙන මූලිකම ප්‍රශ්නෙ තමයි, දිළිඳු රාජ්‍ය පාලනය. මේ දිළිඳු රාජ්‍ය පාලනයට අදාළ ප්‍රශ්නවලට අපි කෙලින්ම මුහුණනොදෙන තාක් කල්, අපේ ආර්ථික ප්‍රශ්න තිරසාරව ජයගන්නවත්, සමෘද්ධිය ළඟා කරගන්නවත් අපිට කිසි දවසක පුළුවන් වෙන්නෙ නැහැ. අද මගේ කතාවෙ මූලික ප්‍රවාදය වෙන්නෙ මේකයි: එනම්, අපි ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරනකොට අපි කතා කරන්න ඕනෙ ඒ ප්‍රතිපත්ති ගැන විතරක්ම නෙවෙයි. ඒ ප්‍රතිපත්ති වටා තියෙන රාජ්‍ය පාලනයට අදාළ කරුණු ගැනත් අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනෙ.

එතකොට, යහපාලනය කියන එකෙන් මොකක්ද අපි අදහස් කරන්නෙ?

ඒ ගැන, පිළිගත් එක නිර්වචනයක් නැහැ. ඒත්, අව-පාලනය කියන එක පේනකොට මිනිස්සු දන්නවා ඒක යහපාලනය නෙවෙයි කියලා. සත්තකින්ම කියනවා නම්, අව-පාලනය පිළිබඳ යම් සිද්ධියක් අපේ මාධ්‍ය තුළ පළ නොවෙන දවසක් දැන් නැති ගාණයි.

අද අපේ මාතෘකාවට අදාළව ගත්තොත්, ‘ආසියා සහ පැසිපික් කලාපීය එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසම’ විසින් ‘රාජ්‍ය පාලනය’ යන්න නිර්වචනය කර තිබෙන්නෙ මෙහෙමයි: “ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සහ ප්‍රතිපත්ති තීරණ ක්‍රියාවේ යොදවන ක්‍රියාවලිය” රාජ්‍ය පාලනයයි. එතකොට, වගවීම, විනිවිද භාවය, නීතියේ ආධිපත්‍යයට නතු වීම, ප්‍රතිචාරාත්මක භාවය සහ කාර්යසාධකත්වය කියන කරුණු, යහපාලන ප්‍රතිපත්තිවලට ඇතුළත් වෙනවා. 

මගේ අද තර්කය මේකයි: අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ආර්ථික ප්‍රතිපත්ති ගැන විතරක් නෙවෙයි. ඒ කියන්නෙ, පොලී අනුපාතිකය හරි, බදු අනුපාතිකය හරි ඉහළ දානවාද, පහළ දානවාද යන්න ගැනවත්, අහවල් රාජ්‍ය ආයතනය පෞද්ගලීකරණය කරනවද නැද්ද යන්න ගැනවත් විතරක් නෙවෙයි. ඒ ප්‍රතිපත්ති තීරණවලට අපි එළඹෙන සහ ඒවා ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය ගැනත් අපේ අවධානය යොමුවෙන්න ඕනෙ. මේ ක්‍රියාවලිය අපි දියුණූ කළොත්- ඒ කියන්නෙ, ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා ක්‍රියාවේ යෙදවීම වඩා වගවීමකින් කළොත්, වඩා පාරදෘෂ්‍ය භාවයකින් කළොත්, නීතියේ ආධිපත්‍යයට අනුගතව කළොත්- අර කියන ප්‍රතිපත්ති පවා තව උසස් වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා. ඒ වගේම, අපේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය යහපත් නම්, ශක්තිමත් ආයතන අපිට තියෙනවා නම්, දේශපාලනික දුෂ්කරතාවන්ට මුහුණදී සිටින අවස්ථාවක පවා, යහපත් ප්‍රතිපත්ති නොනැසී පවතින්න ඉඩ තියෙනවා.

යහපාලනයට ප්‍රවිෂ්ට වීම සරල කාරණයක් නෙවෙයි කියන කතාව මං බාරගන්නෙ නැහැ. යහපාලනයක් ඇති කරගන්න, එක දිගට නඩත්තු කෙරෙන සමාජ තෙරපීමක් සහ අව-පාලනයෙන් වාසි ලබන තැන් මෙල්ල කරන්ට සමත් දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍ය කරනවා. ලංකාවේ කිසි දෙයක් හරිහමන් විදිහට සිද්ධ වෙන්නෙ නැහැ කියලා වෙලාවකට මිනිස්සු කියනවා. ඒක ඇත්තක්ම නෙවෙයි. ඇත්තෙන්ම ගත්තොත්, දේවල් හරි හොඳින් සිද්ධ වෙනවා. හැබැයි ඒ, ඉතා කුඩා කණ්ඩායමකට. අතීතයේ සිදු වුණු වැරදි යළි සිදුවීමට ඉඩ නොදීමේ අභියෝගය තියෙන්නෙ, ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ක්‍රියාවට නැඟීමේ ක්‍රියාවලියන් සහ ආයතන ව්‍යුහය, යහපාලන ප්‍රතිපත්තිවලට අවනත වීම තුළයි. එහෙම වුණොත්, අපේ යහ-ප්‍රතිපත්තිවලින්, කුඩා කණ්ඩායමකට විතරක් නෙවෙයි, සමාජයේ සියලු සාමාජිකයන්ට සෙතක් සැළසෙනවා.

යහපාලනය ගැන අද මගේ අවධානය යොමු කෙරෙන්නෙ, මේ අර්බුදයෙන් අපට ගොඩඒමටත්, සියල්ලන් වෙත ලැබෙන සමෘද්ධියක් සඳහා වන පදනම දමාගැනීමටත්, වඩාත් වැදගත් වේ යැයි මා සිතන, ප්‍රතිපත්ති ඉලක්ක තුනක් ඔස්සේයි.

1. ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හරහා දීර්ඝ කාලීන මිල ස්ථායීකරණයක් පවත්වාගැනීම

2. වඩා යහපත් බදු ප්‍රතිපත්තියක් ඔස්සේ, ආදායම් තිරසාරත්වය ළඟා කරගැනීම

3. රාජ්‍ය අංශයේ ප්‍රමාණය සහ කාර්යභාරය අඩු කිරීමෙන්, වෙළෙඳපොළ-ප්‍රමුඛ වර්ධනයක හැකියාව ඇති කරගැනීම.

අවසානයේ කී කාරණා දෙක, ඒ කියන්නෙ ආදායම් පිළිබඳ කාරණා දෙක සඳහා මං වැඩියත්ම කරුණු ගෙනහැර දක්වන්නෙ, සැප්තැම්බර් මාසයේ පළ වුණු මූලාශ්‍ර තුනකින්-

(1) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව අරභයා ප්‍රකාශිත “රාජ්‍ය පාලන දෝෂ චිකිත්සාත්මක තක්සේරු වාර්තාව”

(2) ශ්‍රී ලංකා සිවිල් සමාජ “රාජ්‍ය පාලන දෝෂ චිකිත්සාත්මක වාර්තාව”

(3) ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක බැංකු යාවත්කාල වාර්තාව

මේ වාර්තා සියල්ල සම්පාදනය වී තිබෙන්නේ ගැඹුරු ගවේෂණමය හැදෑරීම් පාදක කරගෙන. ඒ කියන්නෙ, නිලධාරීන් සහ වෙනත් පරදු දරන්නන් සමග කරන ලද දීර්ඝ සාකච්ඡා, ඒ ඒ ක්ෂේත්‍ර තුළ ජාත්‍යන්තර අත්දැකීම් සහිත විශේෂඥයන් විසින් ලියන ලද හෝ මඟපෙන්වන ලද අධ්‍යයනයන් වගේ දේවල් පාදක කරගෙන.

අද මේ අවස්ථාව වෙන් වෙලා තියෙන්නෙ ශ්‍රී ලංකා මහබැංකුවේ 73 වැනි අනුස්මරණය වෙනුවෙන් නිසා, ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්තියක් හරහා දීර්ඝකාලීන මිල ස්ථායීතාවක් පවත්වාගැනීම වෙනුවෙන් අවශ්‍ය කෙරෙන රාජ්‍ය පාලනය සවිබල ගැන්වීම ගැන කතාවෙන් මං පටන්ගන්නම්.

අඩු මට්ටමේ ස්ථාවර උද්ධමනයක් පවත්වාගැනීම සඳහා, මහබැංකුවේ ස්වාධීනත්වයත්, ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලියකත් ඇති අවශ්‍යතාව, ආර්ථික පොතපත සහ ලෝකය පුරා මහබැංකු භාවිතාව විසින් දශක ගණනාවක් තිස්සේ ඉතා ප්‍රබල ලෙස පෙන්නුම් කරලා දීලා තියෙනවා. ප්‍රධාන රටවල් බොහොමයක මහබැංකු ස්වාධීනත්වය, නීතිරීති මගින් ආරක්ෂා කෙරෙනවා. දේශපාලනයේ ඇඟිලි ගැසීමෙන් මූල්‍ය ප්‍රතිපත්තිය ආරක්ෂා කරගැනීමට ඒ රටවල් පියවර අරගෙන තියෙනවා. එවැනි ඉතා පැරණි නීතිවලින් එකක් වන, ‘1913 ඇමරිකානු ෆෙඩරල් සංචිත පනත’ විසින් මේ අවශ්‍යතාව පැහැදිලිවම පිළිඅරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් එහි විශේෂයෙන් මෙසේ දැක්වෙනවා: ෆෙඩරල් සංචිතය විසින් ඇමරිකානු භාණ්ඩාගාර සුරැකුම්පත් මිල දී ගැනීම හෝ විකිණීම කළ යුත්තේ, “විවෘත” හෝ ද්විතීය වෙළෙඳපොළෙන් පමණයි. ඒ මගින්, දැන් වගේම මීට අවුරුදු සීයකටත් කලින් පිළිඅරගෙන තියෙනවා, ආණ්ඩුවේ සෘජු මූල්‍යකරණය නිසා, මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ තීන්දු කෙරෙහි දේශපාලන ඇඟිලිගැසීම් සිදුවෙන්න පුළුවන් බව. ඒ එක්කම, අඩු උද්ධමනය පිළිබඳ ඉලක්කය අසාර්ථක වෙන්න පුළුවන් බව. ඒ වගේම, ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි අනතුරු ආපදා සිද්ධ වෙන්න පුළුවන් බව. 

ශ්‍රී ලංකා මහබැංකු පනත මේ වසරේ සම්මත වීම, රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීම අරභයා වන යහපාලනය සම්බන්ධයෙන් සලකන කල ඉතා වැදගත් සන්ධිස්ථානයක්. ඒ පනත මගින්, මහබැංකුවේ ස්වාධීනත්වය එකහෙලාම පිළිගන්නවා. මිල ස්ථායීකරණය මහබැංකුවේ ප්‍රාථමික අරමුණ බවටත්, මූල්‍ය ස්ථායීකරණය ද්විතීය අරමුණ බවටත් වන පැහැදිලි වරමක් දැන් මහබැංකුවට ලැබී තියෙනවා. සුනම්‍ය විනිමය අනුපාතිකයක් සමග බැඳුණු උද්ධමන ඉලක්කය, මහබැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය වශයෙන් තියෙනවා. මේ පනතේ දක්නට ලැබෙන ඉතා වැදගත් ලක්ෂණයක් වන්නේ, මූල්‍ය ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාවලිය කෙරෙහි හෙවත් ‘මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය’ තුළ තවදුරටත් ආණ්ඩුවේ කිසි නිලධාරියෙක් ඇතුළත් නොවීමයි. එසේම, වෙනත් සියලු කරුණු භාර ‘පාලක මණ්ඩලයටත්’ තවදුරටත් ආණ්ඩුවේ සාමාජිකයෙක් ඇතුළත් වෙන්නෙ නැහැ. එසේම, වගවීම සහ විනිවිද භාවය යන අංශ, මහබැංකු ස්වාධීනත්වය සමග ඉතා උචිතව තුලනය වීමකුත් මෙහිදී දකින්ට ලැබෙනවා. තේරී පත්වන නියෝජිතයෙකු වන මුදල් ඇමතිවරයා, උද්ධමන ඉලක්කයන් නියම කරාවි. මේ කියන උද්ධමන ඉලක්කය පවත්වාගැනීම ගැන, මුදල් ඇමතිවරයා හරහා ‘මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය’ පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. එකඟ වූ සීමාව තුළ උද්ධමන ඉලක්කය පවත්වාගැනීමට එකපිට එක කාර්තු දෙකක් තිස්සේ අසමත් වුණොත්, ඒ ගැන ප්‍රසිද්ධ කරුණු දැක්වීමක් කළ යුතුයි. එසේම, ආර්ථික සංවර්ධනය සහ ආර්ථික පුරෝකථන අරභයා වන මූල්‍ය ප්‍රතිපත්තිමය තීරණ පැහැදිලි කරමින්, සෑම ප්‍රතිපත්ති රැස්වීමකටම පසුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත් මහබැංකුවට බලය පවරා තියෙනවා. ඊට අමතරව, උද්ධමන ප්‍රක්ෂේපණය සහ ඒ ප්‍රක්ෂේපණයට අදාළ ප්‍රධාන අවදානම් තත්වයන් පැහැදිලි කරමින්, සෑම මාස හයකට වරක්, ප්‍රසිද්ධ උද්ධමන වාර්තාවක් ප්‍රකාශයට පත්කිරීමටත් මහබැංකුව බැඳී ඉන්නවා. මේ පිළිබඳ පසුගිය දා පාර්ලිමේන්තු විවාදයේදී පැනනැඟුණු අදහස්වලට වෙනස්ව, මේ පනත මාර්ගයෙන්, අතීතයේ තිබුණාට වඩා පුළුල් වගවීමක් ඉල්ලා සිටින නීතිමය ප්‍රතිපාදන ඇති වෙලා තියෙන බව කියන්න ඕනෙ. මහබැංකුව වෙත පවරන ලද ඉලක්කය සාධනය කරගැනීම සඳහා මහබැංකුවට දී තිබෙන මෙහෙයුම් නිදහස, වගවීමට ඇති බැඳීම සමග පටලවාගත යුතු නැහැ. ඇත්තෙන්ම සිදුවිය යුත්තේ එහි අනිත් පැත්තයි.

යහපත් මූල්‍ය ප්‍රතිපත්ති සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් අත්‍යාවශ්‍ය වෙතත්, එය පමණක් ප්‍රමාණවත් නැහැ. පනවාගන්නා නීති, භාවිතය තුළින් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා වන ශක්තිමත් සංස්කෘතියක්, භාවිතය තුළින් ගොඩනැඟිය යුතුයි. අලුතෙන් ස්ථාපිත කරන ලද මණ්ඩලවලට- ඒ මණ්ඩලවල විශිෂ්ට සාමාජිකයන් අද මෙතන ඉන්නවා- පැවරෙන වැදගත් වගකීමක් තියෙනවා. ඒ තමයි, අලුතෙන් ඇති කරන ලද නීති රාමුව යටතේ, යහපාලන භාවිතය සහ යහපාලන සංස්කෘතිය නිර්මාණය කිරීම. විශේෂයෙන්, ලංකාවේ අතීත අත්දැකීම් ගැන සලකන විට, මිල ස්ථායිකරණය සම්බන්ධයෙන් තමන්ට පැවරිලා තියෙන අලුත් වරම වෙත පැහැදිලිව යොමුවෙමින්, ශක්තිමත් තාක්ෂණික පදනම් යටතේ තමන් ප්‍රතිපත්ති තීරණ ගන්නා බවට, ‘මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය’ වශයෙන් සහතික වීම වැදගත් වෙනවා. තාක්ෂණික පදනම් පිහිටන්නේ, උද්ධමන තත්වයේ ඇති විය හැකි ඉදිරි වෙනස්කම් පිළිබඳ මණ්ඩලය ගන්නා සාමූහික විනිශ්චයන් සමග බද්ධ වූ මහබැංකුවේ කාර්ය මණ්ඩලයේ ආර්ථික ආදර්ශයන් සහ විග්‍රහයන්ද මතයි. රාජ්‍ය ආදායම් තත්වයන් සහ දේශපාලනික බලපෑම්වලින් නිදහස්ව මූල්‍ය ප්‍රතිපත්ති පවත්වාගැනීමට හැකි වීම, තීරණ ගැනීමේ ක්‍රියාවලියක තිබිය යුතු යහපත් මුද්‍රාවක්. විශේෂයෙන්, ඉදිරියේදී එළැඹෙන මැතිවරණ වාතාවරණය යටතේ ඒ හැකියාව තිබීම වැදගත්. මේක මහබැංකුවේ විතරක් වගකීමක් නෙවෙයි. දේශපාලනික ක්‍රියාකාරීන්ගේ පටන් හැම කෙනෙක්ම, මහබැංකුවේ මෙහෙයුම් ස්වාධීනත්වයත්, එහි තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ ඇති සුපිළිපන් භාවයත් ආරක්ෂා කිරීමට ඉදිරියට එන්න ඕනෙ. මහබැංකුවේ ස්වාධීනත්වය, අපේ සමාජ සහ දේශපාලන සංස්කෘතිය විසින් පෝෂණය කරන්න ඕනෙ.

අලුතෙන් ස්වාධීනත්වය ලබපු මහබැංකුවත්, විනිවිද භාවයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කරන්න ඕනෙ. රැස්වීම් වාරවලින් පසුව ප්‍රකාශයට පත්කළ යුතු නිවේදන, නිතිපතා එළිදැක්විය යුතු උද්ධමන වාර්තා, ඇති වීමට ඉඩ ඇති බරපතළ හැලහැප්පීම්වලට අදාළ නිවේදන සහ පාර්ලිමේන්තුවට උත්තර බැඳීම වගේ වැදගත් කරුණු, අලුත් නීතිය තුළ ඇතුළත් වෙනවා. බොහෝ මහබැංකු උද්ධමන වාර්තා සහ පසු-රැස්වීම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත්කළත්, ඒ හැම එකක්ම එක විදිහට මහජන අවබෝධයක් ඇති කරවීමට උපකාරී වෙන්නෙ නැහැ. සමහර ප්‍රකාශන, හුදෙක් වේදනානාශක විතරයි. තීරණ ගැනීමේ මණ්ඩලයක් විදිහට තමන්ට පොරබදන්නට සිදු වූ වැදගත් ප්‍රශ්න මඟහැර යාමක් ඒ වගේ ප්‍රකාශනවල පේන්න තියෙනවා. ඊට වෙනස්ව, ස්කැන්ඩිනේවියානු රටවල මහබැංකු, එංගලන්ත මහබැංකුව සහ ඇමරිකානු ෆෙඩරල් බැංකුව වගේ තැන්වලින් ප්‍රකාශයට පත්කෙරෙන නිවේදනවල, ‘ප්‍රතිපත්ති කමිටුව’ සාකච්ඡාවට ගත් ප්‍රශ්නවල සාරය පිළිබඳ හොඳ විස්තරයක් දකින්න පුළුවන්. ඒ වගේ මහබැංකු ප්‍රකාශනවල, උද්ධමනයේ අවදානම් පිළිබඳව තුලනාත්මක් චිත්‍රයක් විතරක් නෙවෙයි, තමන්ගේ ප්‍රතිපත්ති අනුපාතිකයන්හි ඉදිරියේදී ඇති විය හැකි ස්ථාවරයන් පිළිබඳව තමන් හිතන්නේ කොහොමද කියන එක ගැනත් විස්තරයක් දැකගන්න පුළුවන්. උද්ධමනය පාලනය කරගැනීම ඉලක්ක කරගත් ආර්ථික වටපිටාවක, විනිවිද භාවය කියන්නේ, ‘තිබුණොත් හොඳයි’ දෙයක් නොව, ‘නැතුව බැරි’ දෙයකි. අනාගත උද්ධමන අවදානම් ගැන ‘මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය’ හිතන්නෙ කොහොමද කියන කාරණය පිළිබඳ පැහැදිලි කිරීමක් වගේම, තමන්ගේ ක්‍රියාන්විතයන් මගින් ඉලක්කගත සීමාව තුළ උද්ධමනය තියාගන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමත්, මූල්‍ය වෙළෙඳපොළට විතරක් නෙවෙයි මහජනතාවටත් උද්ධමන අපේක්ෂාවන් මෙල්ල කරගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. එහෙම වුණහම, සැබෑ උද්ධමනය, නියමිත සීමාව ඇතුළෙ රැඳෙනවා. මහබැංකුව තුළින් දකින්ට ලැබෙන, විනිවිද පෙනෙන සන්නිවේදන ක්‍රියාකාරකම්, මුලදී දකිනකොට යම් ව්‍යාකූලත්වයකට වගේම යම් වැරදි අර්ථකථනයන්ටත් භාජනය වෙන්න පුළුවන්. ඒත් කාලයක් යනකොට, මූල්‍ය වෙළෙඳපොළවල් වගේම මහජනතාවත් ඉගෙනගන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි, ‘මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය’, උද්ධමනයේ අවදානම්කාරී තත්වයන් තක්සේරු කරන්නේ කොහොමද කියන එකත්, බලවත් කම්පනයන්ට මණ්ඩලය ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇති ආකාරයත්. මේ වගේ ක්‍රියාකලාපයක් තුළින්, රටේ ආර්ථිකය බරපතල කම්පනයන්ට මුහුණදී සිටින අවස්ථාවක පවා, නියමිත සීමාවන් තුළ උද්ධමනය පවත්වාගැනීමට මහබැංකුවට පුළුවන් වෙනවා.

Dr Sharmini Coorey

| ආචාර්ය ෂාර්මිනී කුරේ

(“The way Forward: Price Stability and Prosperity Through Good Governance” මැයින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන සංවත්සරයේ දී  ආචාර්ය ෂාර්මිනි කුරේ විසින් පැවැත් වූ සමරු දේශනය සිංහලට පරිවර්තනය කළේ Governance Lanka වෙතිනි.)