වතු කම්කරුවන් ගේ ඇත්ත ප්‍රශ්නය රුපියල් 200කින් විසඳිය හැකි ද...? - Advocata ආයතනයේ ප්‍රධාන විධායක ධනනාත් ප්‍රනාන්දු
දැනට පවතින ජීවන වියදම තව වසරකින් 5%ක් වැඩි වන තත්ත්වයක් තුළ වතුකම්කරුවන් ගේ වැටුප දිනකට රුපියල් 1750ක (රජය මගින් ලබා දෙන රුපියල් 200 ද සමඟ) මට්ටමක එසවුව ද, එය ඔවුන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කරගැනීමට ප්‍රමාණවත් වන්නේ ද යන්න ගැටලු සහගත යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ වතු කම්කරුවන්ගේ වැටුපට රාජ්‍යයෙන් රුපියල් 200ක මුදලක් එකතු කිරීම සම්බන්ධයෙන් Advocata Plus YouTube නාලිකාව සමඟ කළ අදහස් දැක්විමක දී ය.
මෙම සාකච්ඡාව ඇසුරින් සම්පාදිත ලිපියක් පහත පළ වේ.
‘මේ දවස්වල හැම තැනම කතා වෙන්නේ වතු කම්කරුවන්ගේ වැටුප වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් මිලියන 5000 ගැන. වතුකම්කරුවන් වෙනුවෙන් රුපියල් 200ක වැටුප් වැඩිවීමක් ලබාදීම හෘද සාක්ෂියක් තියෙන කිසිම කෙනෙකුට විරුද්ධ විය නොහැකි දෙයක්. ඔවුන්ට දෛනිකව රුපියල් 200ක වැටුප් වැඩිවීමක් ලබාදීමට කවුරුත් කොහොමද විරුද්ධ වෙන්නේ ?. අපි දන්නවා වතුකම්කරුවෝ ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. ඔවුන්ගේ මූලික පහසුකම් ඉතාම අල්පයි. අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ඔවුන්ට ලැබෙන්නේ නැහැ. සනීපාරක්ෂක පහසුකම්වල විශාල ප්‍රශ්න තිබෙනවා. ලයිම් කාමර ඉන්නේ.
අන්ත දරිද්‍රතාව
වතු කම්කරුවන්ගේ දරුවන් සම්බන්ධයෙන් ගත් විට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙනවා. ලංකාවේ දරිද්‍රතාව අතින් ගත් විට ඔවුන් ඉතාම පහත තත්ත්වයක ඉන්නේ. ඔවුන්ට ලැබෙනවා කියලා කියන්නේ දවසකට රුපියල් 1350ක වාගේ වැටුපක්. ඒ වගේම ඔවුන් වැඩ කරන දවසකට තේ දළු කිලෝ 20ක් පමණ සමාගමට ලබාදිය යුතු බවට ඉලක්කයක් ලබාදී තිබෙනවා, ඊට වඩා වැඩිවෙන තේ දළු කිලෝවකට රුපියල් 50ක අමතර ගෙවීමක් ලැබෙන බව කියනවා.
නමුත් මේ සියල්ල එකතු කළත්, අපි හැමෝම දන්නවා ඔවුන්ට මාසිකව රුපියල් 30,000ක් උපයා ගන්නත් අසීරුයි කියලා. නමුත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව දරිද්‍රතා රේඛාවෙන් පහළට නොවැටී සිටීමට නම් එක් පුද්ගලයෙක් අවම වශයෙන් මාසිකව රුපියල් 17,000ක ආදායමක් ලබාගත යුතුයි. සාමාන්‍යයෙන් සිවු දෙනෙක් සිටින පවුලක මාසික ආදායම අවම වශයෙන් රුපියල් 70,000ක් පමණ විය යුතුයි. නමුත් වතු කම්කරුවෙකුගේ මාසික ආදායම ඒ අවම ආදායමෙන් අඩකටවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වතු කම්කුරුවෝ අන්ත දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව සිටිනවා.
ආණ්ඩුවෙන් මිලියන 5000ක්
මෙවැනි වාතාවරණයක් තුළ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුපට රුපියල් 200ක් එකතු කිරීමට ආණ්ඩුව රුපියල් මිලියන 5000ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම අදාළ සමාගම් ද වතු කම්කරු දෛනික වැටුප රුපියල් 200කින් වැඩි කරලා, වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට රජය 2026 අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
බැලූ බැල්මටම හෘද සාක්ෂියක් තිබෙන කිසිවෙකුට මේ යෝජනාවට විරුද්ධ වෙන්න බැහැ වගේම දත්ත සහ තොරුතුරු විශ්ලේෂණය කරමින් අපි මෙහි ඇත්ත ත්තත්වය වටහා ගත යුතුයි.
“ඇත්තටම මේ රුපියල් 200ක්, එහෙම නැතිනම් රුපියල් 400ක් වැඩි කිරීමෙන් වතු කම්කරුවන්ට සාධාරණයක් වෙනව ද?, ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යනවා ද ?, ඔවුන්ගේ දරුවන්ගේ ප්‍රශ්න, අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රශ්න ධනාත්මක ලෙස වෙනස් වෙයි ද ?. මේ වැඩි කරන රුපියල් 400 වතු කම්කරුවන්ගේ සියලු ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් ද ?, ප්‍රමාණවත් නැති නම් ඒක ප්‍රමාණවත් කළ යුත්තේ කවුද ?.
තර්ක පිට තර්ක
වතු කළමනාකරණය කරන වතු සමාගම් විශාල ලෙස ලාභ ලබන බවට තර්කයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් ලබන අති විශාල ලාභයෙන් කොටසක් වතු කම්කරුවන් වෙනුවෙන් යොදවලා, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කළ යුතු බවට එක් පැත්තකින් තර්කයක් තිබෙනවා. තවත් තර්කයක් තිබෙනවා, බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින් තමයි මේ වැටුප් වැඩි කිරීම කරන්න යන්නේ, ඒ නිසා බදු ගෙවන ජනතාවගේ සල්ලි මොකටද මේ ලාභ ලබන සමාගම්වලට දාන්නේ, ඒක ඔවුන්ගේ ලාභයෙන් කළ යුතුයි කියලා තර්කයක් තිබෙනවා. හාල් වලට, සීනි වලට බදු ගෙවන ජනතාව ඇයි මේ ලාභ ලබන සමාගම් වල නඩත්තුව සඳහා බදු මුදල් ගෙවන්නේ කියලා තවත් තර්කයක් තිබෙනවා.
ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන් ප්‍රශ්න කරන්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 200කින් වැඩි කරන්න රජය අයවැයෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 5000 ප්‍රමාණවත් ද ? කියලයි.
තවත් ප්‍රශ්නයක් තිබෙනවා, මේ දීමනාව ලබාදීම ක්‍රියාත්මක කරන්නේ කොහොම ද ? කියලා ඔවුන් ප්‍රශ්න කරනවා. ‘මේක වතු කම්කරුවන්ගේ අතට යයි ද?’ කියලා ඔවුන් නැවත ප්‍රශ්න කරනවා. මේ වැටුප් හදන්නේ අදාළ වතු සමාගම් නිසයි ඔවුන් මේ ප්‍රශ්නය ගේන්නේ. ඔවුන්ට අනුව අදාළ වතු සමාගම් වලට අවශ්‍ය නම් වංගුවක්’ ගහන්න පුළුවන් කියලා ඔවුන් කියනවා.
| Advocata ආයතනයේ ප්‍රධාන විධායක ධනනාත් ප්‍රනාන්දු
ලංකාවේ සාමාන්‍යයෙන් වතු කම්කරුවන් 100,000-125,000ක් පමණ ඉන්නවා කියලා ගණන් බලා තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව වෙන්කර තිබෙන රුපියල් මිලියන 5000 අදාළ සියලු වතු කම්කරුවන්ට ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් තර්ක කරන්නේ.
මේ වාගේ තර්ක ගණනාවක් තිබෙනවා. අපිට අනුව මේ සෑම තර්කයක්ම සාධාරණයි. ඒවාට පදනමක් තිබෙනවා. ඒත් අපි තාමත් මේ ප්‍රශ්නය දිහා බලන්නේ මතුපිටින්. නමුත් අපේ අවසාන ඉලක්කය විය යුත්තේ ‘කොහොමද මේ වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවන්නේ ?’ යන්නයි. එසේ නොවන්නේ නම්, අපි රුපියල් 1000ක් දුන්නත් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ ගියේ නැත්නම් ඒ දෙන මුදලෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.
අනෙක් අතට අමතක කරන්න එපා මේ අවස්ථාවේ ශ්‍රී ලංකා මහ බැංකුව උත්සාහා කරනවා උද්ධමනය 5%ක තියා ගන්න. ඒකේ තේරුම තමයි අවුරුද්දක් ගියාට පස්සේ දැනට තියෙන ජීවන වියදම දළ වශයෙන් 5%කින් ඉහළ යනවා කියන එක. අපි මුලින් කිව්වා වාගේ දැනට මාසයක් ජීවත් වෙන්න පවුලකට රුපියල් 70,000ක් අවශ්‍ය නම් තව අවුරුද්දකින් අමතර රුපියල් 3500ක් විතර වැඩි වෙනවා. ඒ කියන්නේ වතු කම්කරුවෙකුගේ වැටුප වැඩි වුණාට ඒකේ මූර්ත අගය අඩු වෙනවා.
අවසාන ඉලක්කයට කුමක් වෙයි ද ?
ඇත්තටම අපි රුපියල් 400කින් වතු කම්කරු වැටුප වැඩි කළාට අපේ අවසාන ඉලක්කය ඉටුකර ගන්න පුළුවන් වෙයි ද ?. මේ වතු කම්කරු ජනතාව දරිද්‍රතාවයෙන් ගොඩ ගන්න පුළුවන් වෙයි ද ?.
ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගන්න නම් අප සතු සම්පත් ප්‍රමාණය උපරිම කාර්යක්ෂතාවයෙන් මෙහෙය විය යුතුයි. එසේ සම්පත් නිසි කළමණාකාරීත්වයකින් භාවිතා කළොත් පමණයි ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගන්න පුළුවන් වෙන්නේ.
දත්ත අසුරින් ගුඹුරු තර්කයක්
මම ඉහත සඳහන් කළා වාගේ වතු කම්කරු වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් බොහෝ තර්ක ගොඩනැගුණේ මතුපිට අත ගාමින් පමණයි. මේක ගැඹුරින් සලකා බැලීමට නම් දත්ත ඇසුරින් මේ තත්ත්වය විග්‍රහ කළ යුතුයි.
සිලෝන් ටී කියලා කියන්නේ ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන ප්‍රධාන බෝගය කියලා අපි අමතක නොකළ යුතුයි. එසේ නම් ලංකාවට මෙපමණ විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන කර්මාන්තයක පසුබිමේ කතාව මේ තරම් අවලස්සන වුණේ කොහොමද ? කියලා සොයා බලන්න ආර්ථික විද්‍යාවට පුළුවන්.
කළමනාකරණය පුද්ගලික සමාගම්වලට
ශ්‍රී ලංකාවේ තේ වගාව සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම් එහි ඉතිහාසය ගැන යම් අවබෝධයක් ලබා ගත යුතුයි. අපි දන්නවා 1970 දශකය වෙද්දී මේ රටේ තේ වතු පුද්ලික අංශය සතුවයි තිබුණේ. නමුත් 1970 දී බලයට පත් වුණ රජය මේ තේ වතු 502ක් රජට පවරා ගත්තා. රජයට වතු පවරා ගන්නා අවස්ථාව වන විට වතුවලින් 32%ක් ලන්ඩන්වල ලියාපදිංචි කරන ලද සමාගම් සතු වුණ අතර ලන්ඩන් සහ කොළඹ ලියාපදිංචි කරන ලද සමාගම් 26%ක් පමණ තිබුණා. මේ සියලු සමාගම් රජයට පවරා ගත්තා.
මෙසේ පවරා ගත් වතු රජයේ ආයතන හරහා කළමනාකරණය කිරීමට රජය කාලයක් උත්සාහා කළා. 1990 ගණන් වන තෙක් රජයේ තේ වතු සමාගම් හරහා මේවා පාලනය වුණා. රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සමූපකාර හරහා රජය මේ තේ වතු පාලනය කළා.
නමුත් 1990 දශකය වන විට මේ තේ වතු පාලනයෙන් ඉවත් වීමට රජය තීරණය කළා. ඒකට හේතුව වුණේ මේ සමාගම් දිගින් දිගටම පාඩු ලැබීමයි. ඒ අනුව වතුවල අයිතිය රජය සතුව තියා ගෙන වතු කළමනාකරණය, පරිපාලනය පුද්ගලික අංශයේ වතු සමාගම් 24කට ලබා දුන්නා, වතු සමාගම් දෙකක් ආණ්ඩුව තියා ගත්තා. මතක තියා ගන්න, දුන්නේ වතු පරිපාලනය පමණයි, වත්තේ අයිතිය තවමත් තියෙන්නේ රජයට.
අන්න ඒ නිසා තමයි ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වේ ‘වතු හරියට කළමනාකරණය කළේ නැතිනම් අපි නැවත වතු රජයට පවර ගන්නවා’ කියලා. ඒ කියන්නේ මොකක්ද ?, තාම වත්තේ අයිතිය තියෙන්නේ රජයට. වතු සමාගම් 24 එක්ක තියෙන මේ 53අවුරුදු ලීස් ගිවිසුම දළ වශයෙන් අවසන් වෙන්නේ 2045 දී.
ප්‍රශස්ත කළමනාකරණය කාගේ ද ?
මේ පසුබිම තුළ තමයි නිවැරදි ආර්ථික කොටසට එන්නේ. ඇත්තටම මේ රුපියල් 200 වතු කම්කරුවන් සියලු දෙනාටම ලැබෙනවා ද ?. මේ වන විට සාකච්ඡාවට ලක්වෙන ප්‍රාදේශීය වතු සමාගම් තිබෙන්නේ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවල, නැතිනම් උඩරට කඳුකර ප්‍රදේශවල තමයි මේ වතු සමාගම් බහුතරයක් තියෙන්නේ.
ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයට මේ වතු සමාගම් කොපමණ ප්‍රතිශතයකින් දායක වෙනවාද ? යන්න සොයා බැලිය යුතුයි. මේ වතු සමාගම් සමස්ත ජාතික තේ නිෂ්පාදනයට දායකත්වය ලබා දෙන්නේ 26%ක් පමණයි. රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 74%කට දායකත්වය ලබා දෙන්නේ කුඩා තේ ඉඩම් හිමියන් විසින්. මේ 74%ක් කුඩා තේ වතු හිමියන්ට අයිති ඉඩම් ප්‍රමාණය සමස්ත තේ ඉඩම් ප්‍රමාණයෙන් 68%යි. ඒ කියන්නේ මේ කුඩා තේ වතු ඉඩම් හිමියෝ සමස්ත තේ ඉඩම් වලින් 68%ක් වගා කරලා ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 74%ක් ලබා දෙනවා. නමුත් ප්‍රාදේශීය තේ වතු සමාගම් තේ වගා කළ සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් 32%ක් වගා කරලා ජාතික තේ නිෂ්පාදනයට ලබා දෙන්නේ 26%ක දායකත්වයක් පමණයි. මෙහි අදහස කුමක් ද ?, කුඩා තේ ඉඩම් හිමියෝ තමයි වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස තේ වතු කළමනාකරණය කරන්නේ. ඒ කියන්නේ විශාල වතු සමාගම්වලට වඩා කුඩා ඉඩම් හිමියන්ගේ කාර්යක්ෂමතාව වැඩියි.
කුඩා තේ ඉඩම් හිමියෝ මේ ආකාරයෙන් කාර්යක්ෂම වීමට හේතුව කුමක් ද ?, ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි තේ ගස අවශ්‍ය ප්‍රමාණයක උසින් පවත්වා ගෙන යාම, අනෙක් කුඩා තේ ඉඩම් වල වගාව වැඩි වයසක නොතිබීම.
ලංකාවේ ප්‍රාදේශීය වතු සමාගම් සතු තේ වගාවන් අවුරුදු 50කට වඩා පැරණියි. ඒ නිසා එහි ඵලදායීතාව, අස්වැන්න අඩුයි. ඒ වගේම නැවත වගාව අවමයි. වතු සමාගම් නැවත වගාවට වැඩි උනන්දුවක් නොදක්වන්නේ ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවීම නිසයි. එසේම නැවත වගාවක අස්වැන්න නෙළා ගැනීමට වසර පහක් - හයක් වැනි කාලයක් ගත වීම නිසා ද වතු සමාගම් නැවත වගාවට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ.
2045 දී මොකද වෙන්නේ ?
වතු සමාගම් සමඟ බදු ගිවිසුම තිබෙන්නේ 2045 දක්වා පමණක් නිසා නැවත වගාවට යාමට වතු සමාගම් බියක් දක්වනවා. ඒක හේතුව තමයි නැවත වගාව කර තේ වතු යථා තත්ත්වයට පත්වන කාල සීමාව පැමිණෙන විට බදු ගිවිසුම අවසන් වීමට කාලය ළං වෙනවා. ඒ නිසා ඔවුන් නැවත වගාවට වැඩි කැමැත්තක් හෝ උනන්දුවක් දක්වන්නේ නැහැ.
ඒසේම 1990 සිට මේ වතු කළමනාකරණය කළ සමාගම් නැවත වගාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම ද ගැටලුවක් ලෙස සැලකිය හැකියි. කෙසේ වෙතත් වත්මන් වාතාවරණය තුළ වතු සමාගම් නැවත වගාවට කිසිම පියවරක් ගන්නේ නැහැ. මෙම හේතුව නිසා තමයි කුඩා තේ වතු හරහා ජාතික නිෂ්පාදනයෙන් 74%ක් ලැබෙන්නේ.
තේ නිෂ්පාදනට පසේ ස්වභාවය, දේශගුණික තත්ත්වය ආදි තවත් කරුණු ගණානවක් බලපෑම් කළත් ප්‍රධාන ගැටලුව ලෙස සලකන්න වෙන්නේ නැවත වගාවට නොයාමේ ගැටලුවයි. වතු සමාගම් නැවත වගාවට පස්ස ගැසීමයි.
දේපොළ අයිතිය
දේපොළක හිමිකාරීත්වය නැත්නම්, ණයක් ගැනීමට හැකියාවක් නැතිනම්, කෘෂිකර්මාන්තය කරන ආයතනයට හෝ ගොවියට ඒ ඉඩම් අයිතිය නැතිනම් කවදාවත් තාක්ෂණය ගොවිබිමට එන්නේ නැහැ. ඒ ගැටලුවම 24%ක් ජාතික තේ නිෂ්පාදනයට දායකත්වය ලබා දෙන ප්‍රාදේශීය වතු සමාගම්වලටත් අදාළයි. නැවත වගාවට යන අධික පිරිවැය, වියදම නිසා ඔවුන් නැවත වගාවට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අංශයම කාර්යක්ෂම වීමේ හා ඵලදායී වීමේ ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා.
මේ ගැටලුවේ බලපෑම අංශ කිහිපයට දැනිලා තිබෙනවා. තේ දළු නෙළන්නියන් දක්වාම මේ ගැටලුවේ බලපෑම විහිදිලා තිබෙනවා. නමුත් කාර්යක්ෂතාව මත මේක කරන්න පුළුවන්කම තිබුණා නම් ඔවුන්ට වැඩිපුර තේ දළු නෙළීමෙන් වැඩි පුර ආදායමක් ලබා ගන්න තිබුණා. නමුත් ඒ තත්ත්වය නිර්මාණය නොවෙන්න දේශපාලනයත් මේකත් එක්ක බද්ධ වෙලා තිබෙනවා. මොකද වතු සමාගම් සහ වතු වෘත්තීය සමිති ගිවිසුමක් ගහනවා. ඒ ගිවිසුවේ තියෙනවා පඩි වැඩි වෙන්නේ කොහොමද , ඒක කරන්නේ කොහොමද ? ආදි කාරණා. මේ ගිවිසුමත් එක්ක ඡන්ද පදනමත් තියා ගන්න අවශ්‍ය නිසා කවුරුත් මේ ඵලදායීතාවය පදනම් කරගත් ක්‍රමයකට යන්න සූදානම් නැහැ. නමුත් කවුද මේ සියලු දේවල් වලින් බැට කන්නේ ?. වතු කම්කරු ජනතාවයි.
ශ්‍රම ඵලදායීතාවය
කවුරුත් විශ්වාස නොකරන කරුණක් වන්නේ වතු කම්කරුවන්ගේ ශ්‍රම ඵලදායීතාවයයි. ලකාවේ දළු නෙළන්නියක් දිනකට තේ දළු කිලෝ 18ක් පමණ නෙළන අතර කෙන්යාව, වැනි අපේ තරඟකාරී රටවල එම අගය කිලෝ 45-60 අතර තිබෙන අතර ඉන්දියාවේ ඒ අගය කිලෝ 34-60 අතර පවතිනවා.
තේ දළු කිලෝ ග්‍රෑමයක් නිෂ්පාදනය වෙනුවන් වැය වන ශ්‍රම වියදම ඉහළම රටක ලෙස ලංකාව සැලකෙනවා. ලංකාවේ තේ කිලෝවක් නිෂ්පාදනය කිරීමට වැය වන සමස්ත වියදමෙන් 65-75%ත් අතර ප්‍රතිශතයක් ශ්‍රම වියදම ලෙස ගණනය කර තිබෙනවා. ලංකාවේ තරඟකරුවන් වන රටවල මෙම අගය 40-45% අතර ප්‍රතිශතයක තිබෙනවා.
මෙහි අදහස වන්නේ ලංකාවේ වතු කම්කරුවන්ට වැටුප් වැඩියි, ඵලදායීතාවය (නිෂ්පාදනය) අඩුයි යන්න නොවෙයි. කාර්යක්ෂමතාව කියලා කියන්නේ අඩු වැටුපක් ගන්නවා කියන එක නෙමෙයි. කාර්යක්ෂතාව කියලා කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි නිෂ්පාදනයක් ලබා ගන්නවා කියන එකටයි.
ලංකාව මුහුණ දෙන්න අභියෝගය වන්නේ තේ දළු නෙළීමට සිටින පිරිස සාපේක්ෂව අඩුවීමයි. නමුත් අපට තේ දළු නෙළන්න වැඩි ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඒවා නෙළන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි අපි ඔවුන්ට ගෙවන්නේ වැඩිපුර පැමිණීමට බැර තැබූ ගෙවීම් ක්‍රමයක් තුළයි. නමුත් අපි ඵලදායීතාවයට පත්තට දුන්නා නම්, අඩු ශ්‍රමිකයින් පිරිසකට වැඩි තේ දළු ප්‍රමාණයක් නෙළා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. වැඩි තේ දළු ප්‍රමාණයක් නෙළනවා කියන්නේ වැඩි ආදායමක් ඔවුන්ට ලැබෙනවා, වැඩි ආදායමක් ලැබෙනවා කියන්නේ ඒකකයකට යන මිල අඩු වෙනවා. ඒ නිසා අපට අපනයනය කිරීමේ හැකියාවත් වැඩි වෙනවා, ඒ වගේම වතු කම්කරුවන්ගේ ආදායමත් වැඩි වෙනවා.
තරඟකාරීත්වයේ අවාසිය
නමුත් අපේ වත්මන් දිරි දීමනා ක්‍රමය නිසා කාර්යක්ෂතාව අඩුවෙලා, අනෙක් පසින් ඔවුන්ගේ ආදායමත් අඩු වෙලා, ඒ වගේම අපේ තේ කර්මාන්තයෙත් ඵලදායීතාවයත් ඉතාම අඩුවෙලා. ඒ නිසා ලෝකේ අනෙක් රටවල් සමඟ ගත් විට තේ කිලෝ ග්‍රෑමයක් නිෂ්පාදනය කරන්න සාපේක්ෂව වැඩිම මිලක් වැයවන රටක් බවට ශ්‍රී ලංකාව පත්වලා තිබෙනවා.
නිසි ක්‍රමවේදයකට අනුව දිරි දීමනා ගෙවීමක් සිදු නොවන නිසා එහි අවසාන බලපෑම වතු කම්කරුවන් මත පැටවිලා තිබෙනවා. මේ තත්ත්වය යම් පමණකට හෝ වෙනස් වෙලා තිබෙන්නේ අපේ තේ නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයකට හිමිකම් කියන කුඩා තේ වතු හිමියන් නිසයි. ඒ වගේම තේ කාර්මාන්තය තුළ කාර්යක්ෂමතාව සලකා බැලිය යුත්තේ තේ වත්තෙන් නොවෙයි, තේ වත්තෙන් නෙළන දළු ටික තේ කුඩු බවට පත් වෙන්න ඒක ක්‍රියාවලියකට යොමු විය යුතුයි.
ප්‍රාදේශීය තේ වතු සමාගම්වලට ඔවුන්ට අයිති තේ කර්මාන්ත ශාලාවක් තිබෙනවා. ඔවුන්ගේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන්නේ වතු සමාගමට හිමි වතුවලින් ලැබෙන තේ දළු පමණයි. නමුත් කුඩා තේ වතු හිමියන් සම්බන්ධයෙන් ගත් විට තත්ත්වය සංකීර්ණයි. මෙවැනි කුඩා තේ වතු ගණනාවකින් රැස් කරන දළු වලින් තේ නිෂ්පාදනය කරන කර්මාන්ත හාලා ඔවුන්ට තිබෙනවා. ඒ නිසා ඒවායේ ඵලදායීතාවය වැඩි වෙලා තිබෙනවා.
අවසාන කතාව
අවසාන වශයෙන් වැරදි දිරි දීමනා ක්‍රමය නිසා නැවත වගාවක් සිදුවන්නේ නැහැ, එහි අවසාන බලපෑමත් වතු කම්කරුවන්ට විතැන් වෙනවා. ඒ වගේම වතු කම්කරුවන්ට ගෙවීම් කරන්නේ සේවය පැමිණීමේ පදනම මත සහ ඔවුන්ගේ දෛනික ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ පැමිණීමේ දීමනාව මත නිසා ඔවුන්ගේ කාර්යක්ෂතාව ඉහළ යන්නේ නැහැ. ඒ වගේම කාර්යක්ෂම ශ්‍රමිකයින් සේවයට ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ ආදායමත් අඩු වෙලා, සමස්ත තේ කර්මාන්තයේම කාර්යක්ෂමතාව අඩුවෙලා තිබෙනවා.
මේ පසුබිම මත තමයි වතු කම්කරුවන්ට මේ අවාසනාවන්ත තත්ත්වය උදා වෙලා තියෙන්‌නේ. ආර්ථික විද්‍යාව කියන කතාව තමයි මේ. මේක විවාදාත්මකයි. කාටවත්ම කියන්න හැකියාවක් නැහැ වතු කම්කරුවන්ට මේ රුපියල් 200 දීමනාව දෙන්න එපා කියලා. ඔවුන් ඉතාමත්ම අසරණ ජීවන තත්ත්වයක් ගත කරන්නේ. ඒ නිසා ‘සමාජ ආරක්ෂණ පද්ධතියක්’ ලෙස අපි ඔවුන්ව රැකගත යුතුයි. දුප්පත්ම ජනතාව රැක ගන්න ශක්මත් සමාජ ආරක්ෂණ පද්ධතියක් තිබිය යුතුයි.
මේ අයවැයෙන් වතුකම්කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 5000ක් දුන්නට පසුගිය 2025 අයවැයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙනුවෙන් රුපියල් මිලියන 20,000ක් දුන්නා. ඒ නිසා රජය ව්‍යාපාර කරන්න යන්නේ නතුව මේ වගේ දුප්පත් ජනතාව රැක ගන්න කිසියම් සමාජ ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒකට සල්ලි දාන්න බදු ගෙවන ජනතාවගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.
එසේම අමතක කරන්න එපා !, දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්නේ වතු කම්කරු ජනතාව පමණක්ම නෙමෙයි, ලෝක බැංකුව කියන ආකාරයට දරිද්‍රතා රේඛාවෙන් පහළ රටේ සමස්ත ජනතාවගෙන් 25%ක් ඉන්නවා.
රජය ව්‍යාපාර කරන්න ගිහින් ‘හොස්ස බිම ඇණ ගන්නේ නැතිව’ සමාජ ආරක්ෂණ පද්ධතිය හරහා මේ දරිද්‍රතාවෙන් පහළ ඉන්න ජනතාව රැක ගන්න අනිවාර්යයෙන්ම මුදල් ඔ්නෑ. ඒක ඉතාමත්ම වැදගත්. හැබැයි, දිරි දීමනා වැරදුණොත් අපි නැවත වරක් ‘හොස්ස බිම ඇණ ගන්නවා’.
සටහන - තුෂාල් විතානගේ

