කාන්තා දිනය; "සැමරුමක්" නොව "සටන් කිරීම" පිළිබඳ ප්‍රශ්නාර්ථයකි

protect-union

2026 මාර්තු 08, තවත් එක් ජාත්‍යන්තර කාන්තා දිනයකි. විවිධ තේමා යටතේ උත්සව පැවැත්වෙන මුත්, ශ්‍රී ලංකාවේ මිලියන 11කට අධික කාන්තා ජනගහනයෙන් බහුතරයකගේ ජීවිත දෙස බැලූ විට අපට ඇත්තේ "සැමරුමක්" නොව "සටන් කිරීම" පිළිබඳ ප්‍රශ්නාර්ථයකි. මෙරට ජනගහනයෙන් 51.7%ක් කාන්තාවන් වුවද, ශ්‍රම බලකායේ ඔවුන්ගේ දායකත්වය 29% - 33% වැනි අවම මට්ටමක පවතින්නේ ඇයිද යන්න අප ගැඹුරින් ප්‍රශ්න කළ යුතුය.

2024–2025 වර්ෂයේ දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ මිලියන 21.78 ක ජනගහනයෙන් ආසන්න වශයෙන් 51.7% ක් කාන්තාවන් වේ. කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය සාපේක්ෂව අඩු වන අතර එය 29% - 33 ත් අතර බව වාර්තා වේ. හැම අවුරුද්දෙම කාන්තා දිනය මහා ඉහලින් සමරන රටක කොහොමද මෙහෙම වෙන්නේ?

එහෙම වෙන්න බලපාන හේතු වලට එරෙහිව සටන් කිරීම තුළින් කාන්තා දිනයට අර්ථයක් එක් කිරීම හැර සාටෝපවත් සංදර්ශන සහ ව්‍යාජ සැමරුම් වලින් කාන්තා දිනයට අර්ථයක් දිය නොහැකිය.

විශේෂයෙන්ම, ILO දත්තවලට අනුව මෙරට 80,000කට අධික පිරිසක් නිරත වන, එහෙත් සමාජයේ අවධානයෙන් ගිලිහී ගිය අයිතිවාසිකම් නොමැති ගෘහ සේවක පිළිබඳව අප සංගමය ජාත්‍යන්තර කාන්තා දිනයේ වැඩි වැඩියෙන් කතා කරන්නෙමු. ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නෙමු.

අප මුහුණ දෙන කටුක යථාර්ථය: "නූතන වහල්භාවය"

අනෙකෙකුගේ නිවසක් ලස්සන කිරීමටත්, දරුවන් සහ වැඩිහිටියන් රැකබලා ගැනීමටත් කැපවන ගෘහ සේවිකාවන්ගේ ශ්‍රමය "සැබෑ වැඩක්" එහෙම නැත්නම් "සැබෑ රැකියාවක්" ලෙස පිළිගැනීමට මෙරට නීති පද්ධතිය තවමත් අසමත් වී ඇත.

නීතිමය රැකවරණයක් නැත: ඩිජිටල්කරණය ගැන කතා කරන රටේ, ජාතික අවම වේතන පනතින් පවා ගෘහ සේවකයන්ව බැහැර කර ඇත.අවම පඩියක්වත් ගෘහ සේවකයන්ට දෙන්න ඕන නෑ කියල ජාතික අවම වේතන පනතේ සඳහන් කර තිබන අතර ගෘහ සේවකයන් වයසට යද්දී, අසනීපයක් වූ විට අනාථ වී මිය යාම හැර අන් විකල්පයක නොමැති බව ලංකාවේ කම්කරු නීති වලින්ම තහවුරු කර තිබේ. විධිමත් අංශයේ සේවකයන් භුක්ති විඳින කිසිදු අයිතිවාසිකමක් ගෘහ සේවකයන්ට හිමි නොවන අතර ශ්‍රී ලංකාව මොඩර්න් යයි පැවසුවද නූතන වහල් භාවය පිළිගන්න සහ නූතන වහල් බාවය පිළිගන්න කම්කරු අමාත්‍යංශයක් ශ්‍රී ලංකාවේ පවතී.

සමාජ ආරක්ෂණය අහිමි කිරීම: වයසට ගිය විට හෝ අසනීප වූ විට ගෘහ සේවකයා අනාථ වීමට ඉඩ හැර තිබේ. ඔවුන්ට EPF/ETF ගෙවීම අනිවාර්ය නොකිරීම තුළින් හාම්පුතුන්ට "නූතන වහල්භාවය" පවත්වාගෙන යාමට රජය ඉඩ දී ඇත.

හිශාලිනි, ආර්. රාජකුමාරි වැනි සහෝදරියන්ගේ මරණ සහ ඝාතන සහ හාම්පුතුන් අතින් සිදුවන ලිංගික/මානසික හිංසනයන් හමුවේ පවා නීතිය ක්‍රියාත්මක වීම සහ යුක්තිය ඉතා මන්දගාමීය. පොලීසිය සහ බලධාරීන් කෝටිපති හාම්පුතුන් සුරකින තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ "ගෞරවනීය රැකියාවක්" (Decent Work) යන්න හුදු සංකල්පයකට පමණක් සීමා වී ඇත.

ගෘහ සේවකයින් සඳහා, කම්කරු නීති වල, කම්කරු අයිතීන් වල රැකවරණය අවශ්‍යයි. ඒසඳහා පවතින නීති සංශෝධනය විය යුතුමය.

  • ILO C189 ගෘහ සේවකයන්ගේ සම්මුතිය අපරානුමත කළ යුතුයි.
  • ගෘහ සේවකයන් ඇතුළු සියළු අවිධිමත් අංශයේ සේවකයන් සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් අවශ්‍යයි.
  • ශ්‍රී ලංකාවට කම්කරු ප්‍රඥප්තියක් අවශ්‍යයි එමගින් අවිධිමත් අංශය ද ආවරණය විය යුතුයි.
  • ශ්‍රී ලංකාවෙන් විදේශ ගතව සේවය කරන සංක්‍රමණික සේවකයින්ගෙන් බහුතරය ගෘහ සේවකයින්. ඔවුන් එවන ඩොලර් වලින් තමයි ලංකාව ජිවත් වෙන්නේ. සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුය.

ගෘහ සේවකයින් සඳහා කම්කරු නීති සකස් කිරීම සඳහා ප්‍රොටෙක්ට් සංගමය 2018 වසරේ සිට පැවති සෑම රජයකම කම්කරු අමාත්‍යවරුන් සමග සාකච්ඡා කර ඇති අතර ඊට අදාළව පොරොන්දු රැසක් ලැබී ඇත. නමුත් ඒ කිසිවක් ඉටු නොකිරීම තුළ කම්කරු අමාත්‍යංශය සහ එම අමාත්‍යවරුන්, කම්කරු දෙපාර්තමේන්තුව පිළිබඳව අපට ඇත්තේ දැඩි අසතුටකි.

ගෘහ සේවය සුනිසි රැකියාවක් (Decent Work) බවට පත් කිරීමටත් ගෘහස්ථ ශ්‍රමිකයින් යහපත් රැකියා කොන්දේසි සහ අයිතිවාසිකම් සහිත පිරිසක් බවට පත් කිරීමටත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සුවිශේෂී සම්මුතියක් 2011 වසරේදී ලෝකයට ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාව විසින් මෙම සම්මුතිය රට තුළ අපරානුමත කරන බව සහතික කර ඇතත් මේ වනතෙක් එය සිදු කර නැත.

සංක්‍රමණික ශ්‍රමිකයින් යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය සහ එම ආර්ථිකයේ සුවිශේෂී කොටස්කාරයින් ලෙස අප සලකමු. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් දැඩි ලෙස අර්බුධයන්ට ලක් වෙද්දී මෙරටට එවන ලද ප්‍රේෂණ මගින් ශ්‍රී ලංකාව නැවත යථාතත්ත්වයට පත් කිරීමට දායකත්වය සැපයූවේ සංක්‍රමණික ශ්‍රමිකයින් විසින්. නමුත් විවිධ රජයන් මෙම ශ්‍රමිකයින්ව දේශපාලනික වාසි වෙනුවෙන් විවිධාකාරයේ ව්‍යාජ නම් ආරෝපණය කරමින් හඳුන්වා තම අරමුණු ඉටු කරගන්නා ආකාරයක් දක්නට ලැබේ. මෙය ඉතා ඛේදනීය තත්වයකි. මක් නිසාද ඉතා අසීරු කොන්දේසි යටතේ තම ප්‍රියයන්ගෙන් වෙන්ව ගොස් රැකියා කරන මෙම ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණික කර්මාන්තය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති නොවිඳී. සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ කම්කරු නීති සංශෝධනයක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින අතර මේ සඳහා විවිධ වෘත්තීය සමිති විසින් යෝජනා ඉදිරිපත් කර ඇත. ප්‍රොටෙක්ට් සංගමය (PROTECT Union) විසින් ද යෝජනා ඉදිරිපත් කර ඇති අතර එහිදී ගෘහ සේවකයින් සහ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කාන්තාවන් ප්‍රමුඛ කර ඇත. වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන කම්කරු නීති සංශෝධනය හරහා ගෘහ සේවකයන් සඳහා කම්කරු අයිතිවාසිකම් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කරමු. අයිතිවාසිකම් උදෙසා පෙළ ගැසෙමු! ජයග්‍රහණය තෙක් සටන් කරමු!

ප්‍රොටෙක්ට් සංගමය