රාජ්‍ය ආයතන වලට බෝවුණු අල්ලස් ලෙඩේ

රාජ්‍ය ආයතන වලට බෝවුණු අල්ලස් ලෙඩේ
  • 2002 ශ්‍රී ලංකාව සිටියේ පනස් දෙවැනි තැන...
  • 2021 වන විට එකසිය විසි එක් වැනි තැන...
  • වැඩිම අල්ලස් ගෙන ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ...
  • දූෂිතම ආයතනය ශ්‍රී ලංකා පොලිසිය...
  • ලිංගික අල්ලස් සියයට දහයක්.. සියල්ලම අධ්‍යාපන ක්ෂේත්‍රයේ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල අල්ලස දූෂණය සහ වංචාව ක්‍රමිකව ඉහළ යමින් ඇති බව සමීක්ෂණ වාර්තා වලින් හෙළිදරව් කර ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරුන් වන වසන්ත අතුකෝරල මහතා සහ මාලක රණතිලක මහත්වරුන්ය. අන්තර්ජාලය ඔස්සේ මේ මොහොතේත් ක්‍රියාත්මක වන මෙම සමීක්ෂණ වාර්තාවට අනුව මේ මොහොත වන විටත් ශ්‍රී ලංකාවේ දූෂිතම ආයතනයන් අතර ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලංකා පොලිසිය ය. දර්ශකයක් ලෙස සියයට හතළිස් හය ඉක්මවූ ගණනය කිරීමකි. තවත් ලෙසකට කියන්නේ නම්, සමීක්ෂණයට ඇතුළත්ව සිටින පිරිස් අතරින් සියයට 46 ක් ප්‍රකාශ කොට ඇත්තේ පොලිසිය දූෂිත ආයතනයක් බවය.

අල්ලස් ලබාදීම් පිළිබඳව හෙළිවන කරුණු මත වැඩි වශයෙන් අල්ලස් ක්‍රියාත්මක වී ඇත්තේ රජයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේය. එහිදී හෙළිවන තවත් කරුණක් වන්නේ අධ්‍යාපන සේවා වෙනුවෙන් සියයට දහයක ප්‍රමාණයක් ලිංගික අල්ලස් ද ලබාදීමට සිදුවී ඇති බවට හෙළිවීමය.

වංචාව ගණනය කිරීමට ක්‍රමවේදයක් හරි හැටි නිශ්චිතව නැත. මන්ද කොතැනක හෝ වංචාව පිළිබඳ ගණනය කිරීම් හරිහැටි කරමින් වංචා කරන පුද්ගලයෙක් ලංකාවේ නැති නිසාය. වංචාවක් සිදු කිරීමට සුදුසු පරිසරය රාජ්‍ය සේවයේ සකසා තිබීමත්, ඉහළ සිට පහළ තෙක් වංචාවන් සිදු කරන බවට කරුණු හෙළිවන පරිසරයක් තිබීමත් මිස වංචාවන් හෙළි කර ගැනීමට ඉඩක් වංචනිකයන් විසින් ඉතුරු කර නැත. එහෙයින් කතාන්දරය ඔස්සේ අල්ලස් සහ දූෂණ සමීක්ෂණයේදී අනාවරණය වූ සංඛ්‍යා ලේඛන මත ගෙන ආ හැකිය.

රටේ තත්ත්වය මේ වන විට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුම පාහේ අල්ලස දූෂණය වංචාව පිළිබඳව දැනුවත්ය. එහෙත් කුමක් හෝ රාජකාරියක් ඉටු කර ගැනීමට යන අවස්ථාවකදී දැන හෝ නොදැන අල්ලසට දූෂණයට යොමුවීම නිතැතින්ම සිදුවන්නකි. එහෙයින්ම රටේ දියුණුව ඇති වන්නේ අල්ලස, දූෂණය, වංචාව නැත්නම් යැයි කොතෙක් පැවසූවත් මේ වනතුරු එය සෝද සෝදා මඩේ දාන ගණයේ වාක්‍ය කණ්ඩයක්ම වී තිබෙන්නේය.

නැවත මතක් කළ යුතු යමක් තිබේ. ශ්‍රී ලංකාව දියුණු තලයට ගෙන ආ හැක්කේ වංචාව දූෂණය සහ අල්ලස තුරන් කරන මායිමකට හෝ යා හැක්කේ නම් පමණකි. ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් ලෙස මහාචාර්යවරුන් වෑයම් කරන්නේ රට දියුණු තලයකට ගෙන යා හැකි තැනක අදටත් තිබෙන නිසාය. ඔවුන් පවසන පරිදි අල්ලස දූෂණය පිළිබඳ සමීක්ෂණ වාර්තා කරුණු හෙළි දක්වන්නේ මෙම ආයතන අපහසුවට පත් කිරීමට නොවේ. රටේ ජනතාව අවංකව දක්වන අදහස පිළිබඳ ගැඹුරින් සිතා ම ආයතනයේ අල්ලස සහ දූෂණය වළක්වාලීමට පියවර ගැනීමට මෙම කරුණු වැදගත් වන නිසාය. අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් ජනතාව දක්වන තොරතුරු ඔවුන්ගේ අත්දැකීම මත පදනම්ව ඉදිරිපත් කරන්නේ රට අද පත්ව ඇති තැන ගැන හරි හැටි අවබෝධයක් ඇතිවය.

තවද, මෙම සමීක්ෂණය රාජ්‍ය සේවය නැතහොත් රාජ්‍ය ආයතන මත පදනම්ව සිදු කරනු ලබන්නේ, සියලුම රාජ්‍ය ආයතන යනු සියලුම රාජ්‍ය නිලධාරීන්, සේවකයන් යනු මහජනතාවගේ දහඩිය මහන්සියෙන් උපයන මුදලින් අය කර ගන්නා බදු මුදලින් හෙවත් මහජන මුදලින් යැපෙන නිසාය. මහජනතාවගේ මුදල් වංචනික ලෙස පරිහරණය කරන්නේ නම් එය ඔවුන්ගේ සැබෑ දියුණුවක් නොවන්නේය.

සමීක්ෂණය ආරම්භ කළ හැටි

කිසියම් පුද්ගලයෙක් තමන්ගේ තනතුර හෝ බලය පාවිච්චි කරමින් අයකුගෙන් කිසියම් අයුතු ප්‍රයෝජන ලබා ගන්නේ නම් හෝ අයුතු මූල්‍ය භාවිතයක් සිදු කරන්නේ නම් හෝ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කරන්නේ නම් එය වංචාවක් දූෂණයක් හෝ අල්ලසක් යටතට ගැනෙන්නේය.

ශ්‍රී ලංකාවාසී ජනතාව අල්ලසට දූෂණයට යටත්ව ඇති පිරිසක් බවට සාක්ෂි සහිතව සනාථ කිරීමේ වගකීම රටක උගත් බුද්ධිමත් පිරිසට තිබේ. මහජනතාවගේ මුදලින් උගත් පිරිසක් වන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් රට අගාධයට යනවිට එය නඟාසිටුවීමට අවැසි වාතාවරණයක් සැකසීමට මූලාරම්භයක් ගත යුතුය. එවන් අරමුණක් පෙරදැරිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරුන් වන වසන්ත අතුකෝරල මහතා සහ මාලක රණතිලක මහතා රාජ්‍ය සේවා සැපයීමේ කාර්ය සාධනය පිළිබඳ සමීක්ෂණය ආරම්භ කළහ.

අන්තර්ජාලය ඔස්සේ රටේ සමස්ත ප්‍රජාව නියෝජනය කරමින් පළාත් නවයම ආවරණය වන පරිදි ග්‍රාමීය වතු සහ නාගරික අංශයේ වෙසෙන සෑම පුද්ගලයෙක්ම සමීක්ෂණයට ඇතුළත් කරගෙන තිබේ. ඒ අනුව ග්‍රාමීය අංශයේ සියයට හතළිස් දෙකක් ද වතු අංශයේ සියයට හතක් ද නාගරික අංශයෙන් සියයට පනස් හතක්ද ජනතාව රැකියා නියුක්තිකයන් ලෙසත් රැකියා වියුක්තිකයන් ලෙසත් සමීක්ෂණයට මෙතෙක් සහභාගි වී තිබේ. (අන්තර්ජාල සමීක්ෂණයට මේ මොහොතේ වුවද ඕනෑම අයකුට සහභාගි වීමේ වරප්‍රසාද සලසා දී ඇත. අප මේ කතා කරන්නේ ඉකුත් දෙවැනි දා සිකුරාදා මෙය ලියන අවස්ථාව වන විට ලැබී තිබුණු දත්ත වාර්තා අනුවය)

එම පිරිස් අතරින් සියයට පනස් හතරක් පිරිමි පුද්ගලයන්ය. සියයට හතළිස් හයක් කාන්තාවන්ය. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම් අනුව වර්ගීකරණය කළ විට මෙතෙක් සමීක්ෂණයට සහභාගි වූ පිරිස අතරින් පශ්චාත් උපාධිය සමත් පිරිස සියයට හතළිහකි. උපාධිධාරීන් සියයට විසි හයකි. ඩිප්ලෝමාලාභීන් සියයට දහයකි. අපොස උසස් පෙළ සමත් පිරිස සියයට පහළවකි.

ඔවුන් ශ්‍රී ලංකා රාජ්‍ය සේවයෙන් ලබා ඇති සේවයට සාපේක්ෂව අත්දැකීම් මත පදනම්ව සමීක්ෂණයට ඉදිරිපත්ව ඇත.

සමීක්ෂණගත තොරතුරු

රාජ්‍ය ආයතන වලට බෝවුණු අල්ලස් ලෙඩේ

සමීක්ෂණය ආරම්භ වන්නේ රාජ්‍ය සේවයක් රාජ්‍ය ආයතනයක් කුමක්ද යන්න පැහැදිලි කිරීමකිනි. පාර්ලිමේන්තුවේ සිට පළාත් සභා ප්‍රාදේශීය සභා ග්‍රාම නිලධාරී, අධ්‍යාපන, විදුලිබල, කණිජ තෙල්, ආරක්ෂක අංශ පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ එය ජනතාවට ඉතා සමීප ආයතන වන නිසාය. මෙහි අවධානය යොමු කළ යුතු ප්‍රබලතම කාරණයක් ලෙස දැක්විය හැක්කේ ඉකුත් වසර තුන තුළදී අදාළ නියැඳියෙන් සියයට තිස් එකක පිරිසක් කුමන හෝ ආකාරයක අල්ලසක් ලබාදීමට යොමුවී සිටීමය. එම පිරිස ලබා දී ඇති අල්ලස් මුදලේ සාමාන්‍යය ගණනය කළ විට වටිනාකම ලෙස දැක්වෙන්නේ රුපියල් තිස්දහසය. අනාවරණය වූ කරුණු මත පදනම්ව සලකා බලන විට පුද්ගලයන් රුපියල් පන්සියයේ සිට රුපියල් ලක්ෂ අට දක්වා පරාසයක මුදලක් අල්ලස් වශයෙන් රජයේ කිසියම් පුද්ගලයකුට ලබා දී තිබේ. රටක් ලෙස රාජ්‍ය ආයතනයක් ලෙස සලකා බැලීමේදී මෙය අල්ලස රජයන රටක ස්වභාවයක් ගනී.

සෑහීමට පත් වීම හා සෑහීමට පත් නොවීම

සමීක්ෂණයට සම්බන්ධ වූ පිරිස් රාජ්‍ය ආයතනවලින් ලබාගත් සේවය පිළිබඳව සෑහීමකට පත්ව ඇත්තේ සියයට පහළොවක් වැනි ඉතා කුඩා කොටසක් පමණි. කිසිදු සෑහීමක් නැති පිරිස සියයට තිහකි. යමක් කරගත නොහැකි තත්ත්වයේ සිට කාලය කා දමමින් සිත් තැවුල් ඇති කරගනිමින් පීඩාකාරී ලෙස තමන්ගේ කටයුතු සාමාන්‍ය ලෙස කරගෙන ඇති පිරිස සියයට පනහකි. ඒ අතරිනුත් සියයට අනූ හතරක පිරිසක් රාජ්‍ය ආයතන තුළදී අල්ලස් හෝ දූෂණය අතරට ලක්වූවන් බව ද හෙළිව තිබේ. සමීක්ෂණගත තොරතුරු මත රාජ්‍ය සේවය ලබා ගැනීමේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳ වර්ගීකරණයක් පෙන්වා දිය හැකිය. එහිදී සාමාන්‍ය ජනතාව දී ඇති තොරතුරු ඉතා පැහැදිලිය.

රාජ්‍ය සේවාව ලබා ගැනීමේ දී ප්‍රබල ගැටලුවලට මුහුණ දුන් පිරිස සියයට විසිහතකි. ඉහළ මට්ටමේ අකාර්යක්ෂමතාවය හෙවත් සේවය ඉටු කර දීමට ප්‍රමාද කිරීම් ඒ අතර ප්‍රබල තැනක් ගනී. ඉහළ නිලධාරිවාදය හෙවත් ප්‍රධානියා පැමිණිය යුතු බව දැන්වීම ඔහු නොමැති ව සේවය කළ නොහැකි බව දැන්වීම ඔහුගේ අත්සනට යොමු කළ යුතු බව දැන්වීම වැනි කටයුතුවලින් පීඩා විඳි පිරිස සියයට පහළවකි. ප්‍රධානියා නොමැති වීම මත සේවය ලබාගැනීමට නොහැකි වී පීඩා විඳි සාමාන්‍ය ජනතාව සියයට පහළවකි. පුහුණු නිලධාරීන් නොමැතිව පීඩාවට පත් වූ පිරිස සියයට එකොළහකි. භාෂාවේ ගැටලු මත සේවා පිටකර ගැනීමට නොහැකිවූ පිරිස සියයට පහකි. සේවාව පසුවට කල් තබා හෝ ගැටලුකාරී තත්ත්වයන් ඇතිකර ගනිමින් හෝ ආපසු හැරී යෑම් මත හෝ රාජ්‍ය සේවය ඉටු කරගත නොහැකි වූ අනෙකුත් පිරිස සියයට හතරකි.

අල්ලසටත් දූෂණයටත් ලක්ව ඇති ප්‍රධාන ආයතන

අල්ලස හා දූෂණයට ලක්ව ඇති ප්‍රධාන ආයතන හතකි. ඒ අතරින් දූෂිතම ආයතනය ශ්‍රී ලංකා පොලිසියය. අල්ලස් ලබා ගැනීම් අතින් ඉහළම තැනක ඉන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය ය.

සමීක්ෂණ වාර්තාව මත ශ්‍රී ලංකා පොලිසිය දූෂිත බව සියයට හතළිස් හයක පිරිසක් දන්වා තිබේ. සේවයක් ලබාගෙන ඒමට ගිය අවස්ථාවන්හිදී ම ඒ පිළිබඳ දැනුවත් කිරීම්, කාලය මිඩංගු කිරීම්, නිසි පිළිතුරක් ලබාදීම් හෝ ගැටලුව විසඳා දීම් ඒ යටතට ඇතුළත් වේ. ඉහළම දූෂිත ආයතන ලැයිස්තුවේ දෙවැන්නේ සිටින්නේ පාර්ලිමේන්තුව බව පවසා ඇති පිරිස සියයට දොළහකි. පළාත් සභා ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දූෂිත බව කියන පිරිස සියයට නමයකි. ග්‍රාම නිලධාරීන්ගේ දූෂිත බව ප්‍රකාශ කරන පිරිස සියයට හයකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දූෂිත බව පවසන පිරිස සියයට පහළවකි. විදුලි බල මණ්ඩලය දූෂිත යැයි පවසන පිරිස සියයට පහකි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දූෂිත බව පවසන පිරිස සියයට හතකි.

දූෂිත බව පැවසීමට ප්‍රමුඛතම හේතුව වී ඇත්තේ ඔවුන් කිසියම් සේවාවක් ලබාදීමේදී ජනතාව පීඩාවට ලක්කිරීමය. අල්ලස වෙනුවෙන් අතපෑමය, විවිධ කාරණා මත රස්තියාදු කරවීමය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලිංගික අල්ලස්

අල්ලස් හෙවත් අසාධාරණ ලෙස මුදල් ලබාගැනීම් හමුවේ ප්‍රමුඛ තැන ගන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයය. ඒ පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සහ ගුරු මාරු සඳහාය. තවත් විටෙක ප්‍රධාන පෙළේ පාසල්වල ක්‍රිකට් රගර් ඇතුළු වෙනත් ක්‍රීඩා කණ්ඩායම් සඳහා ළමයි බඳවා ගැනීමට ද අල්ලස් ලබාදීම සිදුව තිබේ.

මෙහි සාකච්ඡාවට බඳුන්වන ලජ්ජාශීලීම සිදුවීම වන්නේ ඉහත සඳහන් කාරණාවලට අදාළවම ලිංගික අල්ලස් ලබා දීමය. එය සංඛ්‍යාත්මකව සියයට දහයකි. මෙය ගැඹුරින් සාකච්ඡා කළ යුතු මට්ටමක පවතින සමාජ ප්‍රශ්නයක් කරා ගොස් ඇති බව පෙනෙන්නේය. උදාහරණයක් ලෙස ගත් විට තමන්ගේ දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරියකුට හෝ වෙනත් අයකුට ලිංගික අල්ලසක් ලබා දෙන්නේ නම්… එය කෙතරම් නම් අපුල ක්‍රියාවක්ද..? මේ තත්ත්වයේ මතය සමාජයේ යන්නේ කොයිබටද..?

සෞඛ්‍යයත් අල්ලසට යටත්

රෝගියකු ට තමන්ගේ නම ශල්‍ය කර්ම ලැස්තුවට දමා ගැනීමට අල්ලස් ලබාදුන් අවස්ථා එමට තිබේ. එපමණක්ද ඖෂධ වට්ටෝරු ලබාගැනීමට, ප්‍රතිකාර ලබා ගැනීමට…. අල්ලස් ලබා දුන් අවස්ථා තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය ඉතාම දුර්වල තැනක ඇති බව සමීක්ෂණයෙන් හොඳ හැටි අනාවරණය වී තිබේ. එය සංඛ්‍යාත්මකව සියයට පනස් තුනකි.

එම අකාර්යක්ෂමතාවය මත සියයට අසූවක පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පෞද්ගලික වෛද්‍ය සේවා වෙත යොමුව තිබේ. සෑම අවස්ථාවකදීම සේවය ලබාගෙන ඇත්තේ මුදල් වියදම් කිරීම මත පමණි. රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමත් ඖෂධ ලබා ගැනීමත් අතිශය දුෂ්කර කාර්යයක් බව ඔහු ප්‍රකාශ කොට තිබේ.

රට පුරා රාජ්‍ය සේවකයන් ලක්‍ෂ දහතුනක්

ආරක්ෂක අංශය ඇතුළුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් ගණන මිලියන එකයි දශම හයකි. මේ සියලු දෙනා අධ්‍යාපනය ලබා ඇත්තේ මහජන මුදලින්ය. ඉන් අනතුරුව මේ මොහොත වන තෙක්ම වැටුප් අතිකාල දීමනා, සෙසු පහසුකම්, වාහන ඇතුළු සියලුම පහසුකම් ලබා ගන්නේ ද මහජන මුදලින් හෙවත් ජාතික ධනයෙනි.

මේසා රාජ්‍ය සේවක පිරිසක් නඩත්තු කිරීමට සිදුවීමම මිනිසුන්ගේ අභාග්‍යයකි. ඊටත් වඩා රට අගාධයකට පත්වීමකි. මෑත ඉතිහාසයේ දන්නා කාලයක සිට රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය සහ වංචාව, අල්ලස, දූෂණය රජවීම හමුවේ දවසින් දවස පොළොව තුළට කිඳා බසින්නේ සාමාන්‍ය ජනතාවගේ දහදිය ය. අදටත් රාජ්‍ය සේවකයෝ තම ආයතනවලට ලබා ගන්නේ උසස් තත්ත්වයෙන් යුතු උපකරණ සහ උසස් තත්ත්වයෙන් යුතු දැනුමය. නමුත් එහි ඵලය ජනතාවට ලබා දීමට ඔවුහු කටයුතු කරන්නේ නැති තරම්ය. මැක්කෙක් කෑවිට මැක්කන් සියල්ල තලා දමනවා මෙන් රාජ්‍ය සේවයේ අවංක සේවය ඉටු කරන පුද්ගලයාද මේ විචාරයට බඳුන්වන්නේ ඔවුන් වෙන් කොට හඳුනාගත නොහැකි නිසාය. අවංකව රාජ්‍ය සේවය සිදු කරන ඇල්පෙනිත්තක් හෝ සොරකම් නොකරන වංචාව, දූෂණය, අල්ලස පිටුදකින කවරෙක් හෝ රාජ්‍ය සේවකයෙක් ඇත්නම් ඔහු හෝ ඇය මේ පිළිබඳව ශෝක විය යුතු නැත. මෙය හුදෙක්ම කියා සිටින්නේ වංචාව, දූෂණය, අල්ලස හිස මත තබා ගනිමින් රට අගාධයට පත් කරන්නට දායක වූ පිරිසටය.

ආයෝජන ආපසු යයි

එසේ කියන්නට හේතුවක් තිබේ. දියුණු වන්නට නම් ආයෝජකයන් රට තුළ නව ආයෝජන ඇති කළ යුතුය. එහෙත් වංචාව අල්ලස දූෂණය රජයන රටකට ආයෝජකයන් පැමිණෙන්නේ නැත. ඒ ඔවුන්ගේ ආයෝජනයෙන් රටේ දියුණුවට වැඩක් නොවන බව දන්නා නිසාය.

එහෙයින් මේ පිළිබඳව සුපරික්ෂා වන්නට ලෝකයේ රටවල් එකසිය අසූව අතර අල්ලස් දූෂණ වංචා අවම රටවල් පිළිබඳ සමීක්ෂණයක් සිදු කරන්නේ අල්ලස් පිළිබඳ දූෂණ සංජානන දර්ශකය මගිනි. වාර්ෂිකව සිදු කරන ඔවුන්ගේ සමීක්ෂණ මත රටවල්වල සිදුවන අකටයුතුකම් පිළිබඳව පැහැදිලි නිගමනයක් ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. ඒ අනුව ඔවුහු ආයෝජකයන් දැනුවත් කරති.

වසර 2002 වන විට ලෝකයේ රටවල් එකසිය අසූව’ අතර ශ්‍රී ලංකාව සිටියේ පනස් දෙවැනි තැනය. ඉන් කියැවෙන්නේ අල්ලස දූෂණය වංචාව තරමක් අවම මට්ටමක පැවැති බවය. 2008 වන විට ලංකාව අනූ දෙවෙනි තැනට පත්විය. ඉන් කියවෙන්නේ අල්ලස වංචාව දූෂණය තරමක් වර්ධනය වී ඇති බවය. 2016 වන විට අනූ පස්වෙනි තැනට පැමිණි ශ්‍රී ලංකාව වසර 2021 වන විට සිටියේ එකසිය විසිඑක් වැනි තැනය. අල්ලස දූෂණය වංචාව රජයන තැනට පත් වෙමින් බව ඉන් හෙළිවන්නේය. 2014 වන විට ශ්‍රී ලංකාවේ සමීක්ෂණ වාර්තා මත රාජ්‍ය ආයතන අල්ලස දූෂණය මත කටයුතු කරන තැනක් පෙන්වද්දීම ලෝකයේ අල්ලස් පිළිබඳ දූෂණ සංජානන දර්ශකය ශ්‍රී ලංකාව පිළිබඳව කුමන නිගමනයකට පැමිණ තිබේදැයි ඔබට සිතාගත හැකිය.

ශ්‍රී ලංකාවේ අපි ගොඩ යන්නේ කවදාද, ? රටක් දියුණු වන්නේ තම තමන් තමන්ට අවංක වූ දාට පමණි. ඒ තෙක් අපි බලා සිටිමු.

(සමන්ති වීරසේකර - ඉරිදා දිවයින)