“අසිරිමත් රාජ්‍ය සේවය“ ගොඩනැගීමට නම් පාලනයෙන්, පරිපාලනයට (අවසන් කොටස) - අමරජිත් ගාල්ලගේ

reform-state-service

ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ දුර්වලකම් හඳුනාගෙන එයට ක්ෂණික විසඳුම් ලබාදීමට උත්සාහකොට, රටත් ජනතාවත් අනතුරේ හෙලූ මූලිකයා ගෝඨාභය රාජපක්ෂයි. ඔහු රාජ්ය පරිපාලනයට මහා පරිමානයෙන් පුද්ගලික අංශයේ විධායක නිලධාරීන්, හමුදා නායකයන්  හා වියතුන් රැගෙන ආවේය.

පුද්ගලික අංශයේ පරිපාලනය හොඳද?

අද අප රටේ පුද්ගලික අංශය ඉතා හොඳින් පරිපාලනය වන බවට පවතින බලවත් මිත්යාවක් ඇත. මේ මිත්යාවේ ගැලී රට ඉදිරියට ගෙනයාමට විවිධ ආයතන ගොඩගැනීමට පුද්ගලික අංශයේ පාලකයන් රාජ්‍ය අංශය පාලනය කිරීමට ගොස් හොඳින්ම හොටබිම ඇනගත්තේ,ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු මෙසේ පුද්ගලික අංශයෙන් ගෙන ආ පාලකයන්ගෙන් ඇතැමුන් මහා පරිමාණ හොරකම් වලට සම්බන්ධ විය. මේ රටේ විශාලම තොග වෙළඳ ආයතනයකට මෙසේ විය. තවත් අය යටතේ ආයනයනය කල භාණ්ඩ පුපුරා මිනිස් ජිවිත විනාශවිය. තවත් අය ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන අටියෙන් තම සබඳකම් ඇති සමාගම් වලට ඇති තරම් බෙදා ගත්තේය. ඔහු ආර්ථික විද්‍යාඥයින් ඉවත්කොට මහා බැංකු අධිපති ධුරයට ගෙන ආ වරලත් ගණකාධිකාරවරයා මුළු රටම බංකොලොත්වනතෙක් නන් දොඩවමින් සිටියේය.

ලංකාවේ පුද්ගලික අංශය හොඳින් ක්‍රියාත්මක වන්නේ යැයි මිත්‍යාවට ප්‍රධානම හේතුව පුද්ගලික ආයතන වල ඇති බාහිර සෝබනය නිසා බොහෝ අයගේ ඇසට "ගිනිකන" වැටීමයි. සෝබන ඇඳුමින් සැරසී, ඉංග්‍රීසි කෑලි කතා කරමින්, වායු සමීකරණය කරන ලද, අලංකාර කාමරවල සේවකයන් හොඳින් කතා කරන නිසා බොහෝ දෙනා ලංකාවේ පුද්ගලික අංශය ඉතා හොඳින් ක්‍රියාත්මක වන්නේ යැයි සිතති.

මේ මතුපිට පොත්ත ඇතුලේ ඇති යථාර්තය දන්නේ කිහිපදෙනෙකි. මේ ආයතන මෙසේ සෝබන දසුන් දක්වන්නේත්, ලාබ පෙන්වන්නේත්, සාමාන්‍ය පාරිභෝගිකයාගේ පසුම්බියෙන් සොරකම් කර හෝ රජයේ පසුම්බියෙන් හොරකම් කිරීමෙනි. ජනතාවගේ ආදායම් මට්ටමේ පමණට මේ රටේ තරම් පුද්ගලික අංශය සපයන සේවාවන්ට ජනතාව ගෙවන මිල වැඩි රටවල් ඇත්තේ නම් ඒ ස්වලපයකි. යම් රාජ්‍ය ආයතනයක් මුළුමනින්ම පුද්ගලිකරණය කල සැනින් සිදුවන දෙය නම් ඉතා ඉක්මණින් ඒ සේවාව සඳහා ගෙවන මිල වැඩිවීමයි. රජයට යම් අයිතියක් තබාගෙන ආයතනයක් පුද්ගලීකරණය කලවිට මේ වෙනස දක්නට නොලැබේ. ලංකාවේ පුද්ගලික රෝහල්වල ගාස්තු දකුණු ආසියාවේ ඉහලම මිල ගණන් වන අතර, කෙතරම් උත්සාහ කලත් ලංකාවේ සෞඛ්ය සංචාරක ව්යාපාරය එසවිය නොහැක්කේ එනිසාය. එසේම මේ කාර්යක්ෂම යැයි කියන එකම විශාල පුද්ගලික ව්යාපාරයකට හෝ සමාගමකට අවම වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් හෝ සේවාවක් සපයා ගැනීමට නොහැකිවීම තුලින්ම ලංකාවේ පුද්ගලික අංශයේ අකාර්යක්ෂමතාවය වටහා ගත හැක. 

ලංකාවේ සමාගම් යෝධයෝ (Corporate Giants) යෝධයන් වන්නේ අපේ රට තුලට පමණි. අනෙක් රටවලට සාපේක්ෂව ඔවුන් අඟුටුමිට්ටන්ය. ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ආරම්භ කර වසර පනහක් ගතවීත් මේ යෝධයන්ට තමන්ගේ කියා නමින් හැඳින්විය හැකි ඇඟළුමක් නිපදවීමට නොහැකි වීම ඔවුන්ගේ හැකියාව විදහා දක්වයි. තවමත් ඔවුන් කරන්නේ ප්‍රසිද්ධ ඇඟලුම් සන්නාම ඇති ලොවේ අන් ආයතන වලට ඇදුම් මැසීම පමණි. ලංකාවේ බැංකු තරම් තැන්පතුවලට ගෙවන කුඩා  පොලියත්, ණය ලබාගන්නා විට ගෙවිය යුතු විශාල පොලියත් අතර විශාල වෙනසක් ඇති වෙනත් රටක් ඇත්දැයි ලොවේ ඇත්දැයි සිතිය නොහැක. ලංකාවේ බැංකු ලාබ පෙන්වන්නේ එලෙසිනි.

ලංකාවේ පුද්ගලික අංශයේ පරිපාලනයේ ඉහල ස්ථාන ලැබෙන්නේ වැඩෙහි දක්ෂතාවය මත පමණක් නොවේ. විශේෂයෙන්ම කොළඹ, මහනුවර වැනි නගරවල  තෝරාගත් පාසල් කිහිපයක ආදි සිසුවන් වීම, ඉංග්‍රීසි භාෂාව "එලකියුෂන්" ක්‍රමයට උච්චාරණය කිරීම, "ටේබල් මැනර්ස්" හොඳින් දැන සිටීම, ගොල්ෆ් ගැසීම, ලංකාවේ පුද්ගලික අංශයේ පරිපාලනයේ ඉහලට යාමට අත්යවශ්ය අංග වේ. මෙයට අලුතින් ඇතුළුවී ඇති අංගය නම් උසස් පෙළ පවා නොකළ ඇතැමුන් ලබාගන්නා පී. එච්. ඩී’ (PHD) උපාධියයි. මේ අය කරන්නේ පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ තනතුරක වසර කිහිපයක් රැකියාව කර එම් .බී. ඒ’ (MBA) උපාධියක් කිරීමයි. මේ උපාධියද බොහෝ විට විභාග වලට නොපෙනී පැවරුම් මගින් ලබාගත හැකි පහසුකම දැන් ඇත. ඉන්පසු මේ එම්. බි. ඒ. (MBA) උපාධිය පාවිච්චි කර පී.එච්.ඩී. (PHD) පැවරුමක් ඉදිරිපත් කරයි. මේ පැවරුම්ද මුදලට කරදීමට මෑත කාලයේදී ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ දැන්වීම් පවා අලවා තිබිණි. මෙවැනි පී.එච්. ඩි. (PHD) ලාභී “ආචාර්ය” වරු අද පුද්ගලික අංශයේ එමට සිටිති.

ඇතැම් සමාගම් යෝධයෝ  තම පැවැත්ම තහවුරු කරගන්නේ රජයට බදු වංචා කිරීම, රජයේ දේපල අඩු මුදලට ගැනීම, අපනයන ආනයන වංචා කිරීම මගිනි. එසේම මේ ආයතන තුල සිදුවන වංචා හා දූශණ එමටය. බොහෝවිට තමන් සේවය කරන ආයතනටම මේ වංචා හා දූශණ කරන්නේ ඒ සමාගම් පරිපාලකයන්ය.

ගස් නැති රටේ තුත්තිරි ගසත් ගසක් යයි කියමනක් තිබේ. එනිසා මේ තුත්තිරි ගස් වලට එසේ තිබීමට ඉඩහැරීම කලත්, ආයතන පරිපාලනයට පුද්ගලික අංශයේ ඉහල තනතුරක් දැරූ පමණින් පුද්ගලයෙක් පරිපාලනයේ දක්ශයෙක් යැයි තීරණය කිරීම අමනෝඥය.

හමුදාවට පරිපාලනය භාරදීම

ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අසාර්ථක පරිපාලන පරීක්ෂණයක් කළේය. එනම් යම් යම් ආයතනවල පරිපාලනයට හමුදා  නායකයන් පත් කිරීමයි. වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, සෞඛ්‍ය අමාත්‍යශය, ගුවන් සේවා අධිකාරිය, පාරිභෝගික අධිකාරිය මෙවැන්නන් පත්කොට අසාර්ථක පරීක්ෂණ පැවැත්වූ ස්ථාන විය. රට හදන්න හිට්ලර් කෙනක් ගෙන ආයුතු යැයි නායක තෙර නමක් කියුවේ ඒ යුගයේය. ලෝකයේ හොඳම රෝග වැලැක්වීමේ සේවාව ඇති යැයි ලෝක සෞඛ්ය සංවිධානය පවා පිලිගත් ලංකාවේ, කෝවිඩ් මර්ධනය හමුදා නායකයෙකුට භාරවිය. ඔහු කෝවිඩ් රෝගීන් ත්‍රස්තවාදීන් සේ සලකා රට පුරා හමුදා මුරපොලවල් තර කලේය. අවසානයේදී රටේ ආර්ථිකයත් විනාශකරමින් සියල්ල අවසන් විය. එසේ නමුත් මේ පරීක්ෂණයෙන් එක් හොඳක් විය. එනම් "හමුදාව දාලා කලොත් රට හරියයි"  යන භයානක පැසිස්ට්වාදී ජනතා මතය ජන මනසින් තුරන් වීමයි. 

හමුදා පරිපාලකයන්ට සාමාන්ය රාජ්‍ය පරිපාලනය නොහැකි වන්නේ ඇයිදැයි යන්න දීර්ඝ සාකච්ඡාවකි. පකිස්තානය මෙවන් පරිපාලනයක් නිසා දුක් විඳින රටකි. එහි වරක් අගමැතිවූ ඉම්රාන් ඛාන් මේ කරුණ විග්‍රහ කොට, ඔවුන් පරිපාලනයෙන් ඉවත්කිරීමට ගත් උත්සාහය කෙලවරවුයේ ඔහු හිරගතවීමෙනි.

වියතුන්ට පරිපාලනය භාරදීම

දැනුම හා පරිපාලන දක්ෂතාවය අතර වෙනස රටේ පාලකයන්ට හඳුනාගැනීමට නොහැකිවීම තවත් අර්බුදයකි. යමෙකුට යම් විෂයක් ගැන ගැඹුරු අවබෝධයක් තිබීම නිසාම ඔහු ඒ විෂයට අදාළ ආයතනයක හොඳ පරිපාලකයෙක් නොවේ. බොහෝවිට ඔහු ඒ ආයතනයේ දිශාව තීරණය කරන අධ්යක්ෂක මණ්ඩලයේ හොඳ සාමාජිකයෙකු හෝ ආයතනයේ සභාපති විය හැක. පරිපාලන හැකියාව ඇති විද්වතුන් ඉතා අල්පය.

ගෝඨාඝය රාජපක්ශ මහතා පාලත් ආණ්ඩුකාරවරියක් ලෙස පත්කල උගුර-කන-නාසය පිලිබඳ වි.වෛද්යවරියක් තම කාමරය ශල්‍යාගාරයක් යැයි සිතා එයට ඇතුලුවන සියලුදෙනාට අත්සෝදා පැමිණීමට නියෝග කලේය. මෙවන් විහිලු කතා ඔහු පත්කල බොහෝ වියතුන් පිලිබඳව ඇත. මේ ඇතැම් වියතුන් අයථා ඉපයීම් කිරීමටද මැලිවුයේ නැත.

ලංකාවට ඇති තවත් උවදුරක් නම් අලුත් රජයක් ඇති කිරීමට හා ඇතිවූ පසු රට සෑදීමට සැදී පැහැදී වැඩම කරන ලංකාවෙන් පිටරට පදිංචිවී සිටින විද්වතුන්ය. තමන්ගේ කෙරුවාවන් ගැන යූ ටියුබ් කරුවන් සමඟ සම්මුඛ සාකච්චා පවත්වා, කයිවාරු ගසන මේ බොහෝදෙනා, විදේශයන්හි ඇත්ත වශයෙන්ම “පොරවල්” නොවේ. මෙවන් ඇතැම් අය ඒ රටවල විශ්වවිද්‍යාලවල අධ්‍යයන මණ්ඩල සාමාජිකයන් හෝ  රසායනාගාරවල සේවය කරන්නෝය. මේ බොහෝ අයට තමන්ගේ විශය පිලිබඳ දැනුමක් ඇතත් කිසිදු ප්‍රයෝගික හෝ පරිපාලන දැනුමක් නැත. මේ සමහරුන්ගේ ආචාර්ය උපාධි පවා ව්යාජය. සිංගප්පුරුව ගොඩනැගුවේ තමන්ගේ උපදෙස් මත යැයි හෝ ඩුබායි රට හිස එසවූයේ තමන් නිසා යැයි හෝ නොබෙල් ත්යාගය හිමිවුයේ තමන් නිසායැයි හෝ කියමින් මහා බොරු රැසක් කියමින් ඔවුහු  ලංකාවට ගොඩ බසිති. මාස කිහිපයකට පසුව මේ රට සැදීමට නොහැකි යැයි, නැවත යූ ටියුබ් සාකච්ඡා පවත්වා මොවුන් රට හැර යැයි.     

මේ දක්වා ලොවේ වැදගත් ජාත්‍යන්තර ආයතනයක හෝ පුද්ගලික ආයතනයක පරිපාලනය නායකත්වයට පත්වී ඇති ශ්‍රී ලාංකිකයන් ඉතා අල්පය. එනිසා මේ රට හැදීමට එන ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ සුදුසුකම් හා සැබෑ රැකියාවන් පිළිබඳව බලයට පත්වන රජයන් වටහා ගැනීම ඉතා වැදගත්ය. ඉන්පසු ඔවුන්ට ලබාදිය යුත්තේ ඔවුන්ගේ හැකියාවන්ට ගැලපෙන තනතුරුයි.

පරිපාලනය දියුණු කලහැක්කේ පරිපාලකයන් දියුණු කිරීමෙන් පමණකි

ආයතන පරිපාලනය වැටුප් ලැබිය යුතු පූර්ණකාලීන රැකියාවකි. මෙය නොමිලයේ කල නොහැක්කකි. වෙනත් ආදායම් මාර්ගයක් ඇත්නම් එවන් අයෙකුට කල හැක්කේ පාලක මඩුල්ලක හෝ උපදේශක මඩුල්ලක සේවය කිරීම පමණි. යමෙක් ආයතන පරිපාලනය නොමිලයේ කිරීමට භාරගන්නේ නම් එවන් අයගෙන් විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුය. ඇතැම් විට මොවුන් වංචාකිරීමේ බලාපොරොත්තුවෙන් ඒවා පරිපාලනය කිරීමට භාරගැනීමට ඉඩ ඇත. එසේ නැතහොත් වෙන යම් තැනකින් වැටුප් ලබමින් ඒ ආයතනයට වක්රාකාරයෙන් වාසි ලබාදීමේ බලාපොරොත්තුවෙන් එය කරනවා විය හැක

මේ සියලු කරුනු සලකා බලන විට පරිපාලනය කාර්යක්ෂම කිරීම කාර්යක්ෂම පරිපාලකයන් මගින්ම මිස, අන්කිසි අයුරකින් සිදුකල නොහැක්කක් බව වැටහේ. මෙය එක විසඳුමකින් නොව විවිධ අයුරින් කලයුත්තකි. 

මධ්‍යස්ථානයට පහරදෙනු

අද ලංකාවේ පරිපාලනයේ සිදුවිය යුත්තේ සංස්කෘතිකමය වෙනසකි. නවීන ලෝකයට ගැලපෙන නවීන ක්රමවේදයන් අනුව ඉක්මනින් වෙනස්වීමට කැමතිවීම, ජනතා අභිලාෂයන්ට සවන්දීම, වහා තීරණ ගැනීමේ හැකියාව, ජාත්යන්තර භාෂා කුසලතාවය මගින් නවීන දැනුම උකහා ගැනීම, දේශපාලඥයන්ට පවා උපදෙස් දීමේ හැකියාව, මේ පරිපාලකයන් තුල තිබිය යුතු ගුණාංග වේ.

දැන් 1800 ක් පමණවන, ඝනිභුතවී ඇති රාජ්ය පරිපාලන සේවයේ නිලධාරින් තුල මේ සංස්කෘතිකමය ගුණාංග කෙටි කලක් තුල ගොඩ නැංවීමට නම් මාවෝ-සේතුං සංස්කෘතික විප්ලවය ආරම්භකළ "මූලස්ථානයට පහරදෙනු" (Bombard The Headquarters) සටන්පාඨයට වඩා සුදුසු දෙයක් තවත් නැත.

පරිපාලන සේවයේ ඉපැරණි බවට, අකාර්කෂම බවට වගකිව යුතු ආයතනය කිසි කෙනෙකුගේ අවධානයට ලක්නොවී කොළඹ හතේ මහා භූමියක් අරක්ගෙන නිසොල්මනේ පසුවේ. ඒ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයයි. (SLIDA) මෙය පරිපාලන සේවයේ විශ්රාම ශාලාවකි. මේ ආයතනය 1982 දී පිහිටුවා ඇත්තේ ලංකාවේ පරිපාලන සේවයේ ගුණාත්මක බව වැඩි කිරීමටය. එහෙත් මෙය පරිපාලන රීති (Administrative Regulations) හා මුල්‍ය රීති (Financial Regulations)  උගන්වන බාලාංශ පංතියකින් ඉහලට තවම ගොස් නැත. අලුතින් පරිපාලන සේවයට පත්වන්නන් මෙහි මාස කිහිපයක පුහුණුවට ලක්විය යුතුය. මෙහි ලොවේ කිසිම ආකාරයක නවීන පරිපාලන ක්‍රමවේදයන් පිළිබඳව උගන්වන්නේ නැත. ආචීර්ණ පරිපාලන ක්‍රමවේදයන්  උගන්වන මේ ආයතනයෙන් පුහුණුව සඳහා පරිපාලකයන් යවන්නේ ඉන්දියාවටයි.

විශ්‍රාම ගැනීමට ආසන්නවූ පරිපාලනයන් විශ්‍රාම සුවය විඳීමටද, විශ්‍රාම ගත් පරිපාලකයන් “පොරවල් වීම” ටද මෙහි තනතුරු ලබා ගනී. මේ ආයතනයේ වත්මන් වෙබ් පිටුවට අනුව මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විත වනුයේ ලලිත් වීරතුංග (අධිකරණයකින් දඬුවම් ලබා ජනාධිපති සමාව ලැබුවෙකි), ඉන්ද්‍රානි සුගතපාල (ලලිත් වීරතුංගගේ බිරිඳ), ඔස්වින් ප්‍රනාන්දු (ඉතා වියපත්වියේ පසුවෙයි) වැන්නන්ය. එසේම මේ ආයතනය බොරුකාරයන්ගේ නිජබිමකි. මේ ආයතනයේ කොන්ත්‍රාත් පදනම මත ඉංග්‍රීසි උපදේශකවරයෙකු ලෙස කටයුතු කල අයෙක්, තමන් එහි ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස හඳුන්වාගනිමින්, ව්‍යාජ ආචාර්ය උපාධියක්ද සමඟ ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂයක ආර්ථික කමිටුවේ සේවය කළේය.

සබැඳි පුවත්

මේ ආයතනය වත්මන් පාලනය යටතේ දියුණුකිරීම හෝ වෙනස්කිරීම සිහිනයකි. අකාර්යක්ෂම, දූෂිත පරිපාලකයන් ලවා කාර්යක්ෂම අදූෂිත තරුණ පරිපාලකයන් තැනීම සිහිනයකි. එය කකුළුවා තම පැටියාට කෙලින් ගමන් කරන සැටි ඉගැන්වුවා මෙන්වනු ඇත.  වහාම කලයුත්තක් ඇත. එනම් මේ ආයතනයේ අධ්‍යක්ෂකයන් ලෙස ලංකාවෙන් තෝරාගත් කාර්යක්ෂම පරිපාලකයන් පමණක් නොව, ලොව විවිධ රටවල පරිපාලන අත්දැකීම් ඇති පරිපාලකයන් පත්කිරීමයි.

අද ලෝකයේ ඉහලම පෙලේ පරිපාලනය තිබෙන්නේ සිංගප්පුරුවේ බව පොදු පිළිගැනීමයි.සිංගප්පුරුවේ පරිපාලකයන් පුහුණුකරන ආයතන රැසක් ඇත. වහාම කලයුත්තක් වන්නේ මේ ආයතනයේ ඉගැන්වීම් එවන් දියුණු ආයතනයකට අනුයුක්ත කර එමගින් සිදුකිරීමයි. මේ සඳහා සිංගප්පූරුව පමනක් නොව ලොවේ වෙනත් දියුණු පරිපාලන ක්‍රමවේදයන් ඇති රටවල පවා උදවු ලබාගත හැකිවනු ඇත. සූම් හා වෙනත් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් දියුණු මෙවන් යුගයක, මේ පුහුණු පාඨමාලා වෙනත් රටවලට නොගොස් සිදුකල හැක. එසේම වත්මන් පරිපාලකයන්ටද තමනගේ සේවා ස්ථානවල හෝ නිවෙස්වල සිටම මේ පුහුණුව කල හැක. පරිපාලන සේවයේ ඉහලට යෑමට මේ නවීන  පුහුණුව අනිවාර්ය කලහොත්, අද සේවයේ නියුතුවන පරිපාලකයන්ගේ ඉක්මන් වෙනසක් වනු ඇත.

වර්තමාන ලංකාවේ රාජ්‍ය පරිපාලකයන් මෙසේ දියුණු රටවල පරිපාලන ක්රමවේදයන්ට වහාම විවෘත කලයුතුය. ඉන්පසු අපට ආවේනික පරිපාලන රීති (Administrative Regulations) හා මුල්ය රීති (Financial Regulations) ඉගැන්වීම පමණක්, පරිපාලන සේවයේ විශ්‍රාමික ගුරුභවතුන්ට භාරදිය හැක. අපේ සභ්‍යත්වයේ උතුම් බවත් මෙහි ඉගැන්විය යුතු නම්, එයද ඔවුන්ටම කල හැක. මේ කිසිම වෙනස් කමක් මේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට (SLIDA) අරක්ගෙන සිටින ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසර්වරුන් නම් නොකරනු ඇත.

විදෙස් පරිපාලකයන් ගෙන ඒම

ලෝකයේ බොහෝ රටවල් තම දේශයන් දියුණු කිරීමට සිදුකරන තවත් දෙයක් ඇත. එනම් තමන්ගේ ආයතන දියුණු කිරීමට තම රටින් පරිපාලකයන් සොයාගත නොහැකි නම් ලෝකයේ වෙනත් රටවලින් එවැන්නන් සොයා ගැනීමයි.

පාලනය හා පරිපාලනය අතර ඇති සියුම් වෙනස තේරුම් ගැනීමට සුදුසුම තැන මෙයයි. මෙහිදී සිදුවන්නේ ඒ රටට අයත් ආයතනයේ අයිතිය ඒ රටේම තබා ගැනීමයි. ඒ සඳහා ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒ රටේ පුරවැසියන්ගෙන් තෝරාගත් දැනුම ඇති පිරිසකගෙන් සමන්විතවම තබාගැනීමයි. මේ පිරිස ආයතනයේ දිශානතිය තීරණය කරන අතර, ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සිට ඉහල මට්ටමේ නිලතල දැරීමට ඒ රටින් පමණක් නොව ලොවින්ම තෝරාගත් සුදුස්සන් පත්කිරීම කල හැකිය.

මේ අයට ගෙවන විශාල වැටුප අවසාන විග්‍රහයේදී රටට ලාබයක් ගෙනදෙනු ඇත. ලංකාවේ දැනටත් පැහැදිලිවම පරිපාලනය දුර්වලව පවතින දැවැන්ත අර්ධ රාජ්‍ය ආයතන වන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, වරාය අධිකාරිය,  සිවිල් ගුවන්සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලිබල සමාගම්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙවැනි ආයතනයි. මේ මගින් මේ ආයතන තුල සිදුවන වංචා දුෂණද අවම වනු ඇත. මෙවැනි ක්‍රමවේදයන් ඩුබායි, කටාර් වැනි මැද පෙරදිග රටවල්ද, සිංගප්පුරුව, හොංකො, එක්සත් ජනපදය වැනි රටවල්ද අනුගමනය කරයි. චීනය පවා තම සංවර්ධනයේ මුල් අවදියේදී මෙවන් ක්‍රියාමාර්ග අනුගමනය කළේය.

දක්ෂ තරුණයන් පරිපාලන සේවයට බඳවාගැනීම

දිගු කාලීනව සිදු කලයුතු තවත් දෙයක් නම් ඉහල බුද්ධියක් ඇති තරුණයන් පරිපාලන සේවයට ආකර්ශණය කරගැනීමයි. දැන්ට දක්ෂ තරුණයන් පරිපාලනසේවයට ආකර්ශණය නොවීමට හේතු රැසකි. සමාජ පිළිගැනීම වෛද්ය, ඉංජිනේරු, ගණකාධිකාරී, නීතී වැනි ක්ෂේත්ර වලට වඩා අඩුවීම මෙයට එක හේතුවකි. පුද්ගලික අංශයට වඩා වැටුප් අඩුවීම, උසස්වීම් දේශපාලන බලපෑම් මත සිදුවීම, එය කලා අංශයේ උපාධිධාරීන්ගේ රැකියාවක් බවට ඇති හැඟීම, මෙවන් වෙනත් සාධකයන්ය.  මේ එක් එක් සාධකය සොයාබලා විසඳිය යුතුය.

මෙයට එක් පිලියමක් නම් පෙර තිබූ මෙන් පරිපාලන සේවයේ ස්ථර දෙකක් සැකසීමයි. එමගින් වසරකට දස දෙනෙකු වැනි ඉහල මට්ටමේ දක්ශතාවයන් ඇති කුඩා පිරිසක් ඉහල වැටුප් තලයකට ගෙන ඔවුන් තරුණ අවස්ථාවේම ආර්ථිකයේ හා පරිපාලනයේ මර්මස්ථානවලට පත්කිරීමයි. මුලින් වසරක පමණ කලක් ප්රයෝගික හා න්යායාත්මක පුහුණුවක් ලැබූ පසු මේ ඉහල බුද්ධි මට්ටමේ තරුණ,තරුණියන් කාර්යක්ෂමව  හා ස්වාධීනව  සේවය කරනු ඇත. 

ඊලඟ ස්ථරයටද දක්ෂයන් බඳවාගනීමට නම් මුලු පරිපාලන සේවයේම වැටුප් ඉහල මට්ටමක පවත්වා ගැනීම, පරිපාලන සේවයට රටතුල ඉහල පිළිගැනීමක් ඇතිකිරීම, එහි උසස්විමේ හා තනතුරු දේශපාලන බලපෑමකින් තොරව සිදුකිරීම වැදගත් වේ. 

මේ වෙනස්කම් සිදුකිරීමට මූලික වසයෙන් විරුද්ධවනු ඇත්තේ දැනට පරිපාලන සේවාවේ නියුතු අයයි. මේ අයටද ඒ තරඟ විභාගවලට මුහුණ දීමට ඉඩදීම, පරිපාලන සේවයේ  අය යාමට අකමැති සංකීර්ණ පාලන ව්‍යූහයන් ඇති ආයතන වලට මේ තරුණයන් පත්කිරීම තවත් විසඳුමකි.

අවසාන වශයෙන්

රාජ්‍ය පරිපාලනය දියුණු නොකර රටක් දියුණුකිරීමට සිතීම සිහිනයකි. ඒ සඳහා අවශ්ය පියවර ගැනීමට පෙර පාලනය හා පරිපාලනය අතර වෙනස හඳුනාගැනීම, අද ලංකාවේ පරිපාලනයේ ගැටලුවක් ඇතිබව වටහාගැනීම, එයට හේතුවූ කරුණු තේරුම් ගැනීම හා මේ ගැටලුවට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් සෙවීම ඉතා වැදගත්වේ.

| අමරජිත් ගාල්ලගේ