ප්‍රචණ්ඩත්වය සහ හිංසනය අවසන් කිරීමේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිර්දේශය

ප්‍රචණ්ඩත්වය සහ හිංසනය අවසන් කිරීමේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  නිර්දේශය

2019 ජුනි 21දා ජිනීවාහිදී, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 108වන සැසියේදී සම්මත කරගන්නා ලද, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ නිර්දේශය

206 නිර්දේශය
වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ නිර්දේශය

ජාත්‍යන්තර කම්කරු කාර්යාලයේ පාලන සභාව විසින් කැඳවනු ලදුව, 2019 ජුනි 10දා, 108වන (සියවස්) සැසියේදී

ජාත්‍යන්තර කම්කරු කාර්යාලයේ පාලන සභාව විසින් ජිනීවාහිදී කැඳවනු ලැබ, 2019 ජුනි 10 දින 108වන (සියවස්) සැසියේදී,

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහ සමුළුව,

2019 ප්‍රචණ්ඩත්වය සහ හිංසනය පිළිබඳ සම්මුතිය සම්මත කරගෙන,

එම සැසියේ න්‍යාය පත්‍රයේ පස්වෙනි අංකය ලෙස වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ඇතැම් යෝජනා සම්මත කරගැනීමට තීරණය කර,

මෙම යෝජනා 2019 ප්‍රචණ්ඩත්වය හා හිංසනය පිළිබඳ සම්මුතියට අතිරේක නිර්දේශයක ස්වරූපය ගන්නා බව නිර්ණය කරමින්,

මෙම 2019 ජුනි 21 දින පහත සඳහන් නිර්දේශ සම්මත කරගනියි. ඒවා 2019 ප්‍රචණ්ඩත්වය හා හිංසනය සම්බන්ධ නිර්දේශ ලෙස දැක්වේ.

මෙම නිර්දේශවල විධිවිධාන 2019 ප්‍රචණ්ඩත්වය සහ හිංසනය පිළිබඳ සම්මුතියට අතිරේක වේ. (මින් ඉදිරියට එය ‘සම්මුතිය’ ලෙස හැඳින්වේ.) මෙය ඒ හා සම්බන්ධව සලකා බැලිය යුතු ය.

I මූලික මූලධර්ම
2. සම්මුතියේ, 2 ඡේදයේ, 4 වගන්තියේ සඳහන් වන ඇතුළත් කරගන්නා, ඒකාබද්ධ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී වශයෙන් ප්‍රතිචාරාත්මක ප්‍රවේශය සම්මත කරගැනීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන්, සාමාජිකයන් විසින් වැඩ ලෝකයේ ශ්‍රමය තුළ සහ රැකියාවල, වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් ද, සමානාත්මතාව සහ වෙනස්කම් නොකිරීමේ නීතියේදී සහ අපරාධ නීතියේදී ද, ප්‍රචණ්ඩත්වය සහ හිංසනය දුරලීම සඳහා යෝග්‍ය පරිදි කටයුතු කළ යුතු ය.
3. ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට වැඩිපුර නිරාවරණය වන, විවිධ අංශවලට, රැකියාවන්ට සහ වැඩ කිරීමේ පිළිවෙලවලට අයත් අය ද ඇතුළුව, සියලු කම්කරුවන් සහ සේවකයන්, සංවිධානය වීමේ නිදහස සහ 1948 (අංක 87)‍් සංවිධානය වීමේ හිමිකම පිළිබඳ සම්මුතිය සහ 1949 (අංත 98) සංවිධානය වීමේ සහ සාමූහික කේවල් කිරීමේ සම්මුතියට අනුගතව සාමූහික කේවල් කිරීමේ අයිතිය ඵලදායී ලෙස පිළිගැනීම යන කාරණා පූර්ණව භුක්ති විඳින බවට සාමාජිකයන් තහවුරු කළ යුතු ය.
4. පහත දැක්වෙන කාරණා සම්බන්ධයෙන් සාමාජිකයන් යෝග්‍ය පියවර ගත යුතු ය:
5. ප්‍රචණ්ඩත්වය හා හිංසනය වැළැක්වීමේ ක්‍රමයක් ලෙස සහ හැකි තරම් දුරට වැඩ ලෝකයේ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ බලපෑම අවම කිරීමේ ක්‍රමයක් ලෙස සෑම මට්ටමකදී ම සාමූහික කේවල් කිරීමේ හිමිකම සම්බන්ධ ඵලදායී පිළිගැනීම ප්‍රවර්ධනය කළ යුතු ය.
6. සාකච්ඡා ක්‍රියාවලිය සහ සාමූහික ගිවිසුම්වල අන්තර්ගය සමග සම්බන්ධ අදාළ ප්‍රවණතා සහ යහභාවිතාවන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම හා බෙදාහැරීම මගින් එවැනි සාමූහික කේවල් කිරීම්වලට සහාය දැක්විය යුතු ය.
7. ජාතික නීතිවල, රෙගුලාසිවල සහ ප්‍රතිපත්තිවල ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධ විධිවිධාන මගින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමානාත්මතා සහ වෙනස්කම් නොකිරීමේ නිල ලේඛන සැලකිල්ලට ගන්නා බව සාමාජිකයන් තහවුරු කළ යුතු ය. ඒවා අතරට, 1951 සමාන වේතන සම්මුතිය (අංක 100) සහ නිර්දේශය (අංක 90), 1958 වෙනස්කම් කිරීම (රැකියා සහ වෘත්තීන්) සම්මුතිය (අංක 111) සහ නිර්දේශය (අංක 111) සහ වෙනත් අදාළ මෙවලම් අයත් වේ.

II ආරක්ෂාව සහ නිවාරණය
6. ජාතික නීතිවල, රෙගුලාසිවල සහ ප්‍රතිපත්තිවල ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය විධිවිධානවලදී, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අදාළ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය සම්බන්ධ නිල ලේඛන සැලකිල්ලට ගත යුතු ය. ඒවා නම්, 1981 (අංක 155) වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්මුතිය සහ 2006 (අංක 87) වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්මුතියේ ප්‍රවර්ධන රාමුව වේ.
7. යෝග්‍ය පරිදි, කම්කරුවන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සේවා ස්ථාන ප්‍රතිපත්තිය සැලසුම් කිරීමේ, ක්‍රියාත්මක කිරීමේ සහ නිරීක්ෂණය කිරීමේ ලා සහභාගි විය යුතු බව සාමාජිකයන් විසින් නීති සහ රෙගුලාසිවල නිශ්චිතව දැක්විය යුතු ය. එම ප්‍රතිපත්තිය සම්මුතියේ 9 (a) වගන්තියේ දැක්වේ. එවැනි ප්‍රතිපත්තියක් පහත පරිදි විය යුතු ය:
8. ප්‍රචණ්ඩත්වය සහ හිංසනය නොඉවසන බව එහි දැක්විය යුතු ය.
9. ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැළැක්වීමේ වැඩසටහන්, සුදුසු නම්, මිනිය හැකි අරමුණු සමග දැක්විය යුතුය.
10. කම්කරුවන්ගේ සහ සේවායෝජකයන්ගේ හිමිකම් සහ වගකීම් නිශ්චිතව දැක්විය යුතු ය.
11. පැමිණිලි සහ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු එහි අඩංගු විය යුතු ය.
12. ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධ සිද්ධිවල සියලු අභ්‍යන්තර සහ බාහිර සන්නිවේදනයන් නිසි පරිදි සැලකිල්ලට ගන්නා බවට සහ යෝග්‍ය පරිදි ඒ පිළිබඳ ක්‍රියා කරන බවට විධිවිධාන තිබිය යුතු ය.
13. පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සඳහා පුද්ගලයන්ගේ අයිතිය නිශ්චිතව දැක්විය යුතු ය. එය සම්මුතියේ 10 (c) වගන්තියෙහි දැක්වේ. සියලු උපද්‍රව පිළිබඳ දැනුවත් වීමේ කම්කරුවන්ගේ හිමිකම් එහිදී සමබර විය යුතු ය.
14. පැමිණිලිකරුවන්, වින්දිතයන්, සාක්ෂිකරුවන් සහ අකටයුතු නාදකයන් ගොදුරු කරගැනීමෙන් හා පළිගැනීමෙන් ආරක්ෂා කිරීමට, ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු ය.

8. සම්මුතියේ 9 (c) වගන්තියේ දැක්වෙන සේවා ස්ථානයේ අවදානම් තක්සේරුව විසින් ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වර්ධනය කරන සාධක සැලකිල්ලට ගත යුතු ය. ඒ අතරට මනෝසමාජයීය උපද්‍රව ද ඇතුළත් වේ. පහත දැක්වෙන තත්වයන් ඇති කරනු ලබන උපද්‍රව කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු ය.
9. සේවා තත්වයන්ගෙන් සහ පිළිවෙලවලින්, සේවා සංවිධානයෙන් සහ මානව සම්පත් කළමනාකරණයෙන් මතු වෙන අවදානම්, යෝග්‍ය පරිදි;
10. ගනුදෙනුකරුවන්, පාරිභෝගිකයන්, සේවා සපයන්නන්, භාවිතා කරන්නන්, රෝගීන් සහ පොදු ජනතාව වැනි තුන්වන පාර්ශ්ව සම්බන්ධ වන අවදානම්; සහ
11. වෙනස්කම් කිරීම්, බල සම්බන්ධතා අපහරණය සහ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය දිරිගන්වන ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සංස්කෘතික සහ සමාජ ප්‍රතිමාන නිසා මතුවන අවදානම්
12. ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට නිරාවරණය වීම වැඩිපුර සිදුවිය හැකි රාත්‍රී සේවා මුර, හුදකලාව සේවය කිරීම, සෞඛ්‍ය, රෝහල්, සමාජ සේවා, හදිසි සේවා, ගෘහ සේවා, ප්‍රවාහන, අධ්‍යාපන හෝ ප්‍රාසාංගික වැනි අංශ හෝ රැකියා සහ සේවා පිළිවෙලවල් වෙනුවෙන් සාමාජිකයන් යෝග්‍ය ක්‍රියාමාර්ග ගත යුතු ය.
13. සංක්‍රමණික කම්කරුවන්, විශේෂයෙන් ම කාන්තා සංක්‍රමණික කම්කරුවන්, සංක්‍රමණික තත්වය, සම්භවය, සංක්‍රාමීයත්වය සහ ගමන් කරන රට කෙරෙහි සැලකිලිමත් වීමකින් තොරව, යෝග්‍ය පරිදි, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් ආරක්ෂා කිරීමට සාමාජිකයන් නීතිමය හෝ වෙනත් ක්‍රියාමාර්ග ගත යුතු ය.
14. අවිධිමත් ආර්ථිකයේ සිට විධිමත් ආර්ථිකයට සංක්‍රමණය වීමට පහසුකම් සැපයිය යුතු ය. ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ වැළැක්වීමට අවිධිමත් ආර්ථිකයේ කම්කරුවන්ට සහ සේවායෝජකයන්ට, සහ ඔවුන්ගේ සංගම්වලට සාමාජිකයන් සම්පත් සහ සහයෝගය සැපයිය යුතු ය.
15. ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැළැක්වීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් යම් නිශ්චිත රැකියාවන්ට, වෘත්තීය අංශවලට කාන්තාවන් සහ සම්මුතියේ 6 වගන්තියේ දැක්වෙන කණ්ඩායම් සහභාගි වීම වළක්වන්නේ හෝ ඒවායින් ඔවුන් පිටමං කරන්නේ නැති බව සාමාජිකයන් විසින් තහවුරු තහවුරු කළ යුතු ය.
16. අවදානම් කණ්ඩායම් හා 6 වගන්තියේ දැක්වෙන අවදානම් තත්වයන් තුළ සිටින කණ්ඩායම් සඳහා යොමුව ජාත්‍යන්තර කම්කරු ප්‍රමිති සහ ජාත්‍යන්තර මානව හිමිකම් සම්බන්ධ අදාළ නිල ලේඛනවලට අනුව අර්ථ නිරූපණය කළ යුතු ය.

III බලාත්මක කිරීම, ප්‍රතිකර්ම සහ සහයෝගය

14. සම්මුතියේ 10 (b) වගන්තියේ දැක්වෙන ප්‍රතිකර්ම අතරට පහත දැක්වෙන ඒවා අන්තර්ගත විය හැකි ය.
15. වන්දි සහිතව ඉල්ලා අස්වීමේ අයිතිය
16. නැවත සේවයේ පිහිටුවීම
17. හානි සඳහා යෝග්‍ය වන්දි
18. ඇතැම් ක්‍රියාවන් වළක්වන බව හෝ ප්‍රතිපත්ති හෝ භාවිතාවන් වෙනස් කරන බව තහවුරු කිරීම සඳහා යෙදීමට අවශ්‍ය වන හදිසි විධායක බලය සහිත ක්‍රියාමාර්ග සම්බන්ධ නියෝග
19. ජාතික නීති සහ භාවිතාවන්ට අනුකූල නීතිමය ගාස්තු සහ පිරිවැය
20. වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වයේ සහ හිංසනයේ වින්දිතයන් හට වැඩ කිරීමේ නොහැකියාවක් ඇති කරන මනෝ සමාජයීය, ශාරීරික හෝ වෙනත් තුවාල හෝ අසනීප සම්බන්ධ වන්දි වෙත ප්‍රවේශය තිබිය යුතු ය.
21. සම්මුතියේ 10 (e) වගන්තියේ දැක්වෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හා හිංසනය සම්බන්ධ පැමිණිලි විභාග කිරීම හා ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයන් පහත දැක්වෙන ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු ය;
22. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධ සිද්ධිවලට අදාළ විශේෂඥභාවය සහිත උසාවි;
23. කාලීන සහ ඵලදායී ක්‍රියා සන්තතිය
24. පැමිණිලිකර්වන්ට සහ වින්දිතයන්ට නීති උපදෙස් සහ සහයෝගය
25. රටේ පුළුල්ව කතා කරන භාෂාවන්ගෙන් සහ පහසුවෙන් ලබාගත හැකි ලෙස තිබෙන මාර්ගෝපදේශ සහ වෙනත් තොරතුරු මූලාශ්‍ර
26. අපරාධ හැර වෙනත් විභාග සම්බන්ධයෙන් ඔප්පු කිරීමේ බර නැති කිරීම, යෝග්‍ය පරිදි

17. සම්මුතියේ 10 (e) වගන්තියේ දැක්වෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධ සහාය, සේවා සහ ප්‍රතිකර්ම අතරට පහත දැක්වෙන ක්‍රියාමාර්ග අයත් වේ;
18. වින්දිතයන්ට නැවත ශ්‍රම වෙළඳපොළට ඇතුළත් වීම සඳහා සහාය
19. යෝග්‍ය පරිදි, පහසුවෙන් ලබාගත හැකි ආකාරයේ උපදේශනය සහ තොරතුරු සේවා
20. 24 පැය හදිසි දුරකථන අංක
21. හදිසි සේවා
22. වෛද්‍ය සත්කාර සහ ප්‍රතිකාර සහ මනෝවිද්‍යාත්මක සහාය
23. රැකවරණ ස්ථාන ඇතුළු අර්බුද මධ්‍යස්ථාන
24. වින්දිතයන්ට සහාය ලබාදීම සඳහා විශේෂිත පොලිස් ඒකක හෝ විශේෂයෙන් පුහුණු කරන ලද නිලධාරීන්

18. සම්මුතියේ 10 (f) වගන්තියේ දැක්වෙන වැඩ ලෝකයේ ගෘහස්ථ හිංසනයේ බලපෑම අවම කිරීම සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ග අතරට පහත දැක්වෙන ඒවා ඇතුළත් විය යුතු ය;
19. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් සඳහා නිවාඩු
20. නම්‍යශීලී සේවා පිළිවෙල සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්ට ආරක්ෂාව
21. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් සේවයෙන් පහකිරීමට එරෙහි තාවකාලික රැකවරණය, යෝග්‍ය පරිදි. එහෙත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ හා එහි ප්‍රතිඵලවලට අදාළ නැති වෙනත් පදනම්වලට මෙය අදාළ නොවේ.
22. සේවා ස්ථාන අවදානම් ඇගයීම්වලට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇතුළත් කිරීම
23. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, එය පවතින ස්ථායන්හිදී ම අවම කිරීමේ පොදු ක්‍රියාමාර්ග වෙනුවෙන් යොමුකිරීමේ පද්ධතියක්
24. ගෘහස්ථ හිංසනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුවත් කිරීම

19. වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වයේ හා හිංසනයේ වැරදි කරන්නන් වගවීමට ලක් කළ යුතු අතර ඔවුන්ට යෝග්‍ය පරිදි උපදේශනය සැපයීම සහ වෙනත් ක්‍රියාමාර්ග ගත යුතු ය. එහි අරමුණ විය යුත්තේ, ප්‍රචණ්ඩත්වය හා හිංසනය නැවත සිදුවීම වැළැක්වීම සහ යෝග්‍ය පරිදි ඔවුන් නැවත සේවයට ඇතුළත් වීම සඳහා පහසුකම් සැලසීම වේ.
20. කම්කරු පරීක්ෂකවරුන් සහ වෙනත් බලයලත් අධිකාරිවල නිලධාරීන්, යෝග්‍ය පරිදි, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක පුහුණුවලට සහභාගි කළ යුතු ය. එහි අරමුණ වන්නේ, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය හඳුනාගැනීම හා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. එයට මනෝ සමාජයීය උපද්‍රව සහ අවදානම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සහ විශේෂිත කම්කරු කණ්ඩායම්වලට එරෙහි වෙනස්කම් කිරීම අයත් වේ.
21. ශ්‍රම පරීක්ෂණ, වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය, සමානාත්මතාව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව ඇතුළු වෙනස්කම් නොකිරීම සම්බන්ධයෙන් වගකියන ජාතික ආයතනවල වරම තුළ වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය සම්බන්ධයෙන් කටයුතු කිරීම ද තිබිය යුතු ය.
22. වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය පිළිබඳ ස්ත්‍රී පුරුෂභාවය, ප්‍රචණ්ඩත්වයේ හා හිංසනයේ ස්වරූපය සහ ආර්ථික ක්‍රියාකාරිත්වයේ අංශ අනුව දත්ත එක්රැස් කිරීමට සහ ප්‍රසිද්ධ කිරීමට සාමාජිකයන් ප්‍රයත්න දැරිය යුතු ය. සම්මුතියේ 6 වගන්තියේ දැක්වෙන කණ්ඩායම් ද එයට ඇතුළත් විය යුතු ය.

IV මාර්ගෝපදේශනය, පුහුණුව සහ දැනුවත්භාවය නැංවීම

23. සාමාජිකයන් පහත දැක්වෙන කාර්යයන් සඳහා යෝග්‍ය පරිදි අරමුදල් සැපයිය යුතුය; සංවර්ධනය කළ යුතු ය; ක්‍රියාත්මක කිරීම හා බෙදාහැරීම කළ යුතු ය.
24. වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සිදුවීමට තිබෙන හැකියාව වැඩිකරන සාධක සම්බන්ධයෙන් කටයුතු කරන ඉලක්ක කරන වැඩසටහන්. ප්‍රචණ්ඩත්වය සහ හිංසනයට උපකාරී වන වෙනස්කම් කිරීම, බල සම්බන්ධතා අපහරණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවී, සංස්කෘතික සහ සමාජ ප්‍රතිමාන එයට ඇතුළත් වේ.
25. විනිශ්චයකාරවරුන්ට, කම්කරු පරීක්ෂකවරුන්ට, පොලිස් නිලධාරීන්ට, නඩු පවරන්නන්ට සහ වෙනත් රාජ්‍ය නිලධාරීන්ට වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය සම්බන්ධ තම වරම සම්පූර්ණ කිරීම සඳහා සහාය වන ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක මාර්ගෝපදේශ සහ පුහුණු වැඩසටහන් සහ රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ට සහ ඔවුන්ගේ සංවිධානවලට වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැළැක්වීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම සඳහා වන වැඩසටහන්
26. වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය සම්බන්ධයෙන් පොදු හෝ එක් එක් අංශවලට නිශ්චිතව සකසන ලද ආදර්ශ භාවිතා සංග්‍රහ සහ අවදානම් තක්සේරු කිරීමේ නිල ලේඛන;
27. සේවකයන්ගේ සහ සම්මුතියේ 6 වගන්තියේ දැක්වෙන කණ්ඩායම්වලට අයත් පුද්ගලයන්ගේ නිශ්චිත තත්වයන් එහිදී සැලකිල්ලට ගත යුතු ය.
28. ප්‍රචණ්ඩත්වයේ සහ හිංසනයේ භාරගත නොහැකි ස්වභාවය, විශේෂයෙන් ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය, වෙනස්කම් කිරීමේ ආකල්ප සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ වින්දිතයන්, පැමිණිලිකරුවන්, සාක්ෂිකරුවන් සහ අකටයුතු නාදකයින් නින්දාවට ලක්කිරීම වැළැක්වීම පිළිබඳ රටවල විවිධ භාෂාවලින් පොදු මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන්. එම භාෂා අතරට රටේ සිටින සංක්‍රමණික කම්කරුවන්ගේ භාෂා ද ඇතුළත් විය යුතු ය.
29. ජාතික නීති සහ තත්වයන්ට අනුකූලව ස්ත්‍රී පුරුෂ ප්‍රතිචාරාත්මක විෂය නිර්දේශ සහ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය පිළිබඳ උපදේශාත්මක ද්‍රව්‍ය. එයට අධ්‍යාපනයේ සෑම මට්ටමකදී ම සහ වෘත්තීය පුහුණුවේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ඇතුළත් විය යුතු ය.
30. පුවත්පත් කලාවේදීන් සහ වෙනත් මාධ්‍ය වෘත්තිකයන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හා හිංසනය සම්බන්ධ දැනුම් ද්‍රව්‍ය. එයට හේතු වන කාරණා සහ අවදානම් සාධක ඒවාට ඇතුළත් විය යුතු ය. එහිදී ප්‍රකාශනයේ නිදහසට සහ ස්වාධීනත්වයට නිසි ගරුත්වය ලබා දිය යුතු ය.
31.ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර ආරක්ෂිත, සෞඛ්‍යමය සහ සහජීවනීය සේවා ස්ථාන දිරිගැන්වීමේ මහජන ව්‍යාපාර

ඉහත දක්වනු ලැබුවේ, 2019 ජුනි 21දා ජිනීවාහි අවසන් වූ බව ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 108වන සැසියේ මහ සභාවේදී සම්මත කරගන්නා ලද නිර්දේශවල මුල් ලේඛනයයි (සිංහල පරිවර්තනයකි).

එයට පක්ෂපාතීව අප විසින් 2019 ජුනි මස ………. දින අපගේ අත්සන යෙදුවෙමු.

(සිංහල පරිවර්තනය)

වැඩබිම