BUDGET2026: ජනමාධ්‍ය පිළිබදව යෝජනා සහ එම යෝජනාවලින් මතුවන්නේ කුමක්ද?

BUDGET2026: ජනමාධ්‍ය පිළිබදව යෝජනා සහ එම යෝජනාවලින් මතුවන්නේ කුමක්ද?

පසුගිය නොවැම්බර් 07 වන දා, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 වසරට නියමිත අයැවය යෝජනා අඩංගු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ 2වන අයවැය ලෙස පැය 4කට වැඩි කාලයක්, පිටු 57කින් සමන්විත අයවැය කතාව ජනධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ තබන ලදි. ඉන්පසුව අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වන විට පැවැත්වෙන අතර, එය දින 6ක් පැවැත්වීමෙන් පසු ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද 2026 අයැවැය යෝජනාවලට අනුව ජනමාධ්‍යට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබද ගැඹුරින් සැළකිලිමත්වීම අතිශය වැදැගත් වනු ඇත. 2026 අයවැය යෝජනාවලට අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කල අයවැය කතාව සහ මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ ඇති එයට අදාළ තවත් ලේඛන 3ක් පිළිබද ගවේශනය කිරීමෙන් පසු ඔහු විසින් ඉදිරිපත් කර ඇති ප්‍රදාන යෝජනා පිළිබද විමසුමක් පහතින් දැක්වේ.

2026 අයවැය යෝජනාවලට අනුව,

🔴 රාජ්‍ය මාධ්‍ය ආයතන ශක්තිමත් කිරීම: ‘රාජ්‍ය මාධ්‍ය ආයතනවල පැවති වැරදි කළමනාකරණය නිසා පරිපාලනය බිඳවැටී කාර්ය මණ්ඩලයේ වැටුප් ගෙවීමට පවා අපහසු තත්ත්වයක් ඇති වී තිබුණු බවත්, මෙම ආයතන එදිනෙදා මෙහෙයුම් කටයුතු සඳහා රජය මත නිරන්තරයෙන් යැපෙන වාතාවරණයක් උදා වී තිබුණි’ මෙම ආයතන යථා තත්ත්වයට පත් වන තෙක් රජය සහයෝගය ලබා දිය යුතු බව අයවැය වාර්තාව විශ්වාස කරන අතර, ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල මෙහෙයුම් හා අත්‍යවශ්‍ය ප්‍රාග්ධන වියදම් සඳහා 2026 අයවැයෙන් රජයේ සහය ලබා දීමට කටයුතු කරන බව දක්වා ඇත.

🔴 ඩිජිටල්කරණය: රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Digitalization of Terrestrial Television Broadcasting Project – GoSL/JICA) සඳහා රුපියල් මිලියන 1,250 ක් වෙන් කර ඇත.

🔴 ජනමාධ්‍යවේදීන් සඳහා වන සෘජු ප්‍රතිපාදන-උසස් අධ්‍යාපන සහ තාක්ෂණික සහාය: නවීන තාක්ෂණයට සමගාමීව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන දියුණුවට ගැළපෙන පරිදි ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහාය ලබා දීම සඳහා, උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට සහ තාක්ෂණික ප්‍රවේශය සඳහා සහයක් ලබා දීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත. එසේම, ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන් සඳහා වන ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් පොලී සහනාධාරයක් ලබා දීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් කර ඇත.

එසේම, ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ ආයතන සඳහා ද අයවැය තුළ ප්‍රතිපාදන සහ සඳහන් කිරීම් ද දක්නට ලැබේ.

🔴 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය (Sri Lanka Press Council) අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අරමුදල් සපයන ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙස නම් කිරීමට යෝජනා කර ඇත. 2026 ඇස්තමේන්තුව අනුව ඒ සඳහා රුපියල් මිලියන 53 ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යොජනා කර ඇත.

🔴 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (Right to Information Commission) ද එවැනි ව්‍යවස්ථාපිත මණ්ඩලයක් වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 73 ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇත.

🔴 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව (Department of Government Information). රජයේ සංවර්ධන සහ විවිධ වැඩසටහන් ප්‍රචාරණය සඳහා රුපියල් මිලියන 35 ක් වෙන් කර ඇත.

🔴 නාට්‍ය හා රංග කලාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනය සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත

🔴 ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නව ආයතන පිහිටුවීම යටතේ, ජාතික මාධ්‍ය ආයතනයක් (National Institute of Media) ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 15 ක ප්‍රාග්ධන වියදමක් වෙන් කර ඇත.

🔴 ජනමාධ්‍යවේදීනට නිවාස – චීන ආධාර යටතේ ක්‍රියාත්මක වන නිවාස වැඩසටහනක් තුළින් ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන් සඳහා නිවාස ලබා දීමට කටයුතු කරන බවට ද අයවැය තුළ සදහන් කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා 2026 වසරේදී වෙන් කර ඇති සම්පූර්ණ මුදල (මුළු වියදම) රුපියල් මිලියන 555,000 ක් ලෙස දැක්වේ.

කෙසේ නමුත් ජාතික ජනබලවේගවේ ආණ්ඩුවේ 2026 අයවැය යෝජනා තුළින්, ජනමාධ්‍යවේදීන්ගේ, ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ කුසලතා වැඩිදියුණු කිරීම වැනි කටයුතු සදහා අයවැය තුළින් ආණ්ඩුව ‘පහසුකාරත්වය’ සැපයීමට යෝජනා කිරීම යහපත් තත්ත්වයකි. එසේම RTI කොමිසම සදහාද අයවැය තුළ ප්‍රතිපාදන වෙන් කිරීම හොද ප්‍රවණතාවයකි. එසේ වුවත් එවැනි දේවල් පෙරමුණේ තබා ගනිමින්, ජනමාධ්‍යවේදීන්ට නිවාස ලබා දීම වැනි ‘සංතෝසම්’ ලබා දීම පිළිබද දැඩි විවේචන ඉතිහාසයක් ලංකාවේ මාධ්‍ය සමාජය තුළ තිබේ. පැවති සියලු පාලකයින් විසින් ජනමාධ්‍ය සිය පාලනයට නතු කර ගැනීමට ගන්නා ලද නිර්ලජිජිත උත්සහයන් අතර ජනමාධ්‍යවේදීන්ට නිවාස ලබා දීම ප්‍රමුඛ කාරණයකි. එමගින් පාලකයින් උත්සහා ගනු ලැබූවේ කිසිදු බාහිර බලපෑමකින් තොරව විවේචනාත්මක ජනමාධ්‍යවේදයේ හඩ සිය යටතට ගැනීම හෝ පාලනය කීරිම මෙන්ම ජනමාධ්‍යවේදීන් විසින්ම තමන්ම පාලනය කර ගැනීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කිරීමය. දැන් ජාජබ ආණ්ඩුවේ මේ යෝජනාවත් එවැනි තත්ත්වයන්ගෙන් වෙනස් වන්නේ කොතැනින්ද? අනෙක් විශේෂ කරණු වන්නේ චීන ආධාර යටතේ මෙය ලබා දීමය. මාධ්‍ය නිදහස පිළිබද ගෝලීය දර්ශකයේ චීනය පසුවන්නේ රටවල් 180න් 178වන ස්ථානයේය. ජනමාධ්‍යවේදන් ඇතුලු සිය අදහස් පළ කළ විශාල ප්‍රමාණයක් සිරගත කර සිටින්නේ චීනයේය. චීනයේ මේ වන විට (2024 අවසන් වන විට) Committee to Protect Journalists – CPJ වාර්තා කළ පරිදි සිරගත කර සිටි මාධ්‍යවේදීන් ගණන 50 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සදහා ලබාගත හැකි තොරතුරුවල අනුව එම සංඛ්‍යාව එසේ වුවත් සිරගත කර ඇති මාධ්‍යවේදීන් ගණන ඊට වඩා වැඩි විය හැකි බව පර්යේෂකයින් පවසයි. (එය එසේ වන්නේ චීනය විසින් සිය තොරතුරු හෙළිදරව් කිරීමත්, හෙළිදරව්වීමට ඇති අවකාශත් ගැඹුරු පාලනයකට සහ මර්දනයකට ලක්කරමින් ඇති නිසාය.) එපමණක් නොවේ, ජනමාධ්‍යවේදීන් ඇතුලු පුරවැසියන් නිරන්තර අවේක්ෂනයට ලක්කරමින් මිනිස් නිදහස තර්ජනය ලක්කරමින් සිටින්නේ චීනය ය. එවන් ආණ්ඩුවක ප්‍රතිපාදනවලින් ජනමාධ්‍යවේදීන්ට නිවාස හෝ පහසුකම් ලබා දීම තුළින් ජාජබ ආණ්ඩුව ප්‍රක්ෂේපනය කරන්නේ චීනයේ ලක්ෂණය ශ්‍රී ලංකාව තුළ පැළ කිරීමට ද? – එපමණක් ද නොවේ, ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ජනමාධ්‍ය ක්ෂේත්‍රය ඇතුලු ක්ෂේත්‍ර කිහිපයකට අදාළව චීනය සමග අත්සන් කළ ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් කිසිවක් මේ දක්වා මහජනයාට විවෘත කර නැති බවත් අවධාරණය කළ යුතුය.

තත්ත්වයන් එසේ තිබිය දී ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ මුදල් වෙන් කර ඇති ආයතන 2කක් පිළිබදව වඩා සැළකිලිමත් වීම මාධ්‍ය නිදහස පිළිබද උනන්දුවක් දක්වන පුරවැසියන්ගේ අවධානයට ලක් විය යුතුය. ඉන් එක් ආයතන පොකුරක් වන්නේ ‘රාජ්‍ය මාධ්‍ය ආයතන’ සහ අනෙක් ආයතනය වන්නේ 1973 අංක 5 දරණ පනතින් පිහිටුවනු ලැබූ ‘ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය’ යි.

රාජ්‍ය මාධ්‍ය ආයතන

ජනාධිපතිවරයා විසින් ම රාජ්‍ය මාධ්‍ය ආයතන පිළිබදව ඇයවැය කතාවේදී සදහන් කර ඇති කරුණු මෙන්ම, විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන පවතින පාලනයේ හොරණැවක් නොවී, ස්වාධීනව, නිදහස්ව සිය මාධ්‍ය කටයුතු මහජන කේන්ද්‍රීයව පවත්වා ගෙන යන්නේ කසේ ද යන්න පිළිබද ශ්‍රී ලංකාවේ මාධ්‍ය සමාජය ඇතුලු සිවිල් සමාජය තුළ ඇතිවී ඇති සාකච්ඡාවට වසර ගණනාවක් ඉතිහාසයක් තිබේ. එහිදී විවිධ සාකච්ඡා, සංවාද, පර්යේෂන ඇතුළු විවෘත-විනිවිදභාවයකින් යුතු ක්‍රියාවලීන් තුළින් පැමිණ තිබූ අදහසක් වූයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන ‘මහජන සේවා මාධ්‍ය’ බවට පරිවර්තනය විය යුතු බවයි.

(මහජන සේවා මාධ්‍ය (Public Service Media) ලෙස සරලව වාණිජ සහ බලදේශපාලන අරමුණු වෙනුවට මහජන අවශ්‍යතා සපුරාලීම ප්‍රමුඛත්වයට තබමින් ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන ලෙස එක් අර්ථයකින් නම් කර ගත හැකිය. මෙම ආයතන රාජ්‍ය මුදල්, බලපත්‍ර ගාස්තු හෝ මහජන දායකත්වයෙන් පවත්වාගෙන යන අතර, දේශපාලන හා වාණිජ බලපෑම්වලින් ස්වාධීනව ක්‍රියාත්මක වීමට උත්සාහ කරයි. මෙම ආයතනවල ප්‍රධාන ලක්ෂණ අතර සමාජයේ විවිධ කොටස් වෙත ගුණාත්මක තොරතුරු, අධ්‍යාපනික සහ විනෝදාත්මක අන්තර්ගත ලබා දීම, ආණ්ඩුවේ සහ වාණිජ ආයතනවල සෘජු මැදිහත්වීම්වලින් මිදී ක්‍රියාත්මක වීම, සමාජයේ සියලු කොටස්, සංඛ්‍යවෙන් සුළුතරයන් සහ සංස්කෘතීන් නියෝජනය කිරීම, මෙන්ම මහජනයාට වගකීම් දරන විනිවිද-විවෘත භාවයෙන් යුතු ක්‍රියාකාරිත්වයක් පවත්වාගෙන යාම ද එයට ඇතුළත් වේ. මහජන සේවා මාධ්‍ය ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ශක්තිමත් කිරීම සඳහා ගුණාත්මක පුවත් සහ විශ්ලේෂණ ලබා දීම, දේශීය සංස්කෘතිය, කලාව සහ භාෂාවන් ප්‍රවර්ධනය කරමින් සියලු සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීම, විවිධත්වය පිළිගනිමින් සමාජයේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනික අන්තර්ගත නිර්මාණය කිරීම, මෙන්ම විවිධ ප්‍රජාවන් අතර සංවාදය සහ අවබෝධය ප්‍රවර්ධනය කරමින් කල්පවත්නා සාමය – නිදහස තහවුරු කිරීම වැනි ප්‍රධාන කාර්යයන් ඉටු කරයි. මෙය මේ වන විට වේගයෙන් දියුණු වෙමින් ඇති ඩිජිටල් ලෝකයේ තාක්ෂණික තත්ත්වයන් සමග ද ගලපා ගනිමින් දියණු ප්‍රවේශයක් තුළ ක්‍රියාත්මක කළ හැකිය.)

නමුත්, ශ්‍රී ලංකාවේ පසුගිය කාලය තුළ බලය තහවරු කරගත් අනෙකුත් සියලු ආණ්ඩු මෙන්ම ජාතික ජන බලවේග ආණ්ඩුවත්, මෙම සාකච්ඡාව සහ සංවාදය පිළිබද කිසිදු අදහසක් ඉදිරිපත් නොකරම සිය අයවැය ඉදිරිපත් කර තිබේ. ඒ අරුතින් රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිය, පැවති සියලු ආණ්ඩුවල ප්‍රතිපත්තියට සංකල්පීය වශයෙන් ජාජබ ආණ්ඩුවේ ප්‍රතිපතිතියෙහි ද කිසිදු වෙනසක් නැත.

පුවත්පත් මණ්ඩල පනත

1973 අංක 5 දරණ පනතින් පිහිටුවනු ලැබූ පුවත්පත් මණ්ඩල ය සම්බන්ධයෙන් මාධ්‍ය සමාජය, සංවිධාන, විද්වතුන් ඇතුලු බොහෝ පිරිස්වල දැඩිව විවේචනයට ලක් වූ ආයතනයකි. එම පුවත්පත් මණ්ඩලයට දැඩිව එල්ලවූ විවේචනවල අවසාන නිගමනය වූයේ පුවත්පත් මණ්ඩලය ආහෝසි කළ යුතුය යන්නය. එහි පීඩනය කොතෙක් ද යත්, ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රකාශ කරන ලද්දේ තමන් බලයට පත් වී ශ්‍රී ලංකා පුවත්පත් මන්ඩලය අහෝසි කරන බවය. කෙසේ නමුත්, අහෝසිකිරිම වෙනුවට ඔවුන් සිදුකලේ එම මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත්කරමින්, අහෝසිකිරීමේ පාඨය වෙනුවට සක්‍රීය කිරීමය. දැන්, එතැනින් නොනැවතුනු ආණ්ඩුව ඔවුන්ගේ 2026 අයවැය තුළින් පුවත් පත් මණ්ඩලය සදහා රුපියල් මිලියන 53ක් වෙන් කරමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්තියේ තරම ලොව හමුවේ ප්‍රදර්ශනය කරමින් ඇත.

duminda sampath

ජාතික ජන බලවේග ආණ්ඩුවේ 2026 ඇයවැය තුළ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගෙන ඇති යෝජනා පිළිබදව, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, දුමින්ද සම්පත් ගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, ජාතික ජනබලවේග ආණ්ඩුවේ ප්‍රබලයන් මෙන්ම, ජනාධිපතිවරයාද බලය ලබාගන්නට පෙර රාජ්‍යමාධ්‍යය සම්බන්ධයෙන් දැරුවේ වෙනස් මතයකි. එය රජයේ හොරනෑවක් කර ගන්නවා වෙනුවට රජයේ හිමිකාරිත්වයෙන් නිදහස්කර ස්වාධීන ආයතන බවට පත්කළ යුතු බව ඔවුන් පුන පුනා කීවේය. එහෙත් මෙවර අය වැය තුළින් කඩා වැටෙන්නට යන රාජජ්‍ය මාධ්‍යය ආයතන වෙත මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමෙන් පෙනී යන්නේ මේ ආණ්ඩුව යටතේද රාජ්‍ය මාධ්‍යය නිදහස් නොවන බවකි. පෙර ආණ්ඩු ගිය පාරේම රජය සතු මාධ්‍යය ගමන් කරවීම මොවුන්ගේද එකම බලාපොරොත්තුව බව පැහැදිලිය.

කෙසේ වුවද ජනමාධ්‍යය සමාජය මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූයේ රජය සතු මාධ්‍යය මහජන සේවා ජනමාධ්‍යය ආයතන බවට පත්කර ගැනීමය.

එමෙන්ම ජනමාධ්‍යවේදීන් දඩුකඳේ ගසන්නට නීතිමය බලයක් සහිත පුවත්පත් මණ්ඩලය බොහෝ කලක සිට අක්‍රීය මට්ටමක තිබුණි. එය නැවත සක්‍රීය කරන්නට මුදල් වෙන් කිරීමද ප්‍රශ්නකාරීය. මේ පිළිබඳව ජනමාධ්‍යය සමාජය සමඟ කිසිඳු කතිකාවක්වත් නොතිබුණු පරිසරයක එම ආයතනයට මුදල් වෙන් කිරීම පිළිබඳව ජනමාධ්‍යය සමාජය කල්පනාකාරී වි⁣ය යුතුය.

ජනමාධ්‍යවේදීන්ට චීන නිවාස ලබාදීම පිළිඳවද අය වැය කතාවේදී ජනාධිපතිවරයා සදහන් කළේය. එවැනි දේ ජනමාධ්‍යවේදීන්ට දීම අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටියදී දුටුවේ අල්ලස් දීමක් ලෙසය. එසේ සිටි අනුර කුමාර දිසානායක ගේ මේ වෙනස්කමද ජනමාධ්‍යය සමජය හරි හැටි පරිස්සමින් කියවා ගතයුතුවේ.

⁣මේ ආණ්ඩුවද පෙර ආණ්ඩු මෙන්ම තමන්ට අවනත මාධ්‍යවේදීන් පිරිසක් සඳහා විවිද සන්තෝසම් දීමට අවශ්‍ය පරිදී පරිසරය සකසා ගනිමින් සිටින බවක් පෙනෙන්නට ඇත. ආණ්ඩුව කළ යුතුව ඇත්තේ පොදුවේ මාධ්‍යය සමාජයම නැඟිටුවාලිය හැකි පුළුල් වැඩපිළිවෙලක් සදහා සියලුදෙනා සමඟ පුළුල් කතිකාවකට යාමය. එහිදී යහපත් මාධ්‍යයක් ගොඩ නැඟීමට ආණ්ඩු පාර්ශවයෙන් කළ හැකි කොටස හඳුනාගත හැකිවනු ඇත.

එසේ නොමැතිව තමන්ට කැමති අයට පමණක් ගෙවල් හා වෙනත් දේ දීමට සූදානම් නොවිය යුතුය.

Sampath samarakoon

| සම්පත් සමරකෝන් | Sampath Samarakoon

(මෙම ලිපිය සකස් කිරීමේ දී, 2026 අයවැය කතාව ඇතුලු මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ ඇති අදාළ ලේඛනවල දත්ත විශ්ලේශනය කිරීම සදහා NotebookLM භාවිතයට ගෙන ඇත.)

(vikalpa.org)