එකම කේබල් මදුවට බිලිවීමට ගිය මවත් දියණියත් බේරාගත් කඩිනම් මානුෂීය මෙහෙයුම

එකම කේබල් මදුවට බිලිවීමට ගිය මවත් දියණියත් බේරාගත් කඩිනම් මානුෂීය මෙහෙයුම

දඩමස් රසට ඉව අල්ලන             රකුසන්නේ

රුධිර පිපාසය කෙදිනද              නිමවන්නේ

වන රැකවලුන් සිපිරි ගෙවල    රැඳවෙන්නේ

අසරණ සතුන් කෙලෙසද ගිණි උහුලන්නේ?

යාල ජාතික උද්‍යානයේ කලාප අංක හය කොටසේ (ලුණුගම්වෙහෙර) වන සතුන් දඩයම සඳහා කෲර දඩයක්කරුවන් විසින් අටවන ලද එකම කේබල් මදුවක දෙකොනෙහි පැටලී දුක් විඳිමින් සිටි ඇතින්නක් සහ ඇගේ කුඩා පැටවාගේ ජීවිත බේරා ගැනීමට ඌව වනජීවී කලාපය භාර වනජීවී පශුවෛද්‍ය ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතා ප්‍රමුඛ වනජීවී සංරක්ෂණ නිලධාරීන් පිරිසකට පසුගියදා හැකියාව ලැබුණි.

නමට ධර්මද්වීපය වන මෙම කුඩා දිවයිනේ සතර දිග්භාගයේම සෑම දිනකම දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්ව අකාලයේ මරණයට පත්වන ලොකු කුඩා වනජීවීන් ප්‍රමාණය දස දහස් ගණනක් විය යුතුය. ඒ ශ්‍රී ලංකාව ලොව ප්‍රධාන දඩමස් අපනයන කරුවෙකු නිසා නොව, මේ බිම් කඩේම දිවි ගෙවන මිනිස් වෙස් ගත් ලේ පිපාසිත පිසාචයින්ගේ මනදොළ පිනවීම පිණිසය. වෙඩි තබා ඝාතනය කිරීම, හක්ක පටස් ආහාරයට ගැනීමට සැලැස්වීම, බඳින තුවක්කු සහ කේබල් මදු ඇටවීම මෙන්ම වියළි සමයේ වන සතුන් පැමිණෙන දිය වළවල් වලට වස යෙදීම වැනි එකී මෙකී නොකී ක්‍රම මගින් දෛනිකව මෙම අමානුෂික වනජීවී ඝාතන සිදුවේ. වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන රක්ෂිත ප්‍රදේශ තුළ සහ ඉන් බැහැරව කියාද ඒවාට වෙනසක් නැත. එවැනි පසුබිමක දඩයක්කරුවන් විසින් ඇටවූ එකම කේබල් මදුවක දෙකොනෙහි පැටලී අකාලයේ මිය යාමට ඉරණම ලියැවී තිබූ හස්ති මවක් සහ ඇගේ දියණියගේ ජීවිත බේරා ගැනීමට වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ කඩිනම් මානුෂීය මෙහෙයුමකට හැකිවීම සතුටට කරුණකි.

යාල ජාතික උද්‍යානයේ කලාප අංක හය කොටසේ (පෙර ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය)  සංචාරයක යේදී සිටි අප උද්‍යානයේ ‘අලි ගාල - වෙහෙර හත’ මාර්ගයට අවතීර්ණව ඉදිරියට පැමිණෙන විට පස්වරුවේ හොරා කීපයක් ගෙවී තිබුණි. සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ අලි ඇතුන් පිළිබඳ පර්යේෂක බංඩාර නිශාන්ත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාර්ගෝපදේශක එස්. එච්. අමිත් තරංග සමග ලියුම්කරුගේ අභිප්‍රාය වූයේම අලි ඇතුන් නැරඹීමය. එබැවින් ජීප් රථ මාර්ගය දෙපස අලි ඇතුන්ගේ සලකුණු සහ වනය තුළින් ඇසෙන ඔවුන්ගේ ගෙරවිලි සහ අතු බිඳින හඬට කන් දෙමින් අප ඉදිරියට ගමන් කළේ බොහෝ සෙමිනි.

මෙසේ ඉදිරියට ඇදුනු අපට වනය තුළින් කුඩා අලි පැටවෙකුගේ වේදානාත්ම හඬ ඇසුනේ පස්වරු හතරට පමණය. ජීප් රථයේ සිට බලන විට එක එල්ලේ නොපෙනෙන වනය තුළින් එම හඬ කිහිප වරක් ඇසීම නිසා අප වඩාත් විමසිලිමත් වීමු. තවත් හොඳින් විපරම් කර බලන විට එක් අවස්ථාවක අලි රංචුවක් වනය තුළ වූ විවෘත තෘණ භූමියක සිටින ආකාරය, ජීප් රථ මාර්ගයට විවරවූ වනාන්තරයේ පටු කපොල්ලකින් අපට නිරීක්ෂණය විය. අලි ඇතුන් ගැන දීර්ඝකාලීන ක්ෂේත්‍ර අත්දැකීම් ඇති බංඩාර මොහොතකින් පැවසූ දෙයින් අප විපිළිසර වුනෙමු.

‘අම්මගේ කකුලේ පැටලුණු මද්දක අනිත් කෙලෙවරේ පැටියාගේ හොඬය පැටලිලා’

ඔහුගේ නිරීක්ෂණය සැබෑය. අමානුෂික දඩයක්කරුවෙකු විසින් ඇටවූ කේබල් මද්දක් අලි අම්මාගේ වම් පාදයේ මදක් ඉහළට වන්නට සිරිවී ඇත. එහි අනෙක් කෙලවර තවමත් ඉතා කුඩා කිරිබොන වයසේ පසුවූ අලි පැටවාගේ හොඬ කෙටියේ මැදට වන්නට පැටලී තිබේ. මව ඉදිරියට පාදය තබන වාරයක් වාරයක් පාසා පැටවා හොඬයෙන් මව දෙසට ඇදී එයි. ඒ අතර ඒ අසරණයා වේදනාවෙන් මොර දෙන හඬ කන් බෙර සූරයි. මල පුඩුවට කැපී දෙකට වෙන්වෙන පුංචි අලි පැටවාගේ හොඬය දකින්නට තරම් අවාසනාවන්ත නොවේවායි පතන්නට හැර අප ඊළඟ තත්පරයේ සිට එක් මොහොතක් වත් අපතේ නොහලෙමු.

තිදෙනාම ඉතා අල්ප ජංගම දුරකථන සංඥා ලුහුබඳිමින් අප දන්නා සහ නොදන්නා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ ධූරාවලියේ පහළ සිට ඉහළට සිටින සියලුම දෙනා සහ ඉන් බැහැර සංරක්ෂණ කටයුතු වලට සම්බන්ධ අපට කඩිනම් සහයක් ලබාගත හැකියැයි සිතූ සියලුම දෙනාගේ ජංගම දුරකථන වලට අඛණ්ඩව ඇමතුම් ලබා ගත්තෙමු. ප්‍රථම ඇමතුම ඌව වනජීවී කලාපය භාර වනජීවී පශුවෛද්‍ය ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතාගේ දුරකථනයට මවිසින් ගෙන තිබුණේ පස්වරු 4.18 ටය. ඔහු ඒ මොහොතේ සිටියේ වෙනත් ඇමතුමකය. ඉන් පසු අපගේ ඇමතුම් ප්‍රාදේශීය සහ කලාපීය සිට ජාතික මට්ටම දක්වා විවිධ තල වල දුරකථන අංක වෙත අඛණ්ඩව වද දුන්නේය. දැනට ධර්මකීර්ති මහතාගේ කාර්යාලයේම සේවය කරන අප හිතවත් වනජීවී නියාමක කේ. ජී. සුගත් ජයතිලක මහතා මාගේ දුරකථනයට ප්‍රතිචාර දක්වන විට පස්වරු 4.34 වී තිබුණු අතර ඔහු වහා පශුවෛද්‍යවරයා දැනුවත්කර තිබුණි. බංඩාර විසින් ඇමතුමක් ලබාදුන් හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතාද යුහුසුළුව පශුවෛද්‍යවරයා දැනුවත්කර තිබුණි.

පස්වරු 5.01 ට ජ්‍යෙෂ්ඨ වනජීවී පශුවෛද්‍ය ධර්මකීර්ති මහතා මාගේ දුරකථනයට පෙරලා ප්‍රතිචාර දක්වමින් මග සලකුණු අසන විටත් ඔහු සහ කාර්යමණ්ඩලය මෙම කඩිනම් මානුෂීය මෙහෙයුම සඳහා කාර්යාලයෙන් පිටත්ව බොහෝ දුර පැමිණ තිබුණි. ඔහු මෙසේ මාගේ දුරකථන ඇමතුමට කඩිනමින් ප්‍රතිචාර දැක්වුයේ අප මින් පෙර කිසිදා මුණගැසී කතාබස් කර දැන හැඳුනුම්කම් ඇතිකරගෙන නොසිටි පසුබිමක බවද මෙහිදී කිව යුතුය. පස්වරු 5.16 ට මාගේ ජංගම දුරකථනයෙන් ගනු ලැබූ ඡායාරූපයක ඔහු තම කාර්ය මණ්ඩලය සමග යුහුසුළුව ප්‍රතිකාර සඳහා සූදානම් වන ආකාරය සටහන්වී තිබේ.

පා ගමනින් වනය තුලට ගමන්කළ පිරිස අලි මව නිදිගැන්වීම සඳහා අවශ්‍ය ඖෂධ මාත්‍රාව නිර්වින්දන තුවක්කුවක් මාර්ගයෙන් ඇගේ පස්සා ගතයේ තට්ටම් ප්‍රදේශයට එන්නත් කෙරිණි. ක්ෂේත්‍ර සහායක කේ. කේ. දමිත් චමින්දගේ ඉලක්කය තිතටම සාර්ථක වීම එන්නත්කරණයේදී විශාල සහායක් විය. ඇතින්න සහ පැටවා සමග සිටි පවුල් කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වනයට පලා ගියහ. වනජීවී නිලධාරීන් ඒ ඇසිල්ලෙන් මදුව කපා දැමීමට කඩිනමින් ක්‍රියාත්මක වූහ. නමුත් මේ වන විට වැඩිහිටි ගැහැණු සතෙකු බවට පත්ව සිටි මදුව පැටලුණු ඇතින්නගේ වැඩිමහල් දියණියක තම මවගේ සහ නැගණියගේ ආරක්ෂාවට පැමිණීම නිසා ඇය වනයට පලවා හැරීමට ඔවුන්ට වරින් වර අමතර වෙහෙසක් දැරීමට සිදුවිය (මෙම අලි ඇතුන්ගේ ඥාති සම්බන්ධතා බංඩාර ගේ දිගු කාලීන නිරීක්ෂණ ඇසුරිණි). කෙසේ හෝ ඉතා කෙටි වේලාවකදී කඩිනම් මානුෂීය මෙහෙයුම සම්පූර්ණ කර මවකට සහ දියණියට අභය දානය ලබා දීමට හැකිවීම සතුටට කරුණක් විය. නමුත් සැමගේ ඇසට කඳුළු ඉනුවේ එයින් නොව, මෙතෙක් වෙලා පිපාසයෙන්, කුසගින්නේ සහ මදුව සිර වීමෙන් ඇතිවූ වේදනාවෙන් පිඩාවට පත්ව සිටි අලි සිගිත්තිය මල පුඩුවෙන් මිදුණු පළමු නිමේශයේම දිව ගොස් මවගේ තනපුඩුව උරන්නට වූ සැටි දුටු විටය.

වනජීවී නිලධාරීන් පැවසුවේ මුලින් මවගේ පාදයේ පැටලුණු මදුව ඇය වැර යොදා කඩාගන්නට ඇති බවය. දෙවනුව මවගේ පාදයේ එතුණු මදුව ඇගේම දියණියව ගොදුරු කරගෙන තිබේ. නමුත් දෙදෙනාගේම වාසනාවට වැඩි කල් යන්නට මත්තෙන් ඔවුන් අපගේ අවධානයට ලක්වීම සහ වනජීවී නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් පැටවාගේ හොඬයට බරපතල ආපදාවක් සිදුවී නොතිබුණි. 

මේ සංවේදී මානුෂීය මෙහෙයුම සතුටුදායක ආකාරයෙන් නිමාවට පත්වූයේ ඒ සඳහා කැපවූ ජ්‍යෙෂ්ඨ පශුවෛද්‍ය ධර්මකීර්ති, වනජීවී නියාමක වී. කේ. ජී. නිලවීර, ක්ෂේත්‍ර සහායක වරුන් වන දමිත් චමින්ද, පී. ජී. ප්‍රදීප් පුෂ්පකුමාර, රියදුරු ආර්. කේ. කේ. ප්‍රියන්ත සහ ස්වේච්ඡා මාර්ගෝපදේශක අමිත් තරංග යන මහත්වරුන්ගේ කඩිනම් ක්‍රියාත්මක වීම හේතුවෙන් බව අවධාරණය කළ යුතුය. ඒ හේතුවෙන් ඔවුන්ට ලියුම්කරුගේ ශීර්ෂ ප්‍රණාමය හිමිවේ. ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් සහ බෙල්ලන්විල-අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ පශුවෛද්‍ය ප්‍රමුධිත දේවසුරේන්ද්‍ර යන මහත්වරුන්ද මගහැරුණු ඇමතුම් විමසා පෙරළා යහපත් ප්‍රතිචාර දැක්වූ බව කිව මනාය.

සතියේ සිකුරාදා දින පස්වරු 4.30 සිට එළැඹෙන සතියේ සඳුදා දින පෙරවරු 8.00 දක්වා කාලය තුළ වනජීවී පශුවෛද්‍යවරුන්ට සේවය කිරීමට සිදුවී ඇත්තේ නොමිලේය. ඒ ඔවුන්ට සෙනසුරාදා, ඉරිදා දින වල රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් කිසිඳු දීමනාවක්, දිරිගැන්වීමක් හෝ ඇගයීමක් නොලැබෙන බැවිණි. මිලියන 1.5 ඉක්මවන මෙරට රාජ්‍ය සේවයේ එසේ නොමිලේ රජයට සේවය කරන එකම නිලධාරීන් පිරිස ඔවුන් පමණක් විය යුතුය.

වෙනත් බොහෝ රාජ්‍ය ආයතන වලට මෙන් ප්‍රාදේශීය වනජීවී නිලධාරීන් සේවය කරන කාර්යාල වලටත් පස්වරු 4.30 එළැබෙන්නේ පස්වරු 4.15 ට වී නම් සහ අතිකාල දීමනා නොලබා සේවය කිරීම ප්‍රතික්‍ෂේප කළේ නම් මෙම සිදුවීම සිදුවූ ඉකුත් 16 සිකුරාදා දිනයෙන් පසු නැවතත් පශුවෛද්‍ය ධර්මකීර්ති මහතා සේවයට වාර්තා කිරීමට අවශ්‍ය වන්නේ දින දෙකකින් පසුව සඳුදා දිනය. එවිට අලි අම්මා කෙසේ වෙතත්, නොබෝ කලකට පෙර මෙලොව එළිය දුටු අලි පැංචියගේ ඉරණම ඉතා අවාසනාවන්ත ලෙස විසඳී තිබීමට බොහෝ දුරට ඉඩ තිබුණි. 

මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍යවරුන්ගේ කාඩරය 23 කි. දැනට සේවයේ නියුතුව සිටින්නේ ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂ - වනජීවී සෞඛ්‍ය ද ඇතුළුව පහළොස් දෙනෙකු පමණි. පශුවෛද්‍යවරුන් පස් දෙනෙක් පසුගිය කෙටි කාලසීමාව තුළ සේවය අත්හැර විදෙස් ගතවී තිබේ. තවත් කිහිපදෙනෙකුම නුදුරේදීම එකී බුද්ධි ගලනයේ ගොදුරු බවට පත්වීමට නියමිතය. රාජ්‍ය සේවයට බැඳුනු දින සිට විශ්‍රාම යන දිනය දක්වාම ඔවුන්ට සේවය කිරීමට සිදුවී ඇත්තේ එකම තනතුරේය. ඒ නියමිත උසස්වීමේ පටිපාටියක් නොමැති බැවිණි. ප්‍රමාණවත් වේතන තබා රාජකාරි ඉටුකරන කාලසීමාවන්ට අදාලව සාධාරණ දීමනා හෝ නොලබා මෙසේ සේවය කරන පශුවෛද්‍යවරුන් කලකිරී දෙපාර්තමේන්තුව හැර යාමට එයද හේතුවක් විය හැකිය. කෙසේ හෝ අවසානයේ කබලෙන් ලිපට වැටෙන්නේ වන සතුන්ය.

යාල ජාතික උද්‍යානයේ කලාප අංක හය කොටස මෙන්ම දිවයින පුරා සෙසු වනජීවී රක්ෂිත බොහොමයක්ද මේ වන විට දඩයක්කරුවන්ගේ රජදහන් බවට පත්ව ඇති බව කිවයුතුය. ඊට හේතුව පසුගිය නොවැම්බර් 15 දින වනජීවී සංරක්ෂණ නිධාරීන් සහ දඩයක්කරුවන් අතර මෙම ජාතික උද්‍යානය තුලදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් එක් සැකකරුවෙකු මියයාමය. ඒ හේතුවෙන් වනජීවී නියාමකවරුන් තිදෙනෙකු මේ දක්වා තෙමසකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකොට තිබේ. වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට ගිණි අවි පුහුණුව සහ බලපත්‍ර ලබාදී ගිණි අවි ලබා දෙන්නේ කොස් කොටන්නට ද යන්න ලියුම්කරුට නොවැටහේ.

මෙරට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යධූරය හොබවන පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය තමන්ගේ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවක පවතින ඉහත කී සහ නොකී ප්‍රශ්න, ගැටළු දන්නවාද යන්න නොදනිමු. මෙරට සෙසු අමාත්‍යාංශ වලට අයත් විෂය පථයන් වල ඇතිවන ප්‍රශ්න, ගැටළු හමුවේ අමාත්‍යවරුන්/වරියන් පතුරු ගැසීමට සිවිල් සමාජය සහ මාධ්‍ය කටයුතු කලත් වනජීවී සංරක්ෂණය සම්බන්ධ ගැටළු වලදී එසේ නොවේ. ඒ වෙනුවට අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් දඬුකඳේ ගසා සෑහීමට පත්වීමට පරිසර සංවිධාන සහ මාධ්‍ය කටයුතු කිරීම මෙකී පසුගාමීත්වයට හේතුවක් විය හැකිය. කෙසේ නමුත් රාජ්‍ය භාණ්ඩාගාරයට සැළකිය යුතු විදේශ විනිමයක් ලබා දීමට අමතරව තවත් සෘජු හා වක්‍ර ක්‍රම රැසකින් ජාතිය ජීවත්කරවන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින සීමිත ක්ෂේත්‍ර නිලධාරීන් කුලකයේ ගැටළු විසඳීමට දේශපාලන අධිකාරියේ අවධානය කඩිනමින් යොමුවිය යුතුය.

ඡායාරූප: බංඩාර නිශාන්ත

සටහන: සුපුන් ළහිරු ප්‍රකාශ්