අර්ධනාරීන් කියන්නේ දේවදරුවෝ... (දෙවන කොටස)

lalith-darmawardhana

සීයගෙ ගේ තිබුණේ මැනින් ප්ලේස් (වැල්ලවත්තේ නාගරික වෙළඳපොළ අසලින් පාමංකඩ දෙසට ඇති ප්‍රධාන මාර්ගය) එකේ නොම්මර අසූ තුන.ඒ කියන්නේ මැනින් ප්ලේස් එකේ පෙන්තකොස්ත පල්ලිය ඉස්සරහ. ඉස්සර ඒ පාරට කිව්වේ මැනින් ප්ලේස් කියල නෙමෙයි "මැනින් පාත්" කියලා.ඒක අඩි තුනේ පාර. ඒ කාලේ ඉඳන්ම ඩිස්පැන්සරිය මැටිනිටි හෝම් එක  තිබුණා.පෙන්තකොස්ත පල්ලිය තිබුණා. ගොඩනැගිලි කොන්තරාත් කරපු සෝමදාස සිරිවර්ධනලගේ තිබුණා.

අපේ පවුලේ මම තමයි වැඩිමලා. මට බාල නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි. මම මුලින්ම ඉස්කෝලේ ගියේ  වැල්ලවත්තේ සෙන් ලෝරන්ස් කොන්වන්ට් එකට.ඊට පස්සේ විහාර ලේන් එක ළඟ තිබුණ ඇලීතියා එකට. සෙන් ලෝරන්ස් එකේ Upper Kingdor Garden එකෙන් පස්සේ  පිරිමි අයට යන්න තියෙන්නෙ සෙන් පීටර්ස් එකට. ඒකට බෞතිස්ම වෙන්න ඕනේ. තාත්තා ඒක කරන්න අකමැති වෙච්ච නිසා තමයි මම ඇලිතියා එකට ගියේ. (පසුව එය Ceylon Inn   හෝටලය වී දැන් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් බවට පත් වී ඇත) ඇලිතියා ඒක දෙහිවලට ගෙනිච්චහම ඒකට යවන එක දුර වැඩියි කියලා තමයි මාව ඇරතියුසා ඒකට දැම්මේ. මම ඕලෙවල් වෙනකන් ගියේ අර්තුසා එකට.මගේ පාසල් ජීවිතය අවසන් වුණේ 1967. මම ඒ ලෙවල් කරන්න ගියේ සුනේත්‍ර දේවි පිරිවෙනට. ඒකේ මම විශ්ව විද්‍යාලය ප්‍රවිශ්ටයට වෙනකං ඉගෙනන ගත්තා.

හැත්තෑවේ සමගි පෙරමුණේ ආණ්ඩුව ආවහම බර්නාඩ් සොයිසලා ප්‍රබල ඇමතිවරු වුණහම තාත්තා මාව දැම්මා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට. එතන මම අවුරුදු  දෙකක් විතර රස්සාව කළේ.

මාලනී හිනා වෙන්නෙ නැති එකම ෆොටෝ එකේ සාරිය අන්දලා කොණ්ඩ මෝස්තර දාලා මේකප් කළේ මම

මම පොඩි කාලේ ඉඳලම හරි ආසයි මේ ගෑණු අයට කොන්ඩ දාන්න ඒගොල්ලන්ව සරසන්න මේකප් කරනවා වගේ වැඩවලට.අපේ නංගිලාව නැන්දලගේ දූලව අරගෙන මම මේවා කරනවා ගෙදර දි. මම දාන දාන හැම කොණ්ඩා ස්ටයිල් එකක්ම බලලා අපේ අය කියනවා හරිම ලස්සනයි කියලා. ඒ කාලේ පොදුවේ කොළඹ නගරයේ සහ වැල්ලවත්ත පැත්තෙ අයට මේ කොණ්ඩ මෝස්තර දාන මේකප් කරන ඒවා කළේ  ලන්සි ගෑණු. අපේ ගෙදරට එහා පැත්ත ගෙදර හිටියෙත් ලන්සි පවුලක්. ඒගොල්ලන්ට ළමයි හිටියේ නැහැ. මිසිස් වැන්හවුටන් (Mrs Vanhouton) ඒ ගෙදර හිටිය ලේඩි.එයා කොන්ඩ දාන ඒවා මං බලාගෙන ඉන්නවා. මම කාට හරි කොණ්ඩයක් දැම්මාම ගෙනිහිල්ලා එයාට පෙන්නුවාම එයා කියනවා හරි ෂෝක් OK  කියලා. වැරදි අඩුපාඩු තිබුණොත් ඒවා පෙන්නලා දෙනවා. රස්සාවෙන් අස් වෙලා මම ගෙදරට වෙලා ඔහේ හිටියා. එහෙම ඉන්න කොට මට මනමාලියෝ අන්දන්න ඕඩර්ස් එන්න පටන් ගත්තා. එතකොට මට අවුරුදු දහ අටක් විතර ඇති. ඉස්සෙල්ලාම මම ඇන්දුවේ අපේ මාමගේ පවුලට. එයා ප්‍රේමා නැන්දා. මාමා ගුණපාල. ඒගොල්ලොම තමයි මට කිව්වේ අන්දන්න කියලා.ඒක මට චැලෙන්ජ් එකක්. හැබැයි ඇන්දුවට පස්සේ හැමෝම හරිම පුදුම වුණා. සතුටු වුණා. අන්දනවා කියන්නේ සාරිය, මේකප්,කොණ්ඩා මෝස්තර, සෙරප්පු සපත්තු ඩිසයින් සේරම කරන්නේ  එක්කෙනයි. ඇඳුම් මහන ඒවා කරන්නේ වෙන කෙනෙක්. ඒ කාලේ මම මනාලියකට අන්දලා එළියට එනකොට ඔක්කොමලා එළියට වෙලා බලන් ඉන්නවා කවුද මේ අන්දන එක්කෙනා කියලා. හැම තැනම මට ඒගොල්ලන්ගෙන් ලැබුණේ හරිම ආදරණීය පිළිගැනීමක්. විශේෂයෙන් ඒගොල්ලො හරි පුදුම වුණා පිරිමි ළමයෙක් කොහොමද මෙච්චර ලස්සනට මනමාලියක් අන්දන්නේ කියලා.ඒ කාලේ ඇන්දේ සුදු එම්බොස් ලේස් සාරි තමයි. ඒවා ඔක්කොම වෙස්ටන් ස්ටයිල් එකට අන්දපු ඒවා. පස්සේ කාලෙක උඩරට සිංහල විදියට අන්දන එක ගැන තමයි මාව හරියට ප්‍රසිද්ධ වුණේ.මං දන්නෑ මොකක්ද කියලා ඒ උඩරට විදියට අන්දන හුරුව ඉතාම හොඳට මට ආවා. මගේ රස්සාවේ පබ්ලිසිටි ප්‍රමෝෂන් එකට මම මාලනීව ඇන්දුවා උඩරට මනාලියක් විදිහට. ඒ ඡායාරූපය තමයි පස්සේ කාලෙක ලංකාවේ ප්‍රතිරූපය ගොඩනගන්න කොළඹ හෝටල්වල සහ  ප්‍රධාන ස්ථානවල ප්‍රදර්ශනය කරලා තිබුණේ.ඒ ඡායාරූපය ගත්තේ  පී.යූ.ඩී.පෙරේරා මහතා.ඒක කළේ නවසිය අසූ ගණන්වල. පස්සේ කාලෙක ඒ ෆොටෝ එක ප්‍රසිද්ධ වුණේ මාලනී හිනාවෙන්නෙ නැති එකම ඡායාරූපය කියලා. ඒකේ මේකප් කළේ  සාරිය ඇන්දුවේ කොණ්ඩා දැම්මේ සේරම කළේ මං තමයි.

මාව හරියට ප්‍රසිද්ධ වුණේ උඩරට විදිහට මනමාලි අන්දන එක

මම අන්දපු අය මට ගොඩක් මතක නැහැ. හැබැයි ලංකාවේ තිබුණ  තියෙන සියලුම හෝටල්වල මම මනමාලියන් අන්දලා තියෙනවා. ඒ අතරේ වසන්ති චතුරානිව, සබීතා පෙරේරාව මනමාලිය විදිහට ඇන්දුවේ සැරසුවේ මම තමයි.

ඒ අතර අපූරු සිදුවීම් ද තියෙනවා මගේ මතකයේ.දවසක් කපල් එකක් ආවා. මම ඒගොල්ලන්ව කවදාවත් හමුවෙලා නැහැ. මම එතකොට හිටියේ ඇන්ඩර්සන්  ෆ්ලැට් එකේ. මේ කපල් එක ඇවිල්ලා කිව්වා "අයියේ මගුල් පින්තූරය ගන්න ඕනේ. සල්ලි නැහැ.අපිට හම්බවෙන කලෙක්ෂන් එකෙන් අපි අයියට සල්ලි ගෙවන්නම් පස්සේ, නමුත් දෙපාරකට නෙමේ තුන් පාරකට. අයියට පුලුවන්ද මෙයාට අන්දන්න" කියලා.මේ අහගෙන හිටපු අපේ අම්මා කිව්වා "පව් නේද පුතා.අන්දලා දෙන්න" කියලා. ඒක මං කරලා දුන්නා හරිම කැමැත්තෙන්, ඕනැකමින් සහ සතුටකින්. හැබැයි ඒගොල්ලොත් ඒ කියපු විදිහටම තුන් පාරකට මට සල්ලි ගෙනල්ලා දුන්නා. ඒගොල්ලෝ කවුද කියලා මට මතක නැහැ. මම හෙව්වෙත් නැහැ.පස්සේ තමයි කිව්වේ ඒ දෙන්නා හෝටලයක වැඩ කරන දෙන්නෙක් කියලා.

88/89  කලබල කාලේ මම මනමාලියෝ  අන්දන්න ගියේ මගේ කාර් එකේ සුදු කොඩියක් දාගෙන. ඒ කලබල කාලෙත් මම සෑහෙන්න මනමාලියන් පිරිසකට කොහොම හරි ගිහිල්ලා ඇන්දුවා. මට මතක නැහැ මගේ ජීවිතය මෙතෙක් මනමාලියන් කී දෙනෙක්ට ඇන්ඳුවාද කියලා. මොකද ඒ කාලේ කොළඹ ගෑනු කවදාවත් ඔහේ ඇඳගෙන ගියේ නැහැ මගුල් ගෙවල්වලට. එක්කෝ ඒගොල්ලෝ අන්දන එක්කෙනාගේ ගෙදරට ගිහිල්ලා ඇඳගෙන ගියා නැත්තං අන්දන එක්කෙනාව ගෙදරට ගෙන්න ගත්තා. ඒ කාලේ මනාලියන්ට අන්දන මම වගේ අය හිටියේ හොර්ටන් ප්ලේස්  එකේ කීර්ති ශ්‍රී කරුණාරත්නයි, වැල්ලවත්ත පීටර්සන් ලේන් එකේ චූලා ද සිල්වයි හැරිස් විජේසිංහයි තමයි. හැරිස් අයියයි මමයි එකට තමයි මනාලියන් අන්දන්න පටන් ගත්තේ. හැරිස් අයියා ඒ කාලෙ හිටියේ බම්බලපිටියේ. මනාලියන් අන්දවන කාන්තාවන් අතර ඒ කාලේ ජනප්‍රියම එක්කෙනා තමයි චූලා නානායක්කාර. ඒ කාලේ ගොඩක්ම මනාලියන් අන්දන.

මේකප් වැඩ කළේ බර්ගර් පවුල්වල ගෑණු අය. සිංහල අයගෙන් වැල්ලවත්තෙන් පටන් ගත්තෙ මම තමයි. මගේ සාර්ථකත්වයට ගොඩක්ම ඉවහල් වුණේ අපේ පවුලේ පසුබිම. ඉහළ පවුල්වල අය හැමෝගෙම ළඟට යන්නේ නැහැ  එහෙම අන්දගන්න. ඒගොල්ලෝ තමන් අන්දගන්න ඒ යන එක්කෙනාගේ පවුල් පසුබිම තමන්ට ගැලපෙනවද බලලා තමයි අන්දන කෙනාව තෝරා ගන්නේ. ඉස්සර  කොළඹ මහ පවුල්වල ගෑනු කෙල්ලෝ ඕනැ කෙනෙක්ට තමන්ගේ ඇඟට අත තියන්න දුන්නේ නැහැ.මෑත කාලෙ තමයි මේ මනාලියන් ඇන්දවීමේ ක්ලාසස් තියලා දැන් එක පවුලට දෙන්නා ගානේ මනාලියන් අන්දන අය බිහිවෙලා තියෙන්නේ ලංකාවේ. දැන් හැම කඩ පේළියකම බියුටි පාලර් එකක් තියෙනවා.

මේ කාලේ තමයි මම මගේ ජීවිතය ඇතුලේ තවත් කෙනෙක් ඉන්නවා කියන එක තේරුම් ගත්තේ. මම ආසා කළා ඒ මගේ ඇතුලේ ඉන්න අර්ධ නාරිනියට. මම වගේම එවැනි චරිතයන්ට ආදරය කරන සැට් එකක් අපි කොළඹ එකතුවෙලා හිටියා. ඒ ගැන ලොකු අංග සම්පූර්ණ විස්තරයක් තියෙනවා  විෂ්ණු වාසු ලියපු "සාරි ඇඳපු පිරිමි" පොතේ.ඒ නිසා මම ඒ ගැන වැඩිය කියන්න යන්නේ නැහැ. මේ නාගරික අර්ධනාරි සමනල සෞන්දර්යවාදී අර්ධ නාරිනියන් පිළිබඳ මෙතෙක් ලියවුණ විශිෂ්ට තම ග්‍රන්ථය තමයි විෂ්ණුගේ "සාරි අඳින පිරිමි".

ඒ කාලේ අපේ ප්‍රජාවේ කට්ටිය (අර්ධනාරි) කොළඹ සමාජ තට්ටු තුනක හිටියේ. එකක් හයි ක්ලාස්. එකක් මිඩ්ල් ක්ලාස් එකේ කට්ටිය. අනිත් අය පාරේ ජීවත් වෙන කට්ටිය. (නාගරික මුඩුක්කු පැල්පත් ආශ්‍රිත ආන්තික සංස්කෘතික පසුබිමක් සහිත අර්ධනාරී ප්‍රජාව ගණනය වන්නේ "පාරේ ජීවත් වෙන කට්ටිය" කැටගරියටය. Ground Roots ) මේ තට්ටු තුනෙන් මං වැටෙන්නේ මැද පන්තියට.

ඒ කාලෙ බොරැල්ලේ හන්දියේ තිබුණා "දරමඩුව වත්ත" කියලා වත්තක්. ඒ වත්තේ හිටියා "ඩෙලිසන් අයියා" කියලා කෙනෙක්. එයා තමයි අපේ "මමී". හුඟක් අය එයාට කතා කළේ "ස්ටේලා" කියලා. අපි වගේ කෙනෙක් එතනට ගියහම එයා තමයි අපිට ඉන්න හිටින්න දීලා රැක බලා ගන්නේ. ඩෙලිසන් අයියගේ බංගලාව කණු උඩ හදපු දහයයි දහයේ කාමරයක් සහ කුස්සියක්. එයා ඒ වත්තෙම කෙනෙක්. මම නම් එතන නතර වෙලා ඉඳලා නැහැ මට ගෙදර තිබුණ නිසා. ඩෙලිසන් අයියගේ පවුලට අලුතෙන් කෙනෙක් ගියහම එතන තියෙනවා එයාව ඒ පවුලට වැද්ද ගැනීමේ  කොටහළු මගුලක් වගේ පොඩි අලුතෙන් බඳවා ගැනීමේ චාරිත්‍රයක්.ඒකට කියන්නේ "දෙහි මංගල්‍ය" කියලා. කිට්ටුව පාත ඉන්න මුදලාලිලා ගෙන්නලා රබන් ගහලා රතිඤ්ඤා පත්තු කරලා සාජ්ජයක් දාලා අර අලුත් සාමාජිකයා එක්ක එන කෙනෙක්ව ඒ කියන්නේ වැඩියෙන් ගෙවන කෙනාව යහන් ගත කරනවා. (මේ දෙහි මංගල්ලය පිළිබඳ පුළුල් විස්තරයක් විෂ්ණු වාසු රචනා කළ "සාරි අඳින පිරිමි" ග්‍රන්ථයේ දැක්වේ.) මේ දෙහි මංගල්ලේ කියන එක අපේ වර්ගයට ආවේණික දෙයක් මිසක් ඒක කොහෙවත් චාරිත්‍ර වාරිත්‍රවලින් වෙන සමාජයකින් හරි ආගමික චාරිත්‍රයකින් හරි ආපු එකක් නෙමෙයි. ඒක අපිම නිකන් හදා ගත්ත අපේ ලංකාවට විතරක් ආවේණික දෙයක්. අපි ඕකට කියන්නේ සීසන් කරනවා කියලා.කොටින්ම කියනවා නම් තමන්ගේ අනාගත වෘත්තීයභාවයට අදාළ මූලික පළපුරුද්ද සහ පහසුව එයාට පළමුවරට ලබා දීම තමයි. ඒක අපි පොඩි උත්සවයක් විදියට සමරනවා.වැඩේ කරන කොට කරන කොට අරූ කෑගහන සද්දෙ යට යන්න තමයි  අපේ හයියෙන් රබන් ගහන්නේ. දැන් ඩෙලිසන් අයියලා ගෙදර මේ වගේ දෙයක් වෙනවා කියන එක දරමඩුව වත්තේ මිනිස්සු දන්නවා ඒ සංසිද්ධිය වත්තේ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට දැනෙන තරමට දැන් ඒ කාරණය සිද්ධ වෙන්නේ නැහැ. මොකද දැන් කාලේ ගොල්ලො පොඩි වයසින්ම මේක ගමේ දී ගෙදර දි අහල පහල දි අත්දකිනවා. මේක අපේ සංස්කෘතිය තුළ තිබිච්ච එක ගොඩක් යටපත් වෙලා දියවෙලා යන්න පටන් මේ LGBTQ මඟුලක් එන්න ගත්තට පස්සේ. ඒ ජීවිත හරි කෘතිමයි.අපි ගත කරපු ජීවිත හරි ස්වභාවිකයි. හරි ආදරණීයයි. ගැඹුරු මනුස්සකම්, එක්ක තමයි අපේ ඒ සියලු සම්බන්ධකම් ගොඩනැගුනෙත් පවත්වාගෙන ගියෙත් .

ඒ කාලේ ඩෙලිසන් අයියා ළඟ අපේ ළමයි දහ දොළොස් දෙනෙක් හිටියා. මේ ඉන්න අය ජීවත් වෙන්න කළේ වෙසක් කාලෙට ස්ටේජ්වල නටන්න යන එක (බැහැර සමාජයේ බාසාවෙන් කියන්නේ නම් පොන්න ඩාන්ස්වලට යෑම). පෙරහැරවල්වල නටනවා. මඟුල්, අවමගුල්, උත්සව ගෙවල්වල උයන්න යන එක.

අපි නටන්න ගියාම කාටවත් අපේ ඇඟට අත තියන්න අපිව ගෙන්නපු ඒ අයියලා එහෙම නැත්නම් චණ්ඩි ඉඩ තිබ්බේ නැහැ.අපිට මාර ගාඩ් එකක් දුන්නේ

ඒ අය එකට උයාගෙන එකට කන්නේ. කට්ටිය රෑට ගිහිල්ලා මහ පාරේ හිටගන්නවා.ඒකෙන් කීයක් හරි හොයා ගන්නවා. ඒගොල්ලෝ හම්බ කරන හැම සතයක්ම ගෙනල්ලා දෙන්නේ තමන්ව බලා ගන්න කෙනාට. නායකයාට. මොකද.

ඒගොල්ලෝ හෙව්වේ ආදරයයි ආරක්ෂාවයි. ඇයි හැමෝම ඒගොල්ලන්ව සමාජයෙන් පිටමන් කරලා වගේ ජීවත් වෙන්න වුණාම ඒගොල්ලන්ට ජීවත් වෙන්න හයිය දෙන්නේ ඩෙනිසන් අයියා වගේ අය තමයි. ඉතින් ඒගොල්ලො එයාට හරිම ආදරෙයි. ඒ නායකයා තමයි ඒගොල්ලන්ට අවශ්‍ය කෑම බීම ඇඳුම් පැළඳුම් ඇතුළු අවශ්‍ය හැම දෙයක්ම  දෙන්නේ. කවදාවත් කිසිම කෙනෙක්ව සූරාකෑමක් සිද්ධ වෙන්නේ නැහැ. කොළඹ කොයි පැත්තක හිටියත් කොළඹ හිටපු හැම චන්ඩියෙක්ම අපේ ප්‍රජාවේ අයට හරිම ආදරෙයි. බොහොම පරිස්සමින් අපේ අයව රැකබලා ගත්තා.කාගෙන්වත් කරදරයක්, අසාධාරණයක්, කැත විදිහට විහිළු කරන ඒවා කරන්න දුන්නේ නැහැ ඒගොල්ලෝ. කොටින්ම කාටවත් වචනයක් කියන්න දුන්නේ නැහැ මේ අයට. සමහර චණ්ඩි මේ අය ගෙන්නා ගෙන ඔඩොක්කුවේ වාඩි කරගෙන ඉන්නවා. අනිත් එක අපේ අය වෙසක් පොල්කොට ස්ටේජ් එකක හරි පෙරහැරක හරි නටන්න ගියාම ඒගොල්ලන්ට කවදාවත් කිසිම කෙනෙක් ගෙන් බලහත්කාරකමක් ලිංගික හිරිහැරයක් අපහාසයක් වෙලා නැහැ.මොකද එතන ඉන්න ලීඩර් (අයියලා) මේ අයව ඉතාම ගෞරවාන්විතව බලා ගන්නවා. ඒක සම්ප්‍රදායක් කඩන්න බැරි නීතියක්. තමන්ගේ ඒරියා එකට ආව මේ අර්ධ නාරිනියකට කවුරු හරි පුක මිරිකන්න එහෙම ගියොත් කනෙන් දුම් පිට වෙන්න දීලා තමයි යවන්නේ. මොකද තමන්ගේ ගෞරවය රැකෙන්නේ තමන්ගේ ඉරියා එකේ මේ අයට ඒ විදිහට හරියට සැලකුවොත් තමයි කියන එක ඒ චණ්ඩි දන්නවා. පාමංකඩ දී පො....ට ගහල කියල ආරංචියක් ගියොත් ඒක ඒ පැත්තේ අයියට හෙන ලැජ්ජාවක්. ඒක නිසා අපේ අයට එහෙම යම් කරදරයක් වුණොත් ඒවට විඳින්න වෙන ප්‍රතිඵල ඉතා භයානකයි.

"ජෝගි නටන්න එන අයට කවුරු හරි මොනවා හරි කරදරයක් කළොත් විනාඩි ගානක් ඇතුලත ටැක්සි පුරෝගෙන තමයි කට්ටිය එතනට බහින්නේ. ඒවා වානා මේ කට්ටියත් එක්ක.." යයි තොටළඟ ප්‍රජා නායක උපතිස්ස මෙම ලියුම්කරු සමග උදාහරණ සහිතව ඔහු සමග කළ සාකච්ඡාවක දී පෙන්වා දුන්නේය. මොකද මේ ප්‍රජාවේ කට්ටිය හැම තිස්සෙම තමන්ගේ කෙනෙක්ට කරදරයක් වුනොත් කුණු මාළු කෑල්ලට නිල මැස්සෝ වහනවා වගේ තමයි එකට එකතු වෙන්නේ.අනික සාමාන්‍යයෙන් කතාවට කියන්නේ පොන්......කේන්ති ගියොත් නවත්තගන්න බැහැ උන්ගේ ගැහිල්ල. යක්‍ෂණියෝ වගේ තමයි උන් පැන පැන ගහන්නේ" කියලයි. ඒක ඇත්ත. අපේ ආරක්ෂාව ගෞරවය වෙනුවෙන් අපි ඕන එකෙක්ව මරාගෙන මැරෙන්න ලෑස්තියි. ඒ වගේම තමයි අපිට ලෙන්ගතු අයට අපි ජීවිතය වුණත් දෙන්න ලෑස්තියි.

අනික මේ නටන ජෝගි වැඩවලට යන අයට තැනකට ගියහම හිතුමතේ එහෙ මෙහෙ යන්න බැහැ. ඔක්කොම එකට පණු ගුලිය වගේ තමයි ඉන්න ඕනේ. ඒකත් සම්ප්‍රදායක්. නීතියක්. මොකද මගේ ජීවිතේ මම ජෝගි නටලත් තියෙනවා.

LGBTQ ජීවිත හරිම කෘතිමයි. අපි ගතකරපු ජීවිත හරිමම ස්වභාවිකයි

ඒ කාලේ කවුරුත් ඔය පොන්නයා කියන වචනය පාවිච්චි කළේ  නැහැ. පාවිච්චි කළේ  අර "ගෑණු ළමයා වගේ ඉන්න කොල්ලට' එන්න කියන්න කියන එකයි.නැත්නම් කියන්නේ ලඳේ කියලා. (එකල නාගරික උපසංස්කෘතික ගත ජනාවාස පරිසරයේ ජීවත් වූ මේ අයට කිසි කෙනෙක් හිත රිදෙන්න කතා කළේ නැත.නිගරු ලෙස ආමන්ත්‍රණය කළේ ද නැත. ඔවුන් හැඳින් වූයේ ද Lady boys පොන්සින්, පොන්සි, පොන්ටි, ලඳේ, නංගි මල්ලි, ඇන්ටි ජුලෝලා, හුකන්ජිනා, පී අයියා, නාරිලතා වැනි හුදු  අපහාසය හෝ උපහාසය රහිත සරල හාස්‍ය සහිත ලෙන්ගතු නම් වලිනි. මන්ද මෙම ප්‍රජා කොටස් බොහෝ විට ජීවත් වූයේ එම නාගරික උපජනපදවල නිසා එම වතුවල අය මේ අයව සැලකුවේ තමන්ගේම බජාර් එකේ අය ලෙසය.වර්තමානයේ මේ අයට සමනලයා යන්න භාවිතා වේ. ඊට දැන් ආදේශ වී ඇති බටහිර  ඇකඩමියානු වචනය LGBT+ ය. පොන්නයා යන වචනය බොහෝ විට එකල පාවිච්ච් වූයේ ද මේ ප්‍රජාවේ නොවන කෙනෙක්ගේ නොමනා නොවටිනා ක්‍රියාවකට විරෝධය පෑම සඳහා ඔහුට අපහාසශීලී වාග් ප්‍රහාරයක් එල්ල කිරීමටය. උදා.පොන්න වැඩ කරන්න එපා යකෝ...)

මේ පොන්නයා කියන වචනය සමාජ භාවිතයට එකතු වුණේ 1970 ගණන්වල. ඔය දෙමළ නම් තිබුණනේ පොන්නයියා, පොන්න රාජා වගේ. ඒ වැයින් කැඩිලා  මේ වචනය ආවා කියලා තමයි අපේ අය කියන්නේ.

අපිට ඒ කාලෙ කවුරුත් පොන්නයා කිව්වේ නැහැ. කිව්වේ ගෑණු ළමයා වගේ ඉන්න කොල්ලා කියලා

අනිත් එක තමයි ඔය පරම්පරාවේ ළමයි (අර්ධ නාරි) කාලි මෑණියන්ගේ ඒ කියන්නේ දුර්ග මෑණියන්ගේ දේව දරුවෝ කියලා තමයි ඉන්දියාවේ කියන්නේ. මොකද  මේගොල්ලන් ගෙන් බොහෝ දෙනෙක් දුර්ගා කෝවිල්වල නර්තන දාසියන්. නටන අය. ඉන්දියාවේ සම්ප්‍රදායක් තියෙනවා දුර්ගා පූජාව තියත්දී වෛශ්‍යාවකගේ ගෙදර මැටි සහ මේ අර්ධනාරීනියකගේ වත්තේ මැටි අරගෙන ගිහිල්ලා ඒ දෙක කලවම් කරලා තමයි දුර්ගා මෑණියන්ගේ රූපය අඹන්නේ. ඒ වගේම තමයි ඉන්දියාවේ ඕනෙම ගෙදරක දරුවෙක් ඉපදුනාම මුලින්ම කරන්නේ අර්ධනාරී කෙනෙක්ට එන්න කියලා එයා ලවා තමයි දරුවට ආශිර්වාද කරන්නේ.

මෙම ලිපිය කිය වූ අප හිතවත් ආරියරත්න වෙදගේ කෙහෙල්වත්ත ප්‍රදේශයේ සිටි එවැනි තවත් අර්ධනාරි ප්‍රජා නායකයන් කීප දෙනෙකු පිළිබඳ අප දැනුවත් කළා.

"කෙහෙල්වත්තේ සන්ත බස්තියම වීදියේ දොළහා වත්තේ හිටියා ඇඩා මාමා. සමහරු ඇඩයියා කියලත් කියනවා. එයා ඒ දොළහ වත්තේ කාමරයක් අරගෙන හිටියේ.එයාට වෙන කවුරුත් නැහැ.එයාගේ ඥාති ගෙදරක තමයි එයා හිටියේ.උදේට එයාගේ සමහර යාළුවෝ එනවා එතනට. එයා ඒ කාලේ කොළඹ හරි ප්‍රසිද්ධ මනමාලියන්ට අන්දන කෙනෙක්. ඒ කාලේ මේ වගේ බියුටි පාලර් තිබුණේ නැහැ. මේගොල්ලෝ තමයි මනමාලියන්ට ඇන්දවන වැඩ කළේ. ඇඩයියා මනාලියන්ට අන්දවන්න කප් ගහලා හිටිය ජනප්‍රිය කෙනෙක්. කොළඹ ගොඩාක් ලොකු සල්ලිකාරයොත් ඇවිල්ලා ඇඩයියව අරගෙන ගියා තමන්ගේ දරුවන්ගේ මගුල්වලට ඒ දරුවන් අන්දවන්න. සාමාන්‍යයෙන් කතාවට කිව්වේ "ඇඩයියා අත තිබ්බොත් ඕනැ යකෙක් දෙව්දුවක් වෙනවා" කියලා. ඇඳුම් මහන්නෙත් ඇඩයියාගෙම සෙට් එකක් හිටියා.ඇඩා මාමා කෑම උයන්න ගියෙත් නැහැ සාමාන්‍යයෙන් ඔය ඩාන්ස්වලට ගියෙත් නැහැ මට මතක හැටියට.හැබැයි ඒ යන අය එක්ක එයා හිටියා.

සන්තබස්තියම පල්ලෙහා (ආර්. ප්‍රේමදාසගේ මහතාගේ ගෙය අසල)  දරමඩුව වත්තේ හිටියා "ඩේවිඩ් අයියා".එයාට තිබුණා ලස්සන ක්රේල් කොන්ඩයක්. එයා හොඳ ටේලර්. විශේෂයෙන්ම ගෑණු අයගේ ඇඳුම් අහන්න එයා හරි ප්‍රසිද්ධයි. මනාලියන්ගේ මගුල් ඇඳුම් අහන්න එයාට ගොඩක් ඕඩර් ආවා. එයාගේ නාරිලතා ගමන හරි ලස්සනයි.ඒ වුණාට මේ කාටවත් ගමේවත් පාරවත් කිසිම කෙනෙක් වචනෙකින්වත් විහිළුවක්වත් රිද්දීමක්වත් කළේ නැහැ. හැමෝම ඒගොල්ලන්ට හරි ආදරෙයි. කවුරු හරි නොදන්න කෙනෙක් ඒ එයාට මොනවා හරි කළොත් නරක විහිළුවක් කළොත් අපේ කට්ටිය වට කරලා දෙන්නේ. මොකද ඒගොල්ලන් අපේ අය හැටියට තමයි අපි සැලකුවේ.

කෙහෙල්වත්තේ මාක්ෆේඩ් එක ඉස්සරහ බේරේ රෝඩ් එකේ හිටියා ලාල්. ඒ පවුල පළාතේ හැටියට ටිකක් හොඳ ගෞරවනීය පවුලක්.ඔය සෙට් එකෙන් කෑම උයන්න ගිය එක් කෙනෙක් තමයි ලාල්. මාටිස් ලේන් එකේ හිටියා ඇක්මන් මාමා. සමහරු කිව්වෙ ඇක්මන් අයියා කියලා. ඔය ෆෙට් එකම කෑම උයන එකේ ලීඩර් එයා තමයි. ගොඩක් වෙලාට ඕඩර් එයාට. එතකොට වැඩේ ලොකු නම් එයා කට්ටියව එකතු කරගෙන වැඩේට යනවා.

සන්තබස්තියමේ බේරේ වැව (සන්ත බස්තියම ඇළ කොටස) ළඟ හිටියා වික්ටර් අයියා. සාංචිආරච්චි වත්තට ඇතුල් වෙන තැන දකුණු පැත්තේ තිබුණ ලොකු පරණ ගේක  එයාගේ ක්ලබ් එක තිබුණේ. වික්ටර් අයියා කියන්නේ ඒ කාලේ හොඳ චණ්ඩියෙක්. අලුත්කඩේ පැත්තේ හිටියේ ස්ටීවන් අයියා. සන්තබස්තියම පැත්තේ හිටියේ වික්ටර් අයියා. එක් ක්ලබ් එකේ බිලියඩ් මේසයක් තිබුණා ක්ලබ් එකක් .මෙතන්ට තමයි ඔය සෙට් එකම එන්නේ.කට්ටිය ඇවිල්ලා රංචු ගැහෙන්න මෙතන තමයි.ඒගොල්ලන් ගැන ප්‍රසිද්ධ තැනක් මේක.උදේ හවස දෙකේම මේගොල්ලෝ මෙතන කැරකෙනවා. මේක උඩේ ගොඩක් හිටියා ජා කට්ටිය.මොකද ඒගොල්ලෝ හරිම සුදුයි හරි ලස්සනයි. ඇන්දාම රාජ කුමාරියෝ පරාදයි. සරලාබායිත් ජා එක් කෙනෙක් තමයි.

සබැඳි පුවත්

මෙතනට එන මේ සෙට් එකේ ගොඩක් අය පෙරහැරවල්වල, නත්තල් ජෝගිවල නටන්න යනවා. මඟුල් ගෙවල්වලත් මේගොල්ලෝ නටනවා. මනමාලි මනමාල එක්කන් ගැන පෙරහැරවල්වලත් ඉස්සරහින් නටනට එනවා. ඉස්සර ඒවා නටන්න නැටුවො ආවේ නැහැ මේගොල්ලෝ තමයි ඕන මගුල් ගේක එහෙම ගිහිල්ලා නැටුවේ. දැන් ඒගොල්ලන්ව ඒ වැඩ වලින් කැපිලා ගිහිල්ලා. අස්සයන්ට බැහැලා නටන්න මේගොල්ලෝ හරි දක්ෂයි.ඒ වගේ එක එක ජාතියේ නැටුම් නටන සෙට් එකක් මේ හරියෙ හිටියා. ඒගොල්ලො ගොඩක් ඉන්නේ මේ වික්ටර් අයියාගේ ක්ලබ් එක ළඟ තමයි. ඔය පෙරහැරවල අරගෙන යන ගෑස් ලාම්පු තියෙන ඒවා හයර් කරන එක්කෙනෙක් හිටියා ටෙක්නිකල් හන්දියේ පල්ලිය ඉස්සරහ පාරෙන් එහා පැත්තේ.දැන් ඒ ගෙවල් ඔක්කොම කඩලා. සාමාන්‍යයෙන් ඒ කාලේ කොළඹ පෙරහැරවල්වලට මේගොල්ලන්ව හොයාගෙන එන කට්ටිය එන්නේ මේ පැත්තට තමයි. වික්ටර් අයියගේ ක්ලබ් එක ළඟට ආවොත් මේගොල්ලන්ව ටක් ගාලා හොයාගන්න පුළුවන්.

නත්තලට නටන එක හරි ජනප්‍රියයි.ඒ පැත්තෙ ඉන්න අයියා  නැත්තම්  චණ්ඩියා වේලපහින් පණිවිඩ අරිනවා ඒ පැත්තේ ගෙවල්වලට, නත්තල් දවසට කලින් දවසේ අපි එනවා ජෝගි නටන්න කියලා. ඊට පස්සේ මේ සෙට් එකක් ලස්සනට ගෑනු වගේ අන්දගෙන ගෙවල් ගානෙ යනවා. සුචරිත මාවතේ අපේ වත්තේ ගෙවල්වලට මේගොල්ලෝ ආවහම අපේ අම්මලා රුපියල් දෙකක් ඇනිලොප් එකක දාල තියලා මේගොල්ලන්ට දෙනවා. පාන්දර දෙක තුන වෙනකම් මේ ජෝගි ඩාන්ස් ගම වටේ යනවා.

මේක ඉවර වුණාට පස්සේ තමයි නියම ජෝගිය.මුන් ඇඳලා එන විදිහට පුදුම ලස්සනයි  රුක්මණි දේවි පරාදයි.ඉතින් මුන්ව දැක්කහම ඉලංදාරින්ට  ඉන්න බැහැ. වැඩේ උරුම ඉතින් මුන්ව එක එකා ඩැහැගෙන යනවා කොහෙට හරි. හැබැයි ඒ බලහත්කාරයෙන් නෙමේ. ඒගොල්ලොත් ආසාවෙන් සතුටින් යනවා කොල්ලෝ එක්ක.සමහර චන්ඩි මේ ගොල්ලෝ අරගෙන යනවා.

ඒ කාලේ මේ සන්තබස්තියම බේරේ ළඟ (Technical College) එක ළඟින් හැරී උසාවිය පැත්තට යන පාර) රෑට හරි කළුවරයි.පාරේ ලයිට් නැහැ.ඒ කාලේ රෑ දහයෙන් පස්සේ මේ පැත්තේ කවුරුත් යන්නේ නැහැ ටිකක් බයයි කරුවල නිසා.අපි මාර බයයි.දැන් අපේ පැත්තෙ අය බයිස්කෝප් බලන්න මරදානට යන්නේ මෙතනින්.නයින් තර්ටි ෂෝ එක ඉවරවෙලා රෑ එන්න තියෙන්නෙත් මෙතනින්. එල්පින්ස්ටන්, ටවර්හෝල්,  ක්‍රවුන්, ඔලිම්පියා,ගාමිණී හෝල් තමයි ඒ කාලේ තිබුණා බයිස්කෝප් හෝල්.මරදානේ බුහාරි එක ඒ කාලේ රෑ එලිවෙන්නකම් වගේ ඇරලා තිබුණා.රෑට ෂෝ එක බලලා ශාලිමාර් එකෙන් ෂොට් එකක් දාලා බුහාරි එක් බුරියානි කන එක හරි ජනප්‍රිය වැඩක්.තව මරියාකඩේත් තිබුණා රෑ කඩ ගොඩක්'

දැන් මේ කට්ටිය කරන්නේ රෑට ලස්සනට ඇඳගෙන මේ සන්තබස්තියම ඇල ළඟ කළුවරේ හතර පස් දෙනෙක් ඉන්නවා. හරියට දැක්කම සුරංගනාවියෝ පාරට බැහැලා වගේ. ඇයි උන්ගේ ඇඳුම් දිලිසෙනවා.ඇත්තටම ඒගොල්ලෝ හරිම ලස්සනයි.ගොඩක් ඒ කාලෙ මේ කට්ටියගේ හිටියා ලස්සන ජා සෙට් එකේ අපි දන්න අයත්  කීපදෙනෙක් හිටියා.මට දැන් එයාගේ නම් මතක නැහැ.රෑ දොළහට ෂෝ එක ඉවර වෙලා එන කට්ටියව මේගොල්ලෝ කොහොම හරි අල්ලා ගන්නවා.එහෙම සෙට් වෙන අයව අරගෙන බේරේ ළඟ පල්ලෙහාට යනවා.ඒ අතර අපේ සමහර එවුන් කරන වැඩේ පොලු අරගෙන බොරුවට කෑගහගෙන ගිහිල්ලා මේගොල්ලන්ව එලවනවා ඈතට.ඊට පස්සේ ආයිත් උන් එනවා එතනටම.

කොහොමටත් කවුරුවත් ඒගොල්ලන්ට ලොකු හිංසාවක් පීඩාවක් කරදරයක් කළෙත් නැහැ. ඔය වික්ටර් අයියලා වගේ අය එහෙම කරදර කරන්ඩ දුන්නෙත් නැහැ. ඒ කාලේ මේගොල්ලෝ ගොඩක් හිටිය තැනක් තමයි කොම්පඤ්ඤ වීදියත්. කොම්පඤ්ඤ විදියෙත් රෑ එළිවෙනකම් මනිපිට්ටුයි බාබතුයි විකුණන රෑ කඩ තිබුණා.මෙතනට ගොඩක් වෙලාවට එනවා නැව් වලින් බැහැල එන සීමන්ලා. ඒගොල්ලො  මේගොල්ලන්ට හරියට කැමතියි.එනිසා මේ ගොල්ලෝ ඔය මැලේ වීදියේ පැත්තේ රෑට රංචු ගැහෙනවා.කොළඹ ගොඩක් වතුවල මේගොල්ලො හිටියා. මේගොල්ලෝ දවල්ට එක එක ආදායම් මාර්ගවලට ගිහිල්ලා රෑට පාරට බහිනවා.ඒගොල්ලො අතර හරි සමගියක් තිබුණා. මොනවා කළත් කට්ටිය හිටිය එක රංචුවට.

upul janaka jayasinghe

| උපුල් ජනක ජයසිංහ