ඉදිරි මඟ: මිල ස්ථායිකරණය සහ සමෘද්ධිය සඳහා යහපත් ආණ්ඩුකරණයක් අවශ්‍යයි - ආචාර්ය ෂාර්මිනී කුරේ (තුන්වැනි කොටස)

ඉදිරි මඟ: මිල ස්ථායිකරණය සහ සමෘද්ධිය සඳහා යහපත් ආණ්ඩුකරණයක් අවශ්‍යයි - ආචාර්ය ෂාර්මිනී කුරේ (තුන්වැනි කොටස)

ශ්‍රී ලංකා මහබැංකු නීතිය ස්ථාපිත වෙද්දී සහ බැංකුවේ භාවිතාවන් වර්ධනය වෙද්දී, මහබැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කෙරෙන නීති තවත් ශක්තිමත් කිරීමක් ගැන සලකා බලන්න පුළුවන්. එවැනි සන්දර්භයක් තුළ, මගේ මතයේ හැටියට, නීතියේ ස්වරූප තුනක් ගැන යළි සලකා බැලීමක් කරන්න පුළුවන් කියලා මං හිතනවා. එයින් වඩාත් වැදගත් වන්නේ තුන්වැන්නයි.

1. මුලින්ම, මහබැංකුවට පැවරෙන බලතල සහ වගකීම් පිළිබඳ පැහැදිලි කිරීම්ද, මහබැංකුවේ කෘත්‍යයන්ද යළි සලකා බැලීමක් කරන්න පුළුවන්. මේ නීතියේ 7 (ජේ) වගන්තියේ මෙහෙම කියනවා: “මහබැංකුව ආණ්ඩුවේ මූල්‍ය උපදේශකයා සහ බැංකුකරුවා වශයෙන් කටයුතු කරනු ඇත.” මේ නීතියේ 7 (කේ) වගන්තිය මෙහෙම කියනවා: “ආණ්ඩුවේ ආදායම් ඒජන්තයා වශයෙන් මහබැංකුව කටයුතු කරනු ඇත.” ලංකාවේ ආණ්ඩුව විශේෂඥ දැනුම සඳහා මහබැංකුව මත රැඳී සිටිනවා කියන කාරණය සැලකිල්ලට ගත්තහම, මහබැංකුව ආණ්ඩුවේ ‘මූල්‍ය උපදේශකයා’ යන්න තේරුම්ගන්න පුළුවන්. ඒත්, එහෙම වෙන්න ඕනෙම නැහැ. මහබැංකුවේ ස්වාධීනත්වය වඩාත් හොඳින් සුරක්ෂිත කිරීමට නම්, බැංකුවේ ක්‍රියාකාරකම් සහ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් අතර පැහැදිලි ඉරක් ඇඳගන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒ වගේම, ආණ්ඩුවේ හිඟ අයවැය, මහබැංකුව හරහා මුදල්මය වශයෙන් පුරවාගැනීමේ ඉතිහාසයක් තියෙන නිසා, ‘ආණ්ඩුවේ බැංකුකරුවා’ වශයෙන් මහබැංකුව හැඳින්වීමෙන් වැළකී සිටීමටත් පුළුවන් නම් වඩාත් හොඳයි.

සාමාන්‍ය ව්‍යවහාරයේදී බැංකුවක් කරන්නේ තමන්ගේ සේවාග්‍රාහකයන්ට ණය සහ ද්‍රවශීලතාව සැපයීමයි. එසේ වෙතත්, මහබැංකු නීතියේ මුඛ්‍ය කාරණය වන්නේම, ඒ දෙකෙන් එකක්වත් මහබැංකුව නොකළ යුතු බවයි! ඒ නිසා, මං හිතන විදිහට, 7 (ජේ) වගන්තිය මුළුමණින් ඉවත් කළ යුතුයි. ඒ එක්කම 7 (කේ) වගන්තිය, මහබැංකුව ආණ්ඩුවේ ‘ආදායම් ඒජන්තයා සහ තැන්පතුධාරියා’ වශයෙන් සංශෝධනය විය යුතුයි. එතකොට මහබැංකුවට පුළුවන්, ආණ්ඩුවේ තැන්පතු තබාගැනීම සහ ආණ්ඩුවේ ගිණුම් හරහා ගෙවීම් කිරීම වගේ, තමන්ගේ සාමාන්‍ය මධ්‍යම බැංකු කාර්යයන් කරගෙන යන්න. එහෙම සංශෝධනයක් කළොත්, මහබැංකුවේ ප්‍රධාන කාර්යය වෙන්නේ, මුදල් ඒකකයේ අගය ආරක්ෂා කරගනිමින් මහජනතාවට සේවය කිරීමයි කියන අදහසත් මිනිසුන් තුළ ඇති වෙන්න උදව්වක් වෙනවා. මුදලේ අගය ආරක්ෂා කරගන්නවා කියන්නෙ, තමන් අතේ තියෙන මුදලෙන් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ආරක්ෂා කර දෙනවා කියන එකයි. අපි මිල ස්ථායීතාවයකින් බලාපොරොත්තු වෙන්නෙ ඒකයි. මං එක දෙයක් මෙහිදී පැහැදිලි කරන්න ඕනෙ: මුදලේ අගය ආරක්ෂා කරනවා කියන්නෙ, නාමික විනිමය අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යනවා කියන එක නෙවෙයි. ආර්ථිකයට ඇති වෙන කම්පනයන් උරාගැනීමට සහ සාපේක්ෂ මිල ගැලපීම් හෙවත් ඊනියා තථ්‍ය විනිමය අනුපාතිකය පහසු කරවීම සඳහා නම්‍යශීලී විනිමය අනුපාතිකයක් අත්‍යාවශ්‍ය වෙනවා. මහබැංකුවේ අවධාරණය යොමුවෙන්න ඕනෙ සමස්තයක් වශයෙන් මිල මට්ටම් කෙරෙහි මිසක් හුදෙක් ඒ තුළ අඩංගු වෙළෙඳ පංගුව කෙරෙහි විතරක් නෙවෙයි.

(2) හදිසි තත්වයන් යටතේ ආණ්ඩුවට මහබැංකුවේ සෘජු මුදල් සැපයුම ලබාගන්න පුළුවන්කම තියෙන්න ඕනෙ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පැනවීමක් කරලා තියෙන තත්වයක් යටතේත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බලද්දීත්, ‘වැට වට කිරීම’ තවත් සවිමත් කිරීමක් ගැන සලකා බලන්න පුළුවන්. මහබැංකුවේ රාජකාරිය වෙන්නෙ, හදිසි තත්වයන් යටතේ පවා, සමස්තයක් වශයෙන් වෙළෙඳපොළට ද්‍රවශීලතාව සැපයීම මිසක් ආණ්ඩුවකට විශේෂයෙන් ද්‍රවශීලතාව සැපයීම නෙවෙයි. උදාහරණ වශයෙන් ගත්තොත්, 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේ ත්‍රස්තවාදී ප්‍රහාරය අවස්ථාවේදීත්, 2008 ගෝලීය මූල්‍ය අර්බුදය අවස්ථාවේදීත්, 2020 මුල් භාගයේ කෝවිඩ් වසංගතය ඇවිළුණු අවස්ථාවේත්, ඇමරිකාවේ ෆෙඩරල් බැංකුව මූල්‍ය වෙළෙඳපොළට මැදිහත් වුණා. ආණ්ඩුවට හදිසි අවස්ථාවකදී මුදල් අවශ්‍යතාවක් ඇති වුණොත් ආණ්ඩුව කරන්න තියෙන්නෙ, කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළට නිකුත් කිරීමයි. ඒ වගේම, වෙළෙඳපොළේ ද්‍රවශීලතා හිඟයක් තියෙනවා නම්, මහබැංකුවට පුළුවන් රටේ බැංකු පද්ධතිය සමග ‘විලෝම ණය ගනුදෙනුවක්’ සහ/හෝ ‘ද්‍රවශීලතා ආධාර පහසුකම’ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න. ඒ මාර්ගයෙන් වෙළෙඳපොළේ මූල්‍ය තත්වයන් ස්ථාවර කරගන්න පුළුවන්.

(3) වඩාත් වැදගත් කාරණය වෙන්නෙ මේකයි: ‘මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයේ’ විශාලත්වය අඩු වෙන්න ඕනෙ. මං හිතන හැටියට, එය සාමාජිකයන් 5 දෙනෙක් හෝ 7 දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර, බැංකුවේ ‘පාලක මණ්ඩලයේ’ සාමාජිකයන් ඊට ඇතුළත් නොවිය යුතුයි. ඒ එක්කම මං මේ කාරණයත් කියන්න ඕනෙ: මං මේ කියන කාරණය, වර්තමාන මණ්ඩලවල ඉන්න සාමාජිකයන්ට සම්බන්ධතාවක් නැහැ. ඒ හැමෝම, විශිෂ්ට සුදුසුකම් ඇති කීර්තිමත් පුද්ගලයො. මගේ තර්කය වෙන්නෙ, යහපාලන ආකල්පයකින් ඒ දෙස බලන විට, තීරණ ගැනීමේ ආයතනයක ව්‍යුහය කොයි වගේ විය යුතුද කියන එක විතරයි.

ඇයි මං එහෙම කියන්නෙ? මුලින්ම, ප්‍රධාන වශයෙන් තාක්ෂණික කාර්යයක් වන මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීම කරන්නේ, ආර්ථික විද්‍යාව සහ මූල්‍ය පාලනය පිළිබඳ සුවිශේෂී විශේෂඥතාවක් තියෙන පිරිසක් විසින් කියන කාරණය පෙනෙන්ට තිබිය යුතුයි. මහබැංකු අධිපතිතුමා හැරුණු විට, මේ මණ්ඩල දෙක තුළ එකම සාමාජිකයන් සිටීම නිසා, පාලනමය කර්තව්‍යයන් සමග මේ සුවිශේෂී කර්තව්‍යය පැටලෙනවා. පාලනමය කර්තව්‍යය පැවරෙන්නෙ, ‘පාලක මණ්ඩලයට’. ඒකට අවශ්‍ය කරනවා ඉතා පුළුල් පරාසයක විශේෂඥතාවන්. ඒ කියන්නෙ, බැංකු, නීති, ගිණුම් සහ විගණන ක්‍රම වගේ අංශ ගැනත්, අවදානම් කළමනාකරණය වගේ අංශ ගැනත් විශේෂඥතාවක් අවශ්‍ය කරනවා.

දෙවැනුව, සමස්ත රටටම බලපාන මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම, මහබැංකුවට විශේෂිත වන පාලන කර්තව්‍යයන්ගෙන් වෙන් කරලා තියාගන්න ඕනෙ. උදාහරණයක් ගත්තොත්, මූල්‍ය ප්‍රතිපත්ති තීරණ කෙරෙහි, මහබැංකුවේ ‘පාලක මණ්ඩලයේ’ විෂය පථයට ගැනෙන මහබැංකුවේ ශේෂපත්‍රයට හෝ ලාභදායකත්වයට ඒ තීරණ කොහොම බලපායිද කියන කාරණය අදාළ කරගත යුතු නැහැ. එසේ අදාළ කරගන්නා බවක් පේන්නවත් තිබිය යුතු නැහැ.

තුන්වැනුව, සාර්ථක උද්ධමන ඉලක්කයක් හඹා යාම සඳහා ඉතා වැදගත් වන විනිවිද භාවය සහ වගවීම යන කාරණා, මූල්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගන්නා මණ්ඩලය විශාල වීම නිසා දියාරු වෙනවා. 11 දෙනෙක් වගේ විශාල සාමාජික සංඛ්‍යාවක්, යම් ප්‍රතිපත්ති තීරණයක් ගැන වගවීමකට බැඳගන්න, මට හිතෙන විදිහට, අමාරුයි. ඒ වෙනුවට, මහබැංකු අධිපතිවරයා ප්‍රධානත්වය දරන, නියෝජ්‍ය මහබැංකු අධිපතිවරුන් දෙන්නෙක් සහ මහබැංකුවට පිටින් ස්වාධීන විශේෂඥයන් දෙන්නෙක්ගෙන් යුක්ත 5 දෙනෙකුගේ මණ්ඩලයක්, වඩාත් කඩිසර වේවි. වඩාත් එකට බැඳුණු කණ්ඩායමක් වේවි.

අවසාන වශයෙන්, වඩාත්ම වැදගත් කාරණය මේකයි: මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගන්නා ආයතනයක, මහබැංකුවේ සාමාජිකයන්ට ප්‍රමාණයට වඩා පිටස්තර සාමාජිකයන් පිරිසක් වැඩියෙන් සිටීම සාමාන්‍යයෙන් පිළිගන්න දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම එවැනි අවස්ථාවකට සාක්ෂියක් ලෝකයේ ප්‍රධාන මහබැංකු කිසිවකින් මට හොයාගන්න පුළුවන් වෙලා නැහැ. මේ විදිහට පිටස්තර සාමාජිකයෝ වැඩි වීම, මහබැංකුව කෙරෙහි දේශපාලනික ඇඟිලිගැසීම් සඳහා අවකාශය විවෘත කිරීමක්. මහබැංකුවේ සාමාජික සංඛ්‍යාව සහ පිටස්තර සාමාජික සංඛ්‍යාව සමාන වෙනවා නම්, යම් මූල්‍ය ප්‍රතිපත්ති තීරණයක් සම්බන්ධයෙන් අදහස් දෙකකට සමසමව බෙදුණොත් මහබැංකු අධිපතිතුමාට පුළුවන් තීරණාත්මක ඡන්දය පාවිච්චි කරන්න. ඒ අනුව, පාර්ලිමේන්තුවට සහ ජනතාවට වාර්තා කිරීමේදී මහබැංකු අධිපතිවරයා කෙරෙහි වඩාත් ඉහළ වගවීමක් ආරෝපණය කෙරෙනවා.

වර්තමාන ‘මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයේ’ ව්‍යුහය සංයුක්ත වෙන්නෙ, අධිපතිතුමා හැරුණුකොට, මහබැංකුවේ සාමාජිකයන් දෙන්නෙක් සහ පිටතින් පත්කෙරෙන සාමාජිකයන් අට දෙනෙක් තරම් විශාල පිරිසකින්. මට හිතෙන විදිහට, මේක ප්‍රශ්නකාරියි. මොකද, ප්‍රතිපත්ති තීරණ ගන්න වෙන්නෙ බහුතර ඡන්දයෙන් නිසා. ඊළඟට එන ආණ්ඩුවක්, රටේ මූල්‍ය ප්‍රතිපත්තිමය තීරණ කෙරෙහි බලපෑම් කිරීම සඳහා දේශපාලන පත්වීම්වලින් මේ මණ්ඩලය පුරවන්න බැරිකමක් නැහැ. මං හිතන විදිහට මේක මහබැංකුවේ ස්වාධීනත්වය බරපතළ අනතුරකට පත්කරන්න පුළුවන්. එය නිවැරදි කළ යුතුයි.

දැන් මං එන්නම්, යහපාලනය හරහා දෙවැනි ප්‍රතිපත්තිමය කාරණය සාධනය කරගැනීමේ මාතෘකාවට. ඒ තමයි, රාජ්‍ය ආදායම් -වියදම් තිරසාරත්වය අත්කරගැනීම පිළිබඳ ප්‍රශ්නය.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෝරන්ස් සමර්ස් කියන කතාවක් තමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩියත්ම පෙනී ඉන්නෙ, රාජ්‍ය ආදායම්-වියදම් කෙරෙහි කියන එක. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒක ඇත්තක්මයි. අපේ ආර්ථික ප්‍රශ්න හැම එකකම වගේ මූලාශ්‍රය වෙන්නෙ, රාජ්‍ය ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් විනයක් පවත්වාගන්න දක්වන සාමූහික අසමත් භාවය. ඒ වගේම, මධ්‍යම ආණ්ඩුවේ වගේම වඩාත් පුළුල් රාජ්‍ය අංශයේ පවතින පාලන තත්වයන්හි ප්‍රමිතීන් හසුරුවාගැනීමට ඇති නොහැකියාව.

දැනට සාර්ථක වෙලා ඉන්න අපේ ආසියාතික අනිත් රටවල් වන, ඉන්දියාව, කොරියාව, තායිලන්තය සහ මැලේසියාව වගේ රටවල් නිතර නිතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන එකෙන් වැළකිලා තියෙනවා. ඒත් අපි, අවසානයේ යා යුතු මේ ආයතනය වෙත, 17 පාරක් ගිහිං තියෙනවා. බළලුන්ට ජීවිත 9 ක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ශ්‍රී ලංකාව දිහා බැලුවොත් ජීවිත 17 ක් තියෙනවා වගේ!

සබැඳි පුවත්

අවසාන පිළිසරණක් විදිහට තියාගන්න ඕනෙ කරන ආයතනය වෙත මේ තරම් පරායත්ත වීම අපි නතර කරන්න ඕනෙ. අපි ඇවිල්ලා, සීනි කෑම අතහැරීම ප්‍රතික්ෂේප කරලා, නිතර නිතර හදිසි අනතුරු වාට්ටුවට යන දියවැඩියා ලෙඩෙක් වගේ. එහෙම යන සමහර ලෙඩ්ඩු, අනතුරු වාට්ටුවේ ඉන්න fදාස්තරට, ඒ කියන්නෙ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට’ චෝදනා කරනවා. මොකද, අපිව බේරගන්න දොස්තර නියම කරන බෙහෙත් සැර වැඩියි කියලා. සාර්ව-ආර්ථික යම් ස්ථාවරත්වයක් ඇති කරගෙන කියලා පේන්න තියෙනකොට, දැන් තියන ලොකුම අනතුර තමයි, මීට කලින් බොහෝ වෙලාවල්වල දාගෙන තියෙන ලෙඩේම මේ වෙලාවෙත් දාගනීවිද කියන එක. ඒ කියන්නෙ, ආර්ථිකය යම් ස්ථාවරත්වයකට ආපු ගමන්, සමස්ත ප්‍රශ්නය යටින් තියෙන, ආදායම්-වියදම් පාලනය සහ ආණ්ඩුකරණ ප්‍රමිති මට්ටම් සඳහා අවශ්‍ය කරන බරපතළ ප්‍රතිව්‍යුහගත කිරීම් අතහැර දැමීම හෝ අතපසු කිරීම. වර්තමාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම යටතේ අපි පොරොන්දු වෙලා තියෙන බොහෝ ප්‍රතිසංස්කරණ, මීට කලිනුත් අපි පොරොන්දු වෙලා තියෙන ප්‍රතිසංස්කරණවලට සමානයි. ඒත් ඒවා කවදාවත් හරිහමන් විදිහකට අපි ඉෂ්ට කරලා නැහැ. රාජ්‍ය ආදායම්-වියදම් තුලනයේ තිරසාරත්වය අත්කරගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රමිතිගත රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම කියන ආහාරයට අපි මාරුවෙන්න ඕනෙ. ඒක අපි කරන්න තියෙන්නෙ, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ හෝ වෙනත් බාහිර ණය හිමියන් එහෙම කරන්න කියලා අපෙන් ඉල්ලන නිසා නෙවෙයි, අපි එහෙම නොකළොත් නැවත සැරයක් අමාරුවෙ වැටෙන්නෙත් අපිම නිසා.

ආදායම්-වියදම් තුලනයේ තිරසාරත්වයක් තියාගන්න නම් වඩා හොඳ බදු ක්‍රමයක් අපිට අවශ්‍ය කරනවා.

රටක බදු ප්‍රතිපත්තිය, මූලධර්ම හතරකට අනුගත වෙන්න ඕනේ කියලා, ‘ජාතීන්ගේ ධනය’ නමැති පොතේදී ඇඩම් ස්මිත් ලිව්වා: ඒ තමයි, සාධාරණත්වය, නියත භාවය, පහසුව සහ කාර්යක්ෂමතාව. මේවා, යහපාලන මූලධර්ම සමග හොඳින් පෑහෙන කාරණා. ‘ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ ලෝක සංවිධානය’ මෙවැනිම නිර්නායක දක්වලා තියෙනවා. ඔවුන් තව එක සාධකයක් ඊට එක් කරලා තියෙනවා. ඒ තමයි, මධ්‍යස්ථ භාවය. ඒකෙ තේරුම වෙන්නෙ, ආණ්ඩුවක් බදු ආදායම වැඩි කරගැනීමේදී, විශේෂිත ආර්ථික ක්‍රියාකාරීත්වයක් හෝ තේරීමක් අරභයා සපයන දිරිගැන්වීම්, විකෘති නොවිය යුතුයි කියන එකයි. 2022 ලංකාවේ බදු අය කරගැනීම ඉහළ ගිහින් තිබුණත්, ඒ මගින් ඉහතින් කී මූලධර්ම පහම උල්ලංඝණය වෙලා තියන බව කියන්න ඕනෙ. එය පෙන්වන්න මං නිදර්ශන තුනක් දෙන්නම්:  

(1) ලංකාව, සෘජු බදුවලට වඩා බෙහෙවින් වක්‍ර බදු කෙරෙහි රැඳී සිටිනවා. ඒ වගේම, ප්‍රාග්ධනය කෙරෙහි පනවන බදුවලට වඩා ශ්‍රමය කෙරෙහි පනවන බදු කෙරෙහි රැඳී ඉන්නවා. ඒ කාරණා දෙකම, සාධාරණත්වය කියන මූලධර්මය උල්ලංඝණය කරනවා. මොකද, භාණ්ඩ සහ සේවා සඳහා තමන්ගේ ආදායමෙන් විශාල පංගුවක් වියදම් කරන දුප්පතුන් මත වැඩි බදු බරක් එක පැත්තකින් පැටවෙන අතර, අනිත් පැත්තෙන්, ප්‍රාග්ධනයේ ආදායම් ප්‍රධාන වශයෙන් ධනපතියන් අතට ගොනු වෙන නිසා.

2021 දී ශ්‍රී ලංකාව උපයාගත්ත බදුවලින් සියයට 77 ක් අය කරගෙන තියෙන්නෙ වැට්, සුරාබදු සහ වෙළෙඳ බදු වැනි වක්‍ර බදුවලින්. අපේ කලාපයේ මේ වක්‍ර බදු ප්‍රතිශතය සියයට 66 යි. ලෝක ප්‍රතිශතය සියයට 53 යි. මෑතකදී පුද්ගල සහ සමාගම් බදු වගේ සෘජු බදු වැඩි කිරීම නිවැරදි දිසාවට තියපු පියවරක්. ඒත් තවමත්, පහළම ආදායම් ලබන පවුල් වක්‍ර බදු වශයෙන් තමන්ගේ පූර්ව-බදු ආදායමෙන් ගෙවන ප්‍රතිශතය සියයට 11 වෙද්දී, ඉහළම ආදායම් ලබන පවුල් එක්ක බලද්දී ඒක සියයට 8 ක වැඩි බරක් දැරීමක්.

ඒ එක්කම පුද්ගල ආදායම් බදු එකතු කිරීම රැඳී පවතින්නෙ ‘උපයන විට ගෙවීමේ ක්‍රමය’ මත නිසා හුඟාක් වෘත්තිකයො බදු ගෙවනවා වුණත්, ව්‍යාපාර ලාභවලින් ලැබෙන බදු විශාල ප්‍රතිශතයක් එකතු නොවී පවතිනවා. මොකද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තියෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක බදු ගොනු නිසා.

ඒ වගේම, ප්‍රාග්ධන ලාභ, පොලී ආදායම් සහ ව්‍යාපාර ලාභාංශවලින් ප්‍රගාමී බදු අනුපාතිකයක් අය කරගන්නවා වෙනුවට, පහළ මට්ටමේ පැතලි අනුපාතිකයක් තමයි අය කරගන්නෙ. ඒ වගේම, දේපළවලින් ලැබෙන ප්‍රාග්ධන ආදායම්වලින් අය කරගන්නෙ ඉතා පහළ සියයට 10 අනුපාතිකයක්.

(2) දැන් දශක ගණනාවක් තිස්සේ මහා ව්‍යාපාර සඳහා විශාල බදු සහන දීලා තියෙනවා. යහපත් බදු ප්‍රතිපත්තියක තිබිය යුතු මූලධර්ම පහම ඒ මගින් උල්ලංඝණය කෙරෙනවා. 2022 ඔක්තෝබර් මාසේ බදු ප්‍රතිසංස්කරණවලින් බොහෝ සමාගම් දැන් සියයට 30 සමාගම් බද්දකට යටත් කරලා තියෙන එක හොඳයි. එහෙම වුණත්, ‘මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත’ යටතේ බොහෝ ව්‍යාපෘති තවමත් ඉතා පුළුල් පරාසයක බදු සහන ලබනවා. මේ පනත යටතේ පාවිච්චියට ගැනෙන නොපැහැදිලි නිර්ණායක යටතේ, සමාගම් බදු, පුද්ගල බදු, වැට්, සුරාබදු සහ තීරුබදු ආදී 8 ආකාරයක බදු නීති යටතේ, අවුරුදු 25 ක් වැනි දීර්ඝ කාලයක් දක්වා බදු සහන ලබාගන්න ව්‍යාපෘතිවලට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ දක්වා ඒ මගින් ප්‍රතිලාභ ලබන ව්‍යාපෘති 17 ක් අවුරුදු 10 සිට 25 දක්වා කාලයකට බදු සහන ලබන්න සුදුසුකම් ලබලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේවාට අමතරව, ඊට පස්සෙ, ඔවුන් ලබන තවත් අඩු මට්ටමේ අනුපාතික සහන සහ බදු සහන සහ ගාස්තු සහන රාශියකුත් තියෙනවා.

තවද, කලාප තුනක ක්‍රියාත්මක වෙන සමාගම්වලට ලබාගත හැකි තවත් බදු සහන තියෙනවා. කොළඹ වරාය නගරය, ඖෂධ නිෂ්පාදන කලාපයක් සහ රෙදිපිළි නිෂ්පාදන කලාපයක් ඊට අයත් වෙනවා. වරාය නගර පනත යටතේ, කැසිනෝ, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු ආදිය ඇතුළත් බදු වර්ග 13 කින් නිදහස් කෙරෙනවා. ඇත්තෙන්ම කිව්වොත්, හැම බද්දකින්ම නිදහස් කෙරෙනවා. ඒ සහනය අවුරුදු 40 ක කාලයක් දක්වා දීර්ඝ කරන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ අවසරයක් නැතිව. ඒ බදු සහනවල තිබෙන ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ප්‍රශ්නයකුත් මෙහිදී මතු වෙනවා.

මේ තරම් පුළුල් බදු සහන සාධාරණීකරණය කරන්න බැහැ. මේක හරියටම මොන වගේද කිව්වොත්, ආණ්ඩුව විශේෂිත කණ්ඩායම්වලට කරන මුදල් ගෙවීමකට සමානයි. තවත් විදිහකින් කිව්වොත්, සමාගමක් තමන්ගේ සාමාන්‍ය බද්ද ගෙව්වට පස්සෙ, ඒ බද්ද සමාජ අවශ්‍යතා සඳහා වියදම් කරනවා වෙනුවට හෝ ණය ගෙවා දැමීම සඳහා යොදාගන්නවා වෙනුවට ආපසු අර සමාගමටම ආණ්ඩුව විසින් එම මුදල දෙනවා වගේ වැඩක්.

බදු සහනවලින් වැඩිම ප්‍රතිලාභ ලබන පිරිස වෙන්නෙ සමාගම්වල කොටස්කාරයො. මං හිතන විදිහට මේ පිරිස ධනවතුන් විතරක් නෙවෙයි, සුපිරි ධනවතුන්. ඉතිං, ශ්‍රී ලංකාවේ තියෙන්නෙ ධනවතුන්ට සහ සුපිරි ධනවතුන්ට සේවය කරන සුභසාධන ක්‍රමයක්. ඒ සුභසාධනය, ‘අස්වැසුම’ වගේ යෝජනාක්‍රම හරහා දුප්පතුන්ට සපයන සොච්චම් සුභසාධනයට වඩා අති විශාලයි.

බදු සහන යනු, ආයෝජන දිරිමත් කිරීම සඳහා, විශේෂයෙන් විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා අත්‍යාවශ්‍යයි කියලා බොහෝවිට කතාවට කිව්වට, කරන ලද බොහෝ අධ්‍යයනයන්ගෙන් පෙන්නුම් කරන විදිහට, විදේශ සමාගම් තමන්ගේ ව්‍යාපාර පිහිටුවන ස්ථාන ගැන සැලකීමේදී බදු සහන කියන සාධකය මුල් කොට සලකන්නෙ නැති බව පේනවා. ඔවුන් ඇත්තටම සැලකිල්ලට ගන්නෙ, ස්ථාවර සාර්ව-ආර්ථික පරිසරයක්, විශ්වාසය තැබිය හැකි විදුලි සහ භෞතික යටිතල ව්‍යුහයක්, නීතියේ ස්වාධිපත්‍යයක්, ආරාවුල් බේරුම් කිරීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක්, භූමිය කෙරෙහි ඇති ආරක්ෂක ප්‍රවේශයක් සහ උසස් ප්‍රමිතියේ ශ්‍රම බලකායක් වගේ සාධකයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘පාලන දෝෂ දර්ශක ඇස්තමේන්තුව’ පෙන්වා දෙන පරිදි, බදු නිදහස නිසා දූෂණයටත් අවස්ථාවල් පෑදෙනවා.

       (3) බදු අය කරගැනීම පිළිබඳ තියන දුර්වල පාලන මාදිලිය ගැන දෙන්න පුළුවන් තවත් නිදර්ශනයක් තමයි, ප්‍රධාන ප්‍රතිපත්ති වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදන මත රඳා පැවතීම. ඒක නිසා, බදු ක්‍රමය ගැන අවිනිශ්චිත භාවයක් ඇති කෙරෙනවා. ඒ වගේම, දූෂණය සඳහා තියෙන අවස්ථා වැඩි කෙරෙනවා. මූලධර්මයක් වශයෙන් ගත්තොත්, බදු ගණනය කිරීම සහ එකතු කිරීම සාධාරණ විදිහට සහ කාර්යක්ෂම විදිහට කළ හැකි සෑම ප්‍රතිපාදනයක්ම, පාර්ලිමේන්තුව විසින් පනවන බදු නීති තුළ අන්තර්ගත වෙන්න ඕනේ. අණපනත්, ගැසට් නිවේදන සහ වෙනත් රෙගුලාසි වගේ සෑම අතිරේක උපාංගයක්ම තියෙන්න ඕනෙ, ඉහත කී බදු නීතිය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා වන තාක්ෂණික තොරතුරු සැපයීම සඳහා පමණයි. ඒත් ලංකාවෙදී, බදු අනුපාතික, පවතින බදු පරාසය සහ බදු සහන දීම ගැසට් නිවේදන මාර්ගයෙන් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ‘විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද’ ගන්න. ඇමතිවරයෙකුට පුළුවන් ගැසට් නිවේදනයකින් මේ බද්ද හිතෙන හැටියට එක පැයකින් වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව. බදු අය කිරීමේ බලය මුළුමණින්ම පැවරෙන්නෙ පාර්ලිමේන්තුවට කියලා අපේ ව්‍යවස්ථාවේ තියෙන නිසා, මේ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වශයෙන් සලකන්න පුළුවන්. රේගු බදුත්, ඒ විදිහට පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව වෙනස් කරන්න පුළුවන් තත්වයක් තියෙනවා. මේ වගේ හිතුවක්කාර වෙනස්කම් කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙන තත්වයක, අවිනිශ්චිත භාවයක් නිර්මාණය කෙරෙනවා විතරක් නෙවෙයි, දූෂණය සඳහා අවස්ථාවනුත් පෑදෙනවා. උදාහරණයක් විදිහට, තාවකාලික බදු අඩු කිරීම් හරහා යම් පුද්ගලයන්ට අයුතු ලාබ ලැබීමටත් අවස්ථාව සැලසෙනවා.

(“The way Forward: Price Stability and Prosperity Through Good Governance” මැයින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන සංවත්සරයේ දී  ආචාර්ය ෂාර්මිනි කුරේ විසින් පැවැත් වූ සමරු දේශනය සිංහලට පරිවර්තනය කළේ Governance Lanka වෙතිනි.)