සම්මුති හා නිර්දේශ ක්‍රියාවට නගනු පිණිස වන ILO භූමිකාව

සම්මුති හා නිර්දේශ ක්‍රියාවට නගනු පිණිස වන ILO භූමිකාව

සම්මුතීන් සහ නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීමේ දී සේවා යෝජකයන් සහ සේවකයන් ලබා දෙන දායකත්වයේ වැදගත්කම, අධීක්ෂක යාන්ත්‍රණ වෙතින් මෙන් ම සමුළුව වෙතින් ද, වඩා විශේෂිතව 1971 දී සහ 1977 දී සම්මත කරන ලද ත්‍රෛපාර්ශ්වීයත්වය ශක්තිමත් කිරීම ඉල්ලා සිටින යෝජනාවල දී ද යළි යළිත් අවධාරණය වී ඇත. 1976 අංක 144 දරණ ත්‍රෛපාර්ශ්වීය අදහස් විමසීම් (ජගත් කම්කරු ප‍්‍රමිති) පිළිබඳ සම්මුතිය සහ 1976 අංක 152 දරණ ත්‍රෛපාර්ශ්වීය අදහස් විමසීම් (ජගත් කම්කරු සංවිධාන ක‍්‍රියාකාරකම්) පිළිබඳ නිර්දේශයන්, සමුළුව විසින් සම්මත කිරීම, ILO සම්බන්ධ සියලූ කාරණාවල දී ජාතිකව සහ ජාත්‍යන්තරව ත්‍රෛපාර්ශ්වීය ක‍්‍රියාකාරිත්වයන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ILO ගත් ප්‍රවේගවත් පියවරයන්හි වැදගත් අංගයක් විය.

අදහස් විමසීම් consultations වල විෂය පථය සම්බන්ධයෙන් ගත් කල, අංක 144 දරණ සම්මුතියට අත්සන් කරන රාජ්‍යයන් පහත දැක්වෙන කාරණා පිළිබඳව රජයේ, සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ නියෝජිතයන් අතර ක‍්‍රියාත්මක අදහස් විමසීම් සිදු වන බව සහතික කරන ක‍්‍රියා පටිපාටි ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කරයි: එනම්, රජය ජගත් කම්කරු සමුළු න්‍යාය පත‍්‍රයේ ඇතුළත් විෂයාංක සම්බන්ධ ප‍්‍රශ්නාවලීන්ට සපයන පිළිතුරු, සමුළුව විසින් සාකච්ඡා කිරීමට නියමිත යෝජිත ලියවිලි පිළිබඳව රජයේ අදහස්; ජගත් කම්කරු සංවිධානයේ ව්‍යවස්ථාවේ 19 වන වගන්තියට අනුව සම්මුතීන් සහ නිර්දේශයන් නිසි බලධාරි ආයතන හෝ ආයතනයන් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් කළ යුතු යෝජනා පිළිබඳව; තවමත් ක‍්‍රියාවේ යොදවා නැති අත්සන් නොකළ සම්මුතීන් සහ නිර්දේශයන් සුදුසු පරිදි ක‍්‍රියාත්මක කිරීමත්, අත්සන් කිරීමත් ප‍්‍රවර්ධනය කිරීමට ගත හැකි පියවරයන් සලකා බැලීම සඳහා සුදුසු කාල ප‍්‍රාන්තරවල දී ඒවා යළි විමර්ශනය කිරීම පිළිබඳව; ව්‍යවස්ථාවේ 22 වන වගන්තිය යටතේ ජගත් කම්කරු කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු වාර්තාව ලින් මතු කෙරෙන ප‍්‍රශ්න පිළිබඳව; සහ අත්සන් කළ සම්මුතීන් අවලංගු කිරීම denunciation සම්බන්ධ යෝජනා පිළිබඳව අදහස් දක්වයි. නිර්දේශයන් මගින්, සම්මුතින් බලාත්මක කිරීම සලසනුවස් නීති සුදානම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමට අදාල ව්‍යවස්ථාදායක හෝ අනෙකුත් කාරණා සම්බන්දව; ව්‍යවස්ථාවේ 19 වන වගන්තිය යටතේ ILO වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා වලින් මතු කෙරෙන ප‍්‍රශ්න පිළිබඳව සමුළුවල සහ රැස්වීම්වල යෝජනා සහ නිගමන සහ ප‍්‍රවර්ධන ක‍්‍රියාකාරකම් වැනි අමතර කාරණා පිළිබඳව විදිවිධාන සලසයි.

ගිවිසුමකින් බැඳී, යටත් පිරිසෙයින් වසරකට වරක් හෝ සුදුසු කාල ප‍්‍රාන්තරවල දී අදහස් විමසීම් consultations සිදු කළ යුතු යැයි සම්මුතිය සහ නිර්දේශය යන දෙකෙන් ම නියම කෙරේ.

1971 සහ 1977 සමුළු යෝජනාවලින් පසුව, සිය රටවල දී ILO ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීමට දායක වීම සඳහා විවර වන අවස්ථා පිළිබඳව සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන වඩා මැනවින් දැනුවත් කෙරෙන බව සහතික කිරීමට ILO පියවරයන් ගණනාවක් ගෙන ඇත. විශේෂයෙන් ම අදාළ වාර්තා ආකෘති පත‍්‍ර ද, සුදුසු අවස්ථාවල දී සම්මුතීන් පිළිබඳව විශේෂඥ කමිටුව සිදු කළ අදහස් දැක්වීම්වල පිටපත් ද සමග සිය රජයන් වාර්තා ඉදිරිපත් කළ යුතු සම්මුතීන් කවරේ දැයි පෙන්වා දෙමින්, සාමාජික රාජ්‍යයන් තුළ පවත්නා සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවල නියෝජිතයන් වෙත සෑම වසරක ම ලිපියක් යවනු ලැබේ. සේවක නියෝජිතයන්ගේ ඉල්ලීම මත, ප‍්‍රමිතීන් සම්මත කිරීම සහ අධීක්ෂණය කිරීම සම්බන්ධ ක‍්‍රියා පටිපාටි පිළිබඳව, ජගත් කම්කරු සමුළුවේ දී සහ කලාපීය සමුළුවල දී ILO විසින් සේවක නියෝජිතයන් සඳහා අධ්‍යයන පාඨමාලා ද සංවිධානය කොට ඇත. ILO සහාය ඇතිව ජාතික මට්ටමේ දී සේවකයන් සහ සේවා යෝජකයන් සඳහා සම්මන්ත‍්‍රණ ද සංවිධානය කර ඇත. අවසන් වශයෙන්, ජගත් කම්කරු කාර්යාලය, සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ නියෝජිතයන් ගණනාවකටම ජගත් කම්කරු ප‍්‍රමිතීන් පිළිබඳ පුහුණු ද සම්පාදනය කර ඇත.

මෙම පියවරයන් හරහා, සම්මුතීන් සහ නිර්දේශයන් ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධ අධීක්ෂණ යාන්ත‍්‍රණය තුළ තමන්ට පිරවිය හැකි ස්ථානය පිළිබඳව සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන වඩා පූර්ණ ලෙස දැනුවත් කොට ඇති බව නිසැක ය. වාර්තා සැපයීම මත පදනම් වන නිතිපතා අධීක්ෂණ ක‍්‍රියාවලියට ලැබෙන අදහස් දැක්වීම් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව ද ඒවායින් පැහැදිලි වේ. මෙම අදහස් දැක්වීම් සංඛ්‍යාව 1972 දී 9ක්, 1975 දී සහ 80 දී 52ක්, 1983 දී 82ක්, 1984 දී 102ක්, සහ 1987 දී 155ක් විය. රාජ්‍යයන් නීතියේ දී සහ භාවිතයේ දී ILO ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යොදවන ආකාරය පිළිබඳව විශේෂයෙන්ම ප‍්‍රයෝජනවත් තොරතුරු මූලාශ‍්‍රයක් ඒවායින් නිර්මාණය වන බව පැවසිය යුතු ය. රටරටවල් මුහුණ පාන දුෂ්කරතාවන් පිළිබඳව මනා දැනුමක් සහ පළල් අවබෝධයක් ලබා ගැනීම සඳහා විශේෂඥ කමිටුවට මේවා බෙහෙවින්ම උපකාරී වී ඇත.

දැක ගත හැකි පරිදි, ILO ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීම රඳා පවත්නේ රජයන් මත පමණක් නො ව, ILO වටම සුවිශේෂී මෙම ත්‍රෛපාර්ශ්වීය ක‍්‍රියා පටිපාටියේ නානාවිධ අදියරවල දී සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන දක්වන උනන්දුව සහ සහභාගිත්වය මත ද එය සමානව රඳා පවතී. සහයෝගිතාවයේ සක්‍රිය ඵලදායකත්වය, කිසි යම් රටක් තුළ එම පාර්ශවකාර සංවිධාන වර්ධනය වී තිබෙන තරම මතද රඳා පවතී.

ILO ප්‍රමිතීන් සම්බන්ධයෙන් සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන ඉටු කරන කාර්ය භාරය පහත සඳහන් පියවරයන් හරහා වැඩි දියුණු කල හැකිය:

  • ජගත් කම්කරු ප‍්‍රමිතීන්ට සම්බන්ධ ක‍්‍රියා පටිපාටි සහ ගැටලූ පිළිබඳව ILO විසින් මුල පුරන, ත්‍රෛපාර්ශ්වීය කලාපීය සහ ජාතික සම්මන්ත‍්‍රණ ද සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ නියෝජිතයන් සඳහා වන පෞද්ගලික පුහුණු ද ඇතුළත් පුහුණු ක‍්‍රියාකාරකම්;
  • මෙම ප‍්‍රමිතීන් පිළිබඳව වඩා පුළුල් දැනුමක් ඇති කිරීම සඳහා සාමාන්‍ය සේවක ආධ්‍යාපනික ක‍්‍රම ද සේවා යෝජකයන්ට ප්‍රමිතීන් පිළිබඳව පළල් අවබෝධයක් ලබාදී ඒ හරහා සංවිධාන වලට සිය දෛනික ක‍්‍රියාකාරකම්වල දී ජගත් කම්කරු ප‍්‍රමිතීන් සහ නිර්දේශයන් පදනම්ව කටයුතු කිරීමටත්, නව කම්කරු නීති පද්ධති සලකා බැලීමේ දී, සාමූහික ගිවිසුම් වලට එළඹීමේදී සහ පොදුවේ සමාජ ප‍්‍රතිපත්ති සහ ප‍්‍රගතිය ප‍්‍රවර්ධනය කිරීමේ දී දිරිදීමට කටයුතු කල හැක.
  • අවශ්‍ය මූලික ලියවිලි රැස් කිරීම සහ පවත්වාගෙන යෑම;
  • කේන්ද්‍රීය අවධානයකින් යුතුව ක‍්‍රියා කිරීම සහ අදාළ සියලූ ප‍්‍රශ්න පිළිබඳ දැනුම යාවත්කාල කර ගැනීම;
  • සම්මුතීන් සහ නිර්දේශයන් ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳව තොරතුරු සටහන් කිරීම සහ විශේෂයෙන් ම අදාළ රජය ඉදිරිපත් කළ වාර්තාවේ පිටපත ලද පසුව අවශ්‍ය අදහස් දැක්වීම් සිදු කෙරෙන්නේ දැයි අවධානයෙන් සිටීම; ILO ප‍්‍රමිතීන් සම්බන්ධව කටයුතු පිළිබඳ වගකීම දරන සේවා යෝජක සහ සේවක නිලධාරීන්, විශේෂයෙන් ම සම්මුතීන් ක‍්‍රියාවේ යෙදවීම සඳහා රජය ගෙන තිබෙන හෝ ගැනීමට කල්පනා කරන පියවරයන් ද ඇතුළුව, එම ක්ෂේත‍්‍රය තුළ සිදු වන සියලූ වර්ධනයන් පිළිබඳව සිය නායකත්වය දැනුවත් කළ යුතු ය;
  • ILO සම්මුතීන් පූර්ණ ලෙස ක‍්‍රියාවේ යෙදවීම වළක්වන දුෂ්කරතාවන්ට විසඳුම් සෙවීම සඳහා රජයන් සමග සහයෝගී වීමට පවත්නා ඉඩකඩ විධිමත්ව විමසා බැලීම; තොරතුරු සම්පාදනය කර සහ ඒකාබද්ධ යාන්ත‍්‍රණයක් මාර්ගයෙන් හෝ වෙනත් සුදුසු වැඩ පිළිවෙලවල් මාර්ගයෙන් පියවර ගෙන සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවලට රජයේ පරිශ්‍රමයට සහාය දිය හැකි ය.

මූලාශ්‍රය: www.ilo.org