“අසිරිමත් රාජ්‍ය සේවය“ ගොඩනැගීමට නම් “පාලනයෙන්, පරිපාලනයට“ (පළමුවෙනි කොටස) - අමරජිත් ගාල්ලගේ

reform-civil-service

රටේ බලය අලුත් බලවේගයක් අතට පත්වී ඇත. සිදුවෙමින් පවතින සියල්ල දෙස විවේකයෙන් බලනවිට 2024 ඔක්තෝබර් මස සිදුවුයේ හුදු එක් පක්ෂයකින් තවත් පක්ෂයකට බලය මාරුවීමක් නොව, රට වෙනත් දිශාවකට ගෙනයන නව ප්‍රවාහයක් ඇතිවීම බව පැහැදිලිය. මෙවන් දේශපාලන පෙරලියක්වූ විට අලුතින් බලයට පත්වන බලවේගයක් මුහුණදෙන ප්‍රධානම ගැටළුව වන්නේ, මුදුණේ නව දැක්මක් ඇති පිරිසක් බලය අල්වා ගත්තත්, ඒ අනුව ඇතිවිය යුතු වෙනස්කම් බිමෙහි ඇති කිරීමට සුදානම් නිලධාරි පැලැන්තියක් බිම් මට්ටමේ නැතිවීමයි. මේ ගැටළුව අලුතින් නිදහස ලැබූ රටවල, විප්ලවයකින් බලය වෙනස්වූ රටවල, මන්දගාමීව තිබු ආර්ථිකයන් සීග්‍රයෙන් දියුණු කිරීමට උත්සාහ ගත් රටවල, බොහෝවිට දක්නට ලැබුණකි.

මෙවන් පෙරළියකින් පසුව මේ ගැටලුව හරිහැටි හඳුනාගෙන, එයට සාර්ථකව මුහුණදී එය කළමනාකරණය කරගත් රටවල නව පාලනය මනාව ස්ථාපිත විය. මේ ගැටලුව හඳුනානොගත් රටවල බොහෝවිට ඉතා කෙටි කලකින් නව පාලනය බිඳවැටී, නැවත පරණ බලවේගයන් බලයට පැමිණියේය. එසේ නැතහොත් නව පාලනය හා පැරණි පරිපාලනය අතර ගැටුම උග්‍රවී මුළු රටම මහා වියවුලකට ගියේය.

පාලනය හා පරිපාලනය එකමද?

අද ලංකාව වැටී තිබෙන සෝචනීය තත්ත්වයට එක් වැදගත් හේතුවක් වන්නේ පාලකයා හා පරිපාලකයා අතර ඇති වෙනස හරිහැටි හඳුනානොගැනීමයි. රටක පාලකයා හෝ පාලක මඩුල්ල කරනු ලැබිය යුත්තේ තමන් විශ්වාස කරන, තමන්ට බලය ලබාදුන් ජනතාව ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමයි. පරිපාලකයන් විසින් කලයුත්තේ ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල්, ක්‍රියාමාර්ග යොදා ඒවා ක්‍රියාත්මක කිරීමයි.  

පරිපාලනය නිසි ලෙස සිදුනොවෙන විට පාලකයා පරිපාලනයට ඍජුව අත පෙවීම ඒ ප්‍රශ්නයට විසඳුම නොවේ. ආයතන වලට කඩා පැනීම, නිලධාරීන්ට ගෝරනාඩු කිරීම, සිදු කලයුතුදේ ප්‍රසිද්ධයේ පැවසීම වැනි ක්‍රියාවලින් පිළිබිඹුවන්නේ පරිපාලනය දුර්වල නිසා පාලකයා පරිපාලනයට ඍජුව අත පෙවීමයි. මෙය කිසිසේත් සාර්ථක නොවන්නේ කිසිදු පාලකයෙකුට  තමන් යටතේ ඇති ආයතනවල එදිනෙදා පරිපාලනය කටයුතු කිරීමට අවශ්‍ය කාලය නොතිබීමයි. අවසානයේදී මේ නිසා රටේ මුළු පාලන හා පරිපාලන ක්‍රියාවලියම බිඳ වැටේ.

ලංකාවේ බොහෝ ආයතන තුලද මේ පාලනය හා පරිපාලනය අතර වෙනස හඳුනා නොගැනීමේ අර්බුදය බෙහෙවින් පෙනේ. යම් ආයතනයක සභාපති හා අධ්‍යක්ෂක මඩුල්ල එහි දිශාව පිලිබඳ තීරණ ගනු ලබන පාලක මණ්ඩලයයි. පරිපාලකයන් සිටිය යුත්තේ මේ තීරණ ක්‍රියාත්මක කිරීමටයි. අද ලංකාවේ රාජ්‍ය ආයතනවල ප්‍රධාන පරිපාලකයා වී ඇත්තේ සභාපති හෝ අධ්‍යක්ෂක මඩුල්ලේ සාමාජිකයෙකු හෝ කිහිපදෙනෙකුය. ඔවුන්  ප්‍රධාන තීරණ ගැනීම වෙනුවට එදිනෙදා සිල්ලර වැඩ කිරීමට පෙලඹෙයි. මෙය මුලු පරිපාලන ක්‍රියාවලියම අවුල් කරයි. එසේම ආයතන තුල සභාපති හා  අධ්‍යක්ෂක මඩුල්ලේ පිලිගැනීම හෑල්ලු කරයි.

හොඳ පරිපාලකයන් නැත්තේ ඇයි?

මේ සියල්ලට හේතුව ලංකාවේ හොඳ පරිපාලකයන් නොමැතිවීම යැයි යමෙක් පැවසිය හැකිය. දිගු කලක් තිස්සේ එකම ආකාරයේ පාලක පැලැන්තියක්  හා පාලන ක්‍රමයක් රටක පැවතුනු විට සිදුවන්නේ ඒ පාලක පැලැන්තියට හා පාලන ක්‍රමයකට හුරුවූ පරිපාලකයන් රැසක් එහි බිහිවීමයි. එසේම පරිපාලනයේ ගුණාත්මක බව වැඩි දියුණු නොකර පරිපාලකයන් ස්වාධීනව රටේ දියුණුවට වැඩ නොකරණ, තමන්ට සුචච කීකරු අය ලෙස තබාගැනීමේ දේශපාලන සංස්කෘතිය,මේ තත්ත්වය තවත් උග්‍ර කරයි. දූෂණය, නාස්තිය තමන්ගේ සුඛ විහරණයට යොදාගන්නා දේශපාලඥයන් කාර්‍යක්ෂම, තනිව තීරණ ගන්නා පරිපාලකයන්ට කිසිසේත් කැමති නැත. බොහෝ පරිපාලකයන්ද මේ දේශපාඥයන්ට අනුගතවී දූෂණය හා නාස්තිය තමන්ගේ ජීවන රටාව කරගනී.

මෙවැනි ක්‍රමයකට පූරුදුවූ පරිපාලකයන් නව පාලක පැලැන්තියක්  හා පාලන ක්‍රමයක් රටේ බිහිවූ විට තිගැස්සීමකට පත්වේ. ඔවුන්ගෙන් සුළු පිරිසක් නව පාලන ක්‍රමයට අනුව හැඩගැසීමට උත්සාහ කරයි. එහෙත් අති මහත් බහුතරයක් පැරණි ක්‍රමයටම වැඩ කිරීමට පෙළඹෙයි. ඇතැම්විට ඔවුන් එසේ කරන්නේ තමන් වෙනත් ක්‍රමයක් හෝ වෙනත් අදහසක් නොදත් නිසාය. ඇතැම් විට ඔවුන් තමන්ට පුරුදු මන්දගාමී, දූෂණය හා නාස්තිය මුල්කොට ගත් වැඩ රටාව වෙනස් කිරීමට අකමැති නිසාය. ඉන් සුළු පිරිසක් තමන්ගේ පෙර ස්වාමීන් ගැන සිහින මවමින් ඔවුන් නැවත බලයට පත්වන තෙක් දින ගනිමින් සිටී. 

මේ අතරතුර බලයෙන් පහවූ පාලකයන් විවිධ අයුරින් තමන් ඉක්මනින් නැවත බලයට එන්නේ යැයි පවසමින්, මේ පරිපාලකයන් බියවද්දවමින් නව පාලනයේ තීරණ ක්‍රියාත්මක කිරීම වලක්වයි. 2014 මහින්ද රාජපක්ෂ බලයෙන් පහවූ දිනයේ සිටම මෙවන් බියවැද්දීම් සිදුවූ අතර, මේ නිසා යහපාලන රජය මුලසිටම කිසිදු තීරණයක් ක්‍රියාත්මක කල නොහැකිව අසරණ විය. ඒ අඳුරු බලවේග දැන්ද දිවා රෑ නොබලා ජනතාව ඉදිරිපිට නොව, මයික් ඉදිරිපිට මේ රජයට ආයුෂ නැත්තේ යැයි පවසන්නේ, පරිපාලකයන් බියවද්දා මේ රජයේ ගමන අඩාල කිරීමට මිස බලය ඇල්ලීමට නොවේ.  රටේ දිශාව වෙනස් කිරීමේ අදහසක් ඇතිව බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ මැති ඇමතිවරුන්ට වූයේ, නිසි දේශපාලන මතයක් නොතිබීම නිසා පැවතුනු පරිපාලනයටම අනුගතවී 1977 සිට ගිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමටයි.

අන් රටවල උදාහරණ

මෙවන් ගැටළුවකට මුහුණදෙන නව පාලනයක් කලයුත්තේ ඉතිහාසයේ මෙවන් දේශපාලන පෙරලි ඇතිවූ විට ඒවාට සාර්ථක ලෙස මුහුණදුන් නව රජයන් ක්‍රියාකළේ කෙසේදැයි සොයා බැලීමයි.ඉන්පසු අද ලංකාවේ පරිපාලනය පවතින තත්වය දෙස ප්‍රායෝගිකව සොයා, එය වෙනස්කොට රට ඉදිරියට ගෙන යාමට කෙටිකාලීන හා දිගුකාලීන  විසඳුම් මොනවාදැයි සොයා බැලීමයි.

1917 දී සියවස් ගනනක් පැවති සාර් රාජපාලනය බිඳවැටී ලෙනින්ගේ නායකත්වයෙන් රුසියාවේ කොමියුනිස්ට් පාලනයක් ඇතිවිය. බලයට පැමිණි, අතිශයෙන් මධ්‍යගත ලෙස සංවිධානයවී තිබුණු බොල්ෂවික් පක්ෂයේ විප්ලවයක් කිරීමට මිස, රටක් පාලනය කිරීමට හැකි පරිපාලකයන් සාමාජිකයන් ලෙස සිටියේ නැත. රටේ සිටි පරිපාලකයෝ පෙරළුණු සාර් පාලනයේ ගැත්තෝ වුහ. අලුතින් බලයට පැමිණි බෝල්ෂවික් පක්ෂයද, පරිපාලකයන්ද එකිනෙකා සැකකළ අතර, 1920 වනවිට මේ පිරිස නොමැතිව රට පාලනය කල නොහැකි බව නව රජයට වැටහිණි. තම දේශපාලන දර්ශනයට එකඟ නොවුවත් නව ප්‍රතිපත්ති වලට අනුගතව වැඩ කිරීමට සුදානම් පිරිසගෙන් පරිපාලනය කිරීමට බෝල්ෂවික් පක්ෂයට අවසානයේදී සිදුවිය.

“නිදහස සඳහා දිගු ගමන” පොතෙහි සටන්කාමීන්ගෙන් සමන්විත තම අප්‍රිකානු කොංග්‍රසයට නිදහස් දකුණු අප්‍රිකාව කළමනාකරණය කරගත හැකි පරිපාලකයන් නොමැති බව නෙල්සන් මැන්ඩෙලා පවසයි. එනිසා ඔහු කලේ යම් ප්‍රමාණයකට පෙර පැවති සුදු පාලනයේ නිලධාරීන්ම පරිපාලනය සඳහා යොදා ගැනීමයි.

චීනයේ පැවතියේ වෙනස්ම තත්ත්වයකි. චීනයේ ලෝකයේ පැරණිතම හා කාර්යක්ෂම ලෙස සැලකෙන "මැන්ඩරින්" වරුන් නමින් හැඳින්වෙන පරිපාලකයන් ගෙන් සමන්විත දැවැන්ත පරිපාලනයක් පැවතිණි. වසර දහසකටත් පෙර සිට මේ සේවයට බඳවා ගත්තේ තරඟ විභාගයකින් මිස පිය උරුමයෙන් නොවේ. මේ පරිපාලනය කොන්ෆියුසියානු මූලධර්ම මත පදනම් විය. වසර දහස් ගණනක සිට චීනය ලෝකයේ ප්‍රධානතම නිෂ්පාදකයා විය. චීනයේ විවිධ රාජවංශ බලයට පැමිණියත් මේ  "මැන්ඩරින්" පරිපාලනය වෙනස් වූයේ නැත. ඕනෑම ආණ්ඩුවක තීරණ ක්‍රියාත්මක කිරීමට මොවුන් සැදී පැහැදී සිටි අතර රාජාණ්ඩු දුර්වල නම් පරිපාලනය දුර්වල වූ අතර, එය බලවත්වුයේ නම් පරිපාලනයද බලවත්විය.

සබැඳි පුවත්

1947 දී බලයට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයට වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති මේ ක්‍රමය වෙනස්කල නොහැකිවූ අතර, එම ක්‍රමයටම නව දේශපාලන දර්ශනය පෙවීම පමණක් කළහැකි විය. 1967 දී මේ පැරණි ක්‍රමය හා අලුත් දර්ශනය අතර තිබු ගැටුම මාවෝ-සේතුංගේ සංස්කෘතික විප්ලවයේ වැදගත් අංගයක් ලෙස කරලියට පැමිණියේය.  මාවෝ- සේතුං එහිදී උත්සාහකලේ පැරණි මැන්ඩරින් ක්‍රමයේ පරිපාලනය වෙනුවට කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් මත පදනම්වූ පරිපාලනයක් ගෙන එමටයි. මෙය චීනය තුල මහා වියවුලක් ඇති කළේය.කෙටිකාලීනව මාවෝ-සේතුං දිනුවත්, දිගුකාලීනව ඔහු පරාජයට පත්විය.

මාවෝ- සේතුං මියගොස් ටිකකලකට පසුව බලය අල්ලාගත් සංස්කෘතික විප්ලවයේදී ප්‍රතිගාමියෙකු ලෙස හැඳින්වූ ඩෙන්- සියාඕ- පිං ඊට වඩා ප්‍රයෝගිකයෙකු විය. ඔහු කලේ චීන කොමියුනිස්ට් පක්ෂය  වැඩි දියුණුකරන අතර පරිපාලනය කොන්ෆියුසියානු මුලධර්ම මත පැරණි මැන්ඩරින් ක්‍රමයට ගොඩ නැගීමයි. පක්ෂය හා පරිපාලනය අතර  පවතින සමතුලිතභාවය නව චීනයේ දියුණුවේ රහසයි. අදටත් චීනයේ ඉපැරණි දැඩි පරිපාලන ක්‍රමය නව ආර්ථික හා දේශපාලන වෙනස්කම් වලට අනුගතවෙමින් වෙනත් නම්වලින් පවතියි.

කම්පුචියාව නව කොමියුනිස්ට්වාදී රජයක් බලයට පැමිණි පසු පැරණි පරිපාලනය මුලුමනින්ම වෙනස් කලේය. අවසානයේදී මේ කොමියුනිස්ට්වාදීන් රට ලේ විලක් කොට  බලයෙන් පහවීය.

මේ උදාහරණවලින් උගත යුතු පාඩම වන්නේ නව පාලනය සඳහා තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැමතිවන්නේ නම්, තම පක්ෂයේ දේශපාලන මතයට එකඟ නොවුනත්, දක්ෂ පරිපාලකයන් නොබියව සේවයේ යෙදවීමට අලුත් ආණ්ඩුවක් සූදානම් විය යුතු බවයි. ඒ පරිපාලකයන්ට අවශ්‍ය උපදෙස්දීම හා ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම පාලකයන්ගේ කාර්‍යභාරයයි.

ලංකාවේ පරිපාලකයන් හොඳද

අද ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවයේ 1800 ක පමණ නිලධාරීන් පිරිසක් සිටිති. ශ්‍රී ලාංකික බහුතරයකගේ මතය වනුයේ රාජ්‍ය පරිපාලන සේවාවේ නියුතුවන්නන් අදක්ෂයන් බවයි.රටේ ජනතාව මෙසේ සිතන්නේ ඔවුන් රාජ්‍ය ආයතන වලින් සේවාවන් ඉටුකරගැනීමට ගියවිට ඔවුන්ට අත්විඳින්නට ලැබෙන බොහෝ අත්දැකීම් සුබදායක නොවන නිසාය. මෙයට එකම හේතුව පරිපාලකයන්ගේ අදක්ෂකම පමණක් නොවේ. බොහෝවිට මේ රාජ්‍ය ආයතනවල පවත්නා ක්‍රමවේදයන්ගේද ආචීර්ණබවක් හා අකාර්යක්ෂමබවක් ඇත. මේ බොහෝ ක්‍රමවේදයන් නිදහසින් පසු නවීකරණය වී නැත. බොහෝවිට වත්මන් පරිපාලකයන්ට ඒවා නවීකරණය කිරීමේ වුවමනාව හෝ දැනුම හෝ හැකියාවද නැත. නිදහසට පෙර පැවති ක්‍රමවේදයන් නවීකරණය කිරීම අත්‍යවශ්‍ය වුවත්, ඒ පැරණි ක්‍රමයේද යහපත් අංග තිබිණි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉතිහාසය

අද පවතින ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවය 1972 දක්වා පැවතුනේ සේවාවන් දෙකක් ලෙසය. එනම් සිලෝන් සිවිල් සර්විස් (ලංකා සිවිල් සේවය ) හා ඩී.ආර්.ඕ. සර්විස් (දේශීය ආදායම් නිලධාරී සේවය) ලෙසය. 1972 දී ලංකාව ජනරජයක් බවට පත්වූ පසුව මේ සේවාවන් දෙක එක්කොට ශ්‍රී ලංකා පරිපාලන සේවය පිහිටුවන ලදී. මේ සමඟම අද පවත්නා රාජ්‍ය පරිපාලන සේවයේ ගැටළු රැසක්ද ආරම්භ විය.

1972 ට පෙර ලංකා සිවිල් සේවයට බැඳීම සඳහා විශ්ව විද්‍යාලයකින් පළමු පෙලේ සාමාර්ථයක් හෝ ඉහල දෙවැනි පෙල සාමාර්ථයක් ලබා ගැනීම අත්‍යවශ්‍යම මූලික සුදුසුකම විය. ඉන්පසුව මේ සේවාවට ඇතුළුවීමට කැමති අයට ඉතා ඉහල මට්ටමේ සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දීමට සිදුවිය.මෙයින් සමත්වූවන් ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණයකට මුහුණදුණි.  මේ සියලු බාධකයන්ගෙන් එතෙරවුවන්ගෙන් ලංකා සිවිල් සේවයට බඳවා ගනු ලැබුවේ වසරකට 10 දෙනෙකුට අඩු ප්‍රමාණයකි. පරිපාලනයේ උප දිසාපති තනතුරකට නොඅඩු මට්ටමකින් රජයට බැඳුනු මොවුන්ට වයස 27 ක පමණ උපරිම වයස් සීමාවක් තිබිණි. එකල මෙවැන්නන් "පෙරාපු රත්රන් මොළ" ලෙස හැඳින්වුණු අතර, මේ බොහෝ අය කාර්යශුරත්වය අතින් ඉතා ඉහල මට්ටමේ සිටි බව බොහෝ දෙනාගේ පිළිගැනීම විය. මොවුන්ට තිබූ සමාජ පිලිගැනීම හා වැටුප් මට්ටම ඉතා ඉහල විය. එකල සමාජයේ ඉහලම පිලිගැනීම තිබූ රැකියාව මෙය විය. මෙසේ සිවිල් සේවාවට බැඳුනවුන් බොහෝ දෙනෙක් අද ජිවතුන් අතර නොමැතිමුත්, අද දින පවා දන්නා කේ. එච්. ජේ විජයදාස (අග්‍රාමාත්‍ය හා ජනාධිපති ලේකම්), බ්‍රැඩ්මන් වීරකෝන්(අග්‍රාමාත්‍ය ලේකම්), කේ.පාස්කරලිංගම් (මුදල් අමාත්‍යංශයේ ලේකම්), සරත් අමුණුගම (හිටපු ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් හා අමාත්‍ය ) මෙවැන්නන් කිහිපදෙනෙකි.

මේ සිවිල් සේවාව නැතිකිරීමට එක් හේතුවක් වුයේ එය ප්‍රතිගාමීන්ගේ කඳවුරක් බවට 70 දී පැවති රජයේ මතයයි. එසේ නමුත් මින්නේරි දෙවියෝ ලෙස අදටත් පවසන එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ දකුණු අත බඳුවූ සී.පී ද සිල්වා, 1956 ජයග්‍රහණයේ බලකණුවක්වූ, ඒ බල පෙරළියෙන් පසු පරිපාලන වෙනස්කම් ඇතිකළ එන්.කිවූ. ඩයස් සිවිල් සේවාවේ සාමාජිකයෝ වුහ. 1970 දශකය දක්වා මාක්ස්වාදීන්වූ දක්ෂ, මුදල් ඇමතිවරයෙකු බවට අවිවාදිත රොනී ද මෙල්ද, අධ්‍යාපන ඇමතිවරයෙකු වූ නිශ්ශංක විජේරත්නද මේ පිරිසට අයිති වේ.

මේ අතර ඩී. ආර්. ඕ. වරුන් ලෙස බඳවා ගත්තේ විශ්වවිද්‍යාල වලින් සාමාන්‍ය සාමාර්ථ ලබාගත් අයයි. මේ අයට උප දිසාපති තනතුරක් ලබා ගැනීමට අවම වශයෙන් අවුරුදු 10 ක් සේවය කලයුතුවිය. මේ සේවාවන් දෙකට බැඳුනු විශ්ව විද්‍යාලයේ කාමර සගයන් දෙදෙනෙකු පිළිබඳ අපූරු කෙටි කතාවක් මීට බොහෝ කලකට පෙර ගුණදාස අමරසේකර මහතා ලිවීය.  

ලංකා සිවිල් සේවය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් අපට ලැබුණු උරුමයක් නිසා එය නැති කළයුතුයැයි මතයක් ජනරජය පිහිටවූ අලුත ඇතිවිය. ඒ සමඟම 70 දශකයේ  "සමාජවාදී හා ප්‍රගතිශීලි"  පියවරක් ලෙස උපාධියක් නැතිවූවත් රාජ්‍ය සේවයේ වසර දහයක් සේවය කලපසු රාජ්‍ය පරිපාලන සේවා විභාගයට පෙනී සිටීමේ අයිතියද ලබාදෙන ලදී. ඉන්පසුව මේ සියල්ලන් රාජ්‍ය පරිපාලන සේවා විභාගය නම් එක් විභාගයකට මුහුණ දෙන්නන්ගෙන් තෝරාගැනීමකින් සිදුවිය. මේ වෙනසින් අනතුරුව පරිපාලන සේවයට ඇතුළුවූ සියල්ලන් අකාර්යක්ෂම යැයි පැවසිය නොහැකි වුවත්, පරිපාලන සේවයේ “පෙරාපු රත්රන්” ඉන්පසුව වෙන්ව හඳුනාගත නොහැකි විය.

එසේම මහා පරිමාණයේ බඳවාගැනීම් වලදී සැමවිට සිදුවන අයුරින් මේ සේවාවේ ගුණාත්මකබව කෙමෙන් පිරිහෙන්නටවූ අතර රටේ අනෙක් රැකියාවලට සාපේක්ෂව පරිපාලන සේවයේ වැටුප්ද අඩු වන්නට පටන්ගති. මේ සියල්ල නිසා රාජ්‍ය පරිපාලන සේවය ලංකාවේ ඉහල මට්ටමේ බුද්ධියක් ඇති තරුණ උපාධිධාරීන්ට ආකර්ශනීය ස්ථානයක් නොවීය.

ඉන් අනතුරුව ඇතිවූයේ පරිපාලන සේවයේ ඉහලට යාමට හා හොඳ තනතුරු ලබාගැනීමට දේශපාලන ලබැඳිකම් අවශ්‍යවිමේ යුගයයි. අවසානයට තිබූ රාජපක්ෂ රාජ යුගයේ සුවිශේෂීවු ලක්ශණය වුයේ පාලකයන් සමඟ එක්වී රාජ්‍ය දේපල සොරකම් කිරීමට සූදානම්වීම, උසස්විම් ලබාගැනීමේ විශේෂ සුදුසුකමක් බවට පත්වීමයි.

රාජ්‍ය පරිපාලනය තුල උසස්වීම් කාර්‍යකශම බව හා දක්ශතාවය මත පමණක් සැලසීම වැදගත්වේ. මෙය නොමැතිවීම නිසාද අද රාජ්‍ය පරිපාලන සේවය මේ රටේ අති දක්ෂ තරුණ තරුණියන් එක්විය යුතුයැයි කිසිසේත්ම නොසිතන ස්ථානයක් වී ඇත.

(උපුටා ගැනීම - lankaenews)