මනුෂ්‍යා නම් වූ පොදු කුලකය තුළ විවිධ හේතූන් අවශ්‍යතාවයන් මත බෙදී ගිය වෙන්ව හඳුන්වන ප්‍රජාවන් සිටි. භාෂාව, ජාතිය, ආගම, කුලය, රැකියාව, ආධ්‍යාපනය මත පමණක් නොව ශාරීරික වෙනස්කම් අනුව ද වෙනස් වූ ප්‍රජාවන් හඳුනා ගත හැකිය. ඒ කවරාකාරයේ බෙදීමක් තුළ වුව ඒ සියල්ලෝම එකම මනුෂ්‍ය වර්ගය ය.මේ කවරාකාරයේ ප්‍රජාවන් තුළ වුවද එදිනෙදා ජීවිතය තුළ ඔවුන්ට මුහුණපාන්නට සිදුවන විවිධ අභියෝගය අර්බුද ගැටලු හඳුනාගැනීමට හැකිය.
මෙම ලිපිය එවන් විශේෂිත වූ ප්‍රජාවක් සම්බන්ධයෙනි, එනම් අපේ රටේ ශ්‍රව්‍ය ආබාධිත සහිත ප්‍රජාවන් සමඟ සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙන් සපයා ගත් තොරතුරු කිහිපයක් මත සම්පාදනය කරන ලද්දකි.
සාමාන්‍ය ප්‍රජාවට වඩා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සන්නිවේදනය කිරීමේ දී ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වේ. එනිසාම බොහෝ අවස්ථාවන්වලදී ඔවුන් අපහසුතාවයටත් අසාධාරණයටත් ලක් වේ. එවන් අවස්ථා කිහිපයක් ඔවුන් විසින්ම සඳහන් කර සිටියේ ශ්‍රව්‍යාබාධිත සම්මේලනයේ 2026 වසරේ පැවති පළමු හමුවේදී ය.
සන්නිවේදනය කිරීමේ අපහසුතා නිසා තමන්ට ලැබිය යුතු වරප්‍රසාද, ප්‍රශංසා, සාධාරණය, තොරතුරු දැන ගැනීම, කරුණු පැහැදිලි කිරීම ආදි වශයෙන් බොහෝ අවස්ථාවන්හිදී අසරණභාවයට පත් වන්නට සිදු වේ. ප්‍රධාන වශයෙන්ම ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව හා අනෙක් පාර්ශ්වය අතර තොරතුරු හුවමාරු කර ගැනීමට දෙපාර්ශ්වය අතර සන්නිවේදනයේ පවතින පරස්පරතා හේතු වේ.
පොලිසියකට ගිය විට මොවුන් පවසන දේ ඔවුන්ට නොතේරීම සහ දෙපාර්ශවය අතර සන්නිවේදනයේ පවතින අපහසුතා නිසා පොලිසිය විශ්වාස කරන්නේ ඔවුන්ට තේරෙන පරිදි පැහැදිලි කරන පාර්ශ්වය පවසන අදහස්. එවැනි අවස්ථාවක එම පාර්ශ්වයට තමන්ගේ වාසියට ඕනෑම දෙයක් සඳහන් කළ හැකි ය. මන්දයත් මොවුන් කියන දේ තේරුම් ගැනීමට හෝ ඔවුන් වෙනුවෙන් කතා කිරීමට කිසිවකු නොමැති නිසාය. ශ්‍රව්‍යාබාධිතයන් වීම නිසාම ඔවුන්ට අත්විදින්නට සිදුවන අසාධාරණකම් හා අඩු සැලකිලි සම්බන්ධයෙන් ශ්‍රවණාබාධිත තරුණ සංගමයේ සභාපති චින්තක සඳහන් කර සිටියේ මෙසේය.
“මම මගේ පාසලේ නම ගැන සඳහන් නොකරඉන්නම්. නමුත් ‘බිහිරි පාසල’ කියලා තමයි පාසලේ නාම පුවරුවේ තියෙන්නේ. එහි ගුරුවරුන් ‘තොල් කියවීමෙන්’ තමයි අපට සංඥා භාෂාව උගන්වන්නේ.
ඒ පාසල තුළ සංඥා භාෂාව පුළුවන් ළමයි සහ සංඥා භාෂාව නොහැකි ළමයි ඉන්නවා. මේ තත්ත්වය තුළ ගුරුවරයා හිතන්නේ ‘කමක් නැහැ පුළුවන් ළමයි ටික හරි ඉගෙන ගන්නේ නැතැ‘ කියලයි. අපි ඉගෙන ගත්තේ මෙවැනි පසුබිමකයි.
2011 වසරේ මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න මට හැකියාවක් නැහැ. නමුත් මට පුළුවන් විදිහට ලිව්වා. මට සාමාන්‍ය සාමාර්ථ (එස්) පහක් තිබුණා.
මම මුළින්ම ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියාවට යොමු වුණා. නමුත් එතැන සිටි සේවකයෙක් එක්ක ඇති වුණ ගැටලුවක් හේතුවෙන් මට රැකියාව අහිමි වුණා. ඇත්තටම අපි අතර ඇති වුණේ පොඩි සන්නිවේදන ගැටලුවක්. අපි දෙදෙනාම වැරදිකරුවන් වුණත් ඔහු පරිපාලනයට පැමිණිලි කළා. පැමිණිල්ලට අනුව මම මානව සම්පත් කළමනාකරු හමුවට ගියා. එහි දී ඔහු හිතාගෙන හිටියේ මට ඉංග්‍රීසි භාෂාවෙන් (ලියන) සන්නිවේදනය කරන්න පුළුවන් ඇති කියලා. නමුත් මට ඉංග්‍රීසී භාෂාව බැහැ. ඉතා සුළුවෙන් යමක් කිරීමට පමණයි මට හැකියාව තිබුණේ. ලිපියක් කියවන්න තරම් දැනුමක් මට තිබුණේ නැහැ.
ඔහු මට ලොකු ලිපියක් දුන්නා කියවන්න කියලා. මම කිව්වා ‘මට මේක කියවන්න බැහැ’ කියලා.
නමුත් ඔහු ඒක පිළිගත්තේ නැහැ. නමුත් එතනදී තමයි මම දැක්කේ ඔහු ළඟ මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනය තිබෙනවා. ඔහු ප්‍රතිඵල ලේඛනය අරගෙන මට කිව්වා, “ ඔයාට සිංහලවලට සාමාන්‍ය සාමාර්ථයක් තියෙනවා. මම ඔයාට සිංහලෙන් ලියුමක් දුන්නොත් කියවන්න පුළුවන් නේද ?’ කියලා.
මේ වාගේ ගැටලු එක්ක මාව රැකියාවෙන් ඉවත් කළා.
ඊට පස්සේ මම ඒ ලිපිය මගේ දෙමාපියන්ට පෙන්නුවා. ඔවුන් ඒක කියවලා මට පැහැදිලි කළා. එහි කියලා තිබුණා, මුලින්ම මම තමයි අනෙක් පුද්ගලයාට පහර දුන්නේ, පහර කෑමෙන් තුවාල ගත් පුද්ගලයා රෝහල් ගත කරන්න පවා සිදු වුණා වාගේ ලොකු කතාවක් ලියුමේ තිබුණා. නමුත් එවැනි ලොකු ගැටලුවක් අප අතර ඇති වුණේ නැහැ.
මේ ආකාරයේ ගැටලු මම නිතර අත්දැකලා තියෙනවා.
ඊට පස්සේ තමයි මම මේ සංවිධානයට සම්බන්ධ වෙන්නේ බිහිරි ප්‍රජාව වෙනුවෙන් මම වැඩකටයුතු කරනවා, ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ මට ඇති දැනුවත්භාවය ඒකට විශාල ශක්තියක් වෙලා තියෙනවා.
ඇත්තමකිව්වොත් අපේ ශ්‍රවණාබාධිත ප්‍රජාව විවිධාකාරයේ ගැටලුවලට මුහුණ දෙනවා. අද මේ ස්ථානයේ රැස්ව සිටින්නේ අපේ දිස්ත්‍රික් නායකයින්.
අපට ඇති ප්‍රධානතම ගැටලුව සන්නිවේදනයයි. අපි මුහුණ දෙන ගැටලු සහ අභියෝග වැඩි ප්‍රමාණයකට ප්‍රධානතම හේතුව වෙන්නේ සන්නිවේදන ගැටලුවයි. උදාහරණයක් ලෙස පොලිසිය සම්බන්ධ ගැටලුවක දී අපි දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙනවා. එවැනි අවස්ථාවක සාමාන්‍ය පුද්ගලයා වෙත පොලිසියේ වැඩි සැලකිල්ලක් යොමු වෙනවා.
ඒ වගේම සංඥා භාෂාවෙන් අධ්‍යාපනය ලබා දෙන්න පාසල්වල ගුරුවරුන්ට හැකියාවක් නැහැ.
ඒ වගේම ආපදා තත්ත්වයක දී (දිට්වා වැනි) නිකුත් කරන නිවේදන අපට නිසි ලෙස සන්නිවේදනය වෙන්නේ නැහැ.
රාජ්‍ය ආයතන හෝ වෙනත් ආයතන සමඟ සන්නිවේදනය කිරීමේ දී බිහිරි ප්‍රජාව දැඩි පීඩාවකට පත් වෙනවා.
3%ක ප්‍රතිශතය මත රැකියාවලට යොමු වන්න අවස්ථාව තිබුණත් ශ්‍රවණාබාධිත වීම හේතුවෙන් අපට එවැනි අවස්ථාවන් ලැබෙන්නේ නැහැ.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා ඉදිරිපත් වන බිහිරි ප්‍රජාවේ දරුවන් සංඛ්‍යාව ඉතාම සීමිතයි.
මම ඉහතින් සඳහන් කළේ බිහිරි ප්‍රජාවක් ලෙස අපි මුහුණ දෙන පොදු ගැටලුයි.
ඒ වගේම මම බිහිරි ක්‍රිකට් සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරනවා. අපි 1996 සිට ජාත්‍යන්තර තරඟාවලි සඳහා සහභාගී වී ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා. නමුත් අපට රජයෙන් ප්‍රමාණවත් සහායක් ලැබෙන්නේ නැහැ. රජයෙන් යම්කිසි සහායක් ලබා ගන්න බොහෝ වෙහෙසෙන්න සිදුව තිබෙනවා.”
රැකියා ස්ථානයේ වුව තමන්ට සිදුවන අසාධාරණකම් හෝ යම් පැහැදිලි කිරීම් හා විස්තර කිරීම් සිදු කරන්නට අවස්ථාව නොලැබීම, ඔවුන් එසේ පැහැදිලි කිරීම් සිදු කළත් ඒවා තේරුම් ගැනීමට අනෙක් පාර්ශ්වයට නොහැකි වීම මත රැකියාවේ එක තැන පල්වීමක්, රැකියාවේ උසස්වීම් හා අවස්ථා අහිමිවීමක්, තමාට සිදුවන අසාධාරණකම්වලට සාධාරණය ඉටු නොවීමක් වශයෙන් විවිධ අභියෝගවලට මුහුණ පාන්නට ඔවුන්ට සිදු වේ.
එපමණක් නොව සුදුසුකම් තිබුණත් අවස්ථාවන් නොලැබීම, අවස්ථාවන් ලබාදීම වෙනුවෙන් අවධානය යොමු නොකිරීම වැනි තත්ත්වයන්ටත් මුහුණපාන්නට ඔවුන්ට සිදු වේ.
“මම මෑතකදීඅත්වින්ඳ දෙයක් කියන්නම්. මම ගුරු විභාගය සඳහා සහභාගී වුණා. මේ සඳහා අබාධිත පුද්ගලයින් කිහිප දෙනකු සහභාගී වුණා. ඔවුන් අදාළ විභාගයෙන් සමත් වුණත්, ශ්‍රවණාබාධිතයෙකු වීම නිසාම මාව අසමත් කළා. ඒකට හේතුව වුණේ අනෙක් පිරිස ආබාධිත වුණත් ඔවුන්ට කතා කිරීමට හැකියාව තිබුණා.
“ඔයා ශ්‍රවණාබාධිත කෙනෙක්, ඔයා ගුරුවරයෙක් වුණොත් අනෙක් ළමයින්ට උගන්වන්නේ කොහොමද ?’ කියන ප්‍රශ්නය මට යොමු වුණා.
මගේ පිළිතුර තමයි, ‘ශ්‍රවණාබාධිත පාසල් විශාල ප්‍රමාණයක් රට පුරා තිබෙනවා. එවැනි පාසලකට මාව ගුරුවරයෙක් ලෙස පත් කරන්න නොහැකි ද ?’යන්නයි.
නමුත් මේ ප්‍රශ්නයට ඔවුන්ගෙන් සහායක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ පිළිතුර වන්නේ “ඔබට සහාය දක්වන්න බැහැ, අපි ඒ ගැන දන්නේ නැහැ’යන්නයි.” මේ ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනයේ උප ලේකම් කාවින්දගේ අත්දැකීම් ය.
නූතන ලෝකයේ තාක්ෂණය දියුණුය.මේ දියුණු ලෝකයේතොරතුරු දැන ගැනීමේ අවස්ථාව ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට හිමි වන්නේ අවම වශයෙනි. ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව සන්නිවේදනය සිදු කරන ආකාරය සංඥා භාෂාව ආධාරයෙන් හා ඇතැමුන් තොල් කියවීමෙන්ද තොරතුරු දැනගනී. නමුත් ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවෙන් 95%ක් පමණ සාක්ෂරතාවය තිබෙන්නේ ඉතා පහළ මට්ටමකය. එනිසා රටේ ලෝකයේ සිදුවන දෑ සම්බන්ධයෙන් ඔවුන්ට තොරතුරු සන්නිවේදනය වන්නේ අවම වශයෙනි. ඉතාම වැදගත් අවස්ථා වලදී සමහර විට ඔවුන් ඒ තොරතුරු දන්නේ නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන් කියා සිටියේ මෙවැන්නකි.
“දිට්වා කුණාටුව කාලයේ නිතර නිතර මාධ්‍යවලින් ඒ ගැන තොරතුරු නිතර නිතර දැනුම් දුන්නා. නමුත් අපේ ගොඩාක් අයට ඒවා ගැන දැනගන්න විදියක් නෑ. මොකද සංඥා භාෂාවෙන් ඒ ගැන තොරතුරු සන්නිවේදනය වුණේ ඉතාම අඩුවෙන්.”
මේ වගේ ආපදා තත්ත්වයන් ගැන විතරක් නෙවෙයි රටේ වැදගත් දේවල් ගැනත් එහෙමයි. අපිට දැනගන්න ලැබෙන්නේ නෑ. සමහර දේවල් ගැන අපි දන්නේම නෑ. අපේ සමහර කියලා තේරුම් ගන්න පුළුවන් අය නම් ඒවා දැනගන්නවා. ඒ අය මාර්ගයෙන් සමහර දේවල් අනිත් අයට සන්නිවේදනය වෙනවා.”
“රූපවාහිනියේ මාධ්‍ය නාලිකා දෙකක විතරක් ඉතාම පොඩි කොටුවක දකුණු අත පැත්තේ පහළින් ප්‍රවෘත්ති කියවන විට එය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරනවා. නමුත් ඒක ඉතාම පොඩිවට තමයි තියෙන්නේ. ඒක හරියට පේන්නෙත් නෑ සමහරුන්ට. මේ පොඩි ඉඩ තව ටිකක් ලොකුවට පේන්නවත් දාන්න පුළුවන්නම් හොදයි.”
“ඒ වගේම යළිත් සන්නිවේදන බාධා ගැන කතා කළ යුතුයි. ඔබ දන්නවා රූපවාහිනියේ විවිධාකාර වැඩසටහන් යනවා. හදිසි නිවේදන නිකුත් කරනවා. ප්‍රවෘත්ති, විවිධ විනෝදාස්වාද වැඩසටහන්, දේශපාලන වැඩසටහන් ආදිය යනවා. අපිත් කැමැතියි මේවා බලන්න, රස විඳින්න. නමුත් අපට ඒවට අවස්ථාව ලැබෙන්නේ නැහැ.ඒ වගේම යළිත් සන්නිවේදන බාධා ගැන කතා කළ යුතුයි. ඔබ දන්නවා රූපවාහිනියේ විවිධාකාර වැඩසටහන් යනවා. හදිසි නිවේදන නිකුත් කරනවා. ප්‍රවෘත්ති, විවිධ විනෝදාස්වාද වැඩසටහන්, දේශපාලන වැඩසටහන් ආදිය යනවා. අපිත් කැමැතියි මේවා බලන්න, රස විඳින්න. නමුත් අපට ඒවට අවස්ථාව ලැබෙන්නේ නැහැ.”
මේ රටේ ප්‍රධාන මාධ්‍ය ධාරාවන් තුළ පවා ඔවුන් වෙනුවෙන් ඉඩ වෙන්කර තිබෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයකිනි. රූපවාහිනී නාලිකා කිහිපයක් තිබුණද ඒ අතරින් ඔවුන් වෙනුවෙන් ඉතාම සුළු වේලාවක ඉතාම කුඩා ඉඩක් වෙන් වන්නේ නාලිකා දෙකක පමණි. සිරස සහ ජාතික රූපවාහිනිය යන රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති නිවේදනය අතර වාරයේ වම් පස පහළ කෙළවරෙන් ඉතාම කුඩා ඉඩක සංඥා භාෂාවෙන් ප්‍රවෘත්ති නිවේදනය වෙයි. නමුත් ඔවුන් පවසන්නේ එය නොපෙනෙන තරම් බවයි. එම කුඩා ඉඩ තව මඳක් විශාලවට හෝ තිරයේ ඉහළින් දිස්වන්නේ නම් වැදගත් බවයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්බන්ධයෙන් බොහෝ දෙනකු හඬ නැගුවද මෙම ප්‍රජාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සහ මොවුන්ගේ සන්නිවේදනය කිරීම සම්බන්ධයෙන් හඬ නගන්නෝ කවරහූද?
මොවුන් සමඟ සන්නිවේදනය කළ හැකි මාර්ගය වන්නේ සංඥා භාෂාවය. මන්දයත් ඔවුන්ට හඬ ග්‍රහණය නොවන බැවිනි. එනිසා ඔවුන් වෙනුවෙන් තොරතුරු සන්නිවේදනයට සහ සන්නිවේදනය උදෙසා සංඥා භාවිතා වැදගත්ය.
ඔවුන් විසින්ම ඉදිරිපත් වූ යෝජනාවක් වූයේ ක්‍රීඩා වැනි තරගවලදී තරගාවලිය ආරම්භයට පෙර නිකුත් කරන ශබ්දය ඔවුන්ට නොඇසෙන බැවින් ඒ සඳහා සංඥා භාවිතා කිරීම වඩා යෝග්‍ය බවත් ඒ වෙනුවෙන් ඔවුන් යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් ය. එවැනි ක්‍රමවේදයක් නොමැතිවීම මත ඔවුන්ට සිදුවන්නේ අසාධාරණයකි. මන්දයත් ඔවුන් තරඟය ආරම්භ කරන්නේ අනෙකුන් තරඟය ආරම්භ කළ පසු ය. තරඟයකදි මිලි තත්පරයත් වටින මුත් මොවුන්ට ඒ වටිනාකම ද මඟහැරෙනු ඇත. ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ ජාතික සංගමයේ සභාපති බ්‍රයන් සුසන්ත කොඩිතුවක්කු මහතා ද අදහස් එක් කරමින් කියා සිටියේ ඔවුන් එදීනෙදා ජීවිතයේ අවස්ථාවන්වලදි මුහුණපාන අපහසුතා සම්බන්ධයෙන් සමහර කාරණා සම්බන්ධයෙන් විසදුම් සඳහා ඉල්ලීම් කර තිබුණත් තවමත් විසදුම් ලැබි නැත් බවයි.
“ඒ වගේම තමයි බිහිරි පුද්ගලයින් පහසුවෙන් හඳුනා ගත නොහැකි වීම නිසා සාමාන්‍ය පුද්ගලයින් සමඟ තමයි අපට ක්‍රීඩා තරඟවලට සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ. නමුත් එවැනි අවස්ථාවල අපට නොයෙකුත් ගැටලු ඇති වෙනවා. උදාහරණයක් ලෙස ධාවන තරඟයකදී යම්කසි ශබ්දයක් නිකුත් කිරීමෙන් තමයි තරඟය ආරම්භ කරන්නේ. එවැනි අවස්ථාවක දී ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු අපහසුතාවට පත්වෙනවා.
උදාහරණයක් ලෙස අපේ සාමාජිකයෙක් වන තුෂාර මහත්මයා, ඔහු බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන නිලධාරියෙක් වගේම දක්ෂ පිහිනුම්කරුවෙක්. ඔහු සාමාන්‍ය ප්‍රජාව සමඟ පිහිනුම් තරඟවලට සහභාගී වෙනවා. නමුත් ඔහුට තරඟය ආරම්භ කරන්න වෙන්නේ පසුවටයි. අනෙක් අය පීනවා දකින විට තමයි ඔහුට තරඟය ආරම්භ කරන්න වෙන්නේ. ඒකට හේතුව තමයි තරඟය ආරම්භක සංඥාව ඔහුට ඇසෙන්නේ නැහැ.
අපි මේ අපහසුතාව සම්බන්ධයෙන් ඉල්ලීම් කිහිපයක් කළත් අදාළ ගැටලුවට තවමත් සාධාරණ විසඳුමක් ලැබී නැහැ.ZZ
තව ද ආගමික වතාවත් වැනි අවස්ථාවලදී ඔවුන්ට ඒ දේවල් සන්නිවේදනය කිරීමේ හැකියාවක් නොමැත. මන්දයත් උදාහරණයක් වශයෙන් බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන කරුණු සංඥා භාෂාවෙන් විස්තර කිරීමට කිසිවකු නොමැත. එසේ නම් කළ හැක්කේ එම කරුණු සංඥා භාෂාවෙන් ලිවීමය. එය බැරෑරුම්ය. නමුත් ඒ බැරෑරුම තුළ ගිලිහී ගොස් තිබෙන්නේ ශ්‍රව්‍යාබාධිතයින්ගේ අයිතියකි.
මෙරට ජනගහනය තුළ මොවුන් සක්‍රීය කාර්යයක් ඉටුකරනු ලබයි. නමුත් ඔවුන් මුහුණපාන ගැටලු සහ අභියෝග ගණනාවකි. මේ අභියෝග තුළ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් මෙන් ම අසාධාරණයට ලක් වීම, නොසැලකිල්ලට ලක්වීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීම හඳුනාගත හැකියි. ඒ ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ඉදිරිපත් වීමට හෝ ඒ සම්බන්ධ අනෙකුන්ට අවබෝධය නොමැති බව විය හැකිය
බිහිරි වූවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට 1984දි බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය ආරම්භ කර තිබේ. මේ වන වනවිට දශක හතරක පමණ කාලයක් ක්‍රියාත්මක වන අතර මෙයට අනුබද්ධ දිස්ත්‍රික් සංවිධාන විසි දෙකක් පමණ පවති. එමෙන් ම ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් සංවිධානය, කාන්තා සංවිධානය සහ ශ්‍රී ලංකා තරුණ සංවිධානය ලෙස ප්‍රධාන සංවිධාන තුනක් යටතේ කටයුතු සිදු වෙමින් පවති.
මෙම ප්‍රජාව බිහිරි වූ නමුත් ඔවුන් විවිධ ක්ෂේත්‍ර සඳහා ඉතාම දක්ෂතා දක්වන පිරිස් ය. ඔවුන්ට ගැලපෙන පහසුකම් පවතිනවා නම් ශව්‍යාබාධිත වුවන් යයිද වෙනසක් දැකිය නොහැක. ශ්‍රව්‍ය ආබාධයක් තිබුණත් ඔවුන් එදිනෙදා ඔවුන්ගේ ජීවිත ඉතාම ධෛර්යමත් ඉදිරියට ගෙනයන සහයෝගයෙන් සහ කැපවීමෙන් කටයුතු කරන පිරිසකි. 2012ජන හා නිවාස සංගණනයට අනුව මෙරට 390,000කට ආසන්න ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවක් සිටි. අර්ධ ශ්‍රව්‍යාබාධිත පිරිස 190,000 අධික පිරිසක් සිටියි.
ඔවුන්ගේ ධෛර්යය එක්ක යන ගමනේදී සන්නිවේදනය කිරීම හා ග්‍රහණය කරගැනීම ප්‍රධාන අභියෝගයකි. සමාජගත වීමේදී සන්නිවේදනය අපහසුතාවයක් නිසා ඔවුන් බොහෝ අසාධාරණයට අපහසුතාවයට ද ලක් වේ.
මොවුන්ගේ අභියෝග හමුවේ සෑම අයෙකුටම සංඥා භාෂාව ඉගැන්විය යුතුය යන්න හෝ ඔවුන්ට සමාජයෙන් සිදුවන අඩු සැළකීම් හෝ කොන් කිරීම් ඉවසා දරා සිටින්නට වේය යන්න නොව, සැළකිය හැකි මට්ටවෙම් විසදුම් වෙනුවෙන් මේ රටේ රජයට මෙන් ම සිවිල් සංවිධාන හා ස්වේච්ඡා සංවිධානවලට සුවිශේෂී කාර්යයක් පැවරෙනු ඇත. ඔවුන් තුළින්ම ඔවුන්ගේ ගැටළුවලට යෝජනා ඉදිරිපත් වන අතර ඔවුන් වෙනුවෙන් ඒවා කෙරෙහි අවධානය යොමු කිරීම හා අදාල පාර්ශ්ව වෙත ඉදිරිපත් කිරීම වැදගත්ම මැදිහත්වීමකි.
මෙම ප්‍රජාව මුහුණපාන්න වූ සෑම ගැටළුවකටම විසදුම් දීමට හැකි විය නොහැකි විය හැක. නමුත් මෙය ඉතාම සංවේදි කාරණයකි. මෙම සාකච්ඡාව අවසානයට පෙර ඔවුන්ගේ මෙම අභියෝගයන් අවධාරණය කරනු කැමැත්තෙමි. ඔවුන්ට අනුව අප ද ඔවුන් ඉදිරියේ ආබාධිතයන් ය. “අප ඉදිරියේ මහා සමාජය ද ආබාධිතයි, එහෙත් ශ්‍රව්‍යාබාධිත වීම නිසා බැට කන්‌නේ අප යි” ඔවුන් කියා සිටියේ එසේ ය. එනිසාම මූලිකවම ඔවුන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් හෝ අවධානය යොමු කල හැකි විය යුතුය. මේ රටේ පුරවැසියන් ලෙස එය මොවුන්ට කරන්නා වූ ගෞරවයක් ද වනු ඇත.

| නිර්මලා දිසානායක

