තේ වතු බදුදීමට වඩා විකිණිම යහපත් නමුත් කුඩා තේ වතු හිමියන් ද හුදෙකලා නොකළ  යුතු යි – ආචාර්ය සුධාරක ආරියරත්න (අවසන් කොටස)

tea-plantation-factory

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග අතර බරපතළ අභියෝගයක් ලෙස ඉඩම් වෙළෙඳපොළ සැලකිය හැකිය. මෙහි දී විශාල තේ වතු සහ කුඩා ඉඩම් හිමියන් ඉඩම් වෙළෙඳපොළ තුළ මුහුණ දෙන අභියෝග දෙස අවධානය යොමු කිරීමට සිදුවේ.

විශාල පරිමාණ තේ වතු පුද්ගලික සමාගම් සතු වන අතර මීට කාලයකට පෙර රජයෙන් බදු ගත් එම තේ වතු 2045 වන තෙක් අදාළ සමාගම්වල පාලනයට නතු වේ.  කුඩා ඉඩම් හිමි තේ ගොවීන්ගෙන් අති බහුතරය තමන්ගේම අයිතියට හිමි ඉඩම්වල තේ වගාවේ නිරත වෙති.

දිගු කාලීන ආයෝජන නෑ

ලංකාවේ තේ ඉඩම් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමේ දී නිරීක්ෂණය වන වැදගත් කරුණක් වන්නේ දීර්ඝ කාලීන ආයෝජනයක් තේ වතු සම්බන්ධයෙන් සිදු නොවීමය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයෙන් නියම කර ඇත්තේ අවම වශයෙන් වසරකට 2%ක නැවත තේ වගාවක් සිදුවිය යුතු බවයි. නමුත් තේ පර්යේෂණායතනයේ දත්ත අනුව පැහැදිලිව වන්නේ එය වාර්ෂිකව 1%ක අගයක් පවා නොගන්නා බවයි. විශාල වතු සම්බන්ධයෙන් මේ වැනි තත්ත්වයක් වාර්තා වන අතර වඩාත් කණගාටුදායක තත්ත්වය වන්නේ කුඩා ඉඩම් හිමියන් සම්බන්ධයෙන් 1%කටත් වඩා, එනම් විශාල වතුවලටත් වඩා අඩුවෙන් නැවත වගාව සිදුවීමය.

| ආචාර්ය සුදාරක ආරියරත්න

තේ වතු ආශ්‍රිතව දීර්ඝ කාලීන ආයෝජන, එනම් නැවත තේ වගාව සිදු නොවීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ විශාල තේ වතු හිමි සමාගම් තම ආයෝජනයෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි කාලය සම්බන්ධයෙන් උනන්දු වීමය, එනම් ‘කොපමණ කාලයක් මේ වතුවලින් ආදායමක් ලබා ගත හැකිද ?’ යන්න කෙරෙහි සැලකිලිමත් වීමය.

මෙහි දී අදාළ වතු කල්බදු ක්‍රමයට ලබා ගැනීමේ දී ගිවිසුම අවසන් වන කාලය තීරණාත්මක වී ඇත. 2045 දී මෙම වතුවල කල්බදු ගිවිසුම් අවසන් වීමට නියමිතය. යළි මෙම ගිවිසුම් අලුත් නොකළහොත් අදාළ සමාගම්වලට මෙම වතු අතහැර යාමට සිදුවේ. මෙහි අදහස වන්නේ වර්තමානයේ නැවත තේ වගාවට කරන ආයෝජනය ආවරණය කර ගැනීමට, ආයෝජනයෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලබා ගැනීමට කාලයක් නොවීම හේතුවෙන් වතු සමාගම් විශාල ආයෝජන වෙත උනන්දු නොවීමය. මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරන්නේ නැවත තේ වගාවක් සිදු කරන්නේ නම් එහි අස්වනු නෙළීමට හැකි වන්නේ වසර 06ක් වැනි සැලකිය යුතු කාලයක් ගත වීමෙන් පසුවය. මේ පසුබිම තුළ විශාල සමාගම් නැවත වගාවට උනන්දු නොවන හේතු පැහැදිලි කර ගත හැකිය.

කුඩා තේ ඉඩම් හිමියෝ

කුඩා තේ  ඉඩම් හිමියන්ගේ ආයෝජන සම්බන්ධයෙන් සලකා බලන විට පැහැදිලි වන්නේ නැවත වගාව වෙනුවෙන් අවශ්‍ය ආයෝජන සපයා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවයි. ඔවුන් ණය ලබා ගැනීමේ දුෂ්කරතා වලට මෙන්ම තේ වගාවේ කෙටි කාලීන ඉපයීම් ගැන ද උනන්දු වීම හේතුවෙන්, ආයෝජනයට ප්‍රතිලාභ ලබාදීමට වසර හයක් වැනි කාලයක් ගත වන නැවත වගාව වෙත වැඩි උනන්දුවක් නොදක්වති.

මෙහි දී තවත් වැදගත් කරුණක් ද අවධානයට ගත යුතුය. ශ්‍රී ලංකාවේ පහත රට කුඩා තේ ඉඩම් ප්‍රවර්ධනය ආරම්භ වූයේ 1980 දශකයේ මධ්‍ය භාගයේ සිටය. සාමාන්‍යයෙන් තේ ගසක අස්වනු ලබා දීමේ ඵලදායී කාලය වසර 35ක් පමණ වේ. මේ අනුව වර්තමානයේ පහත රට කුඩා තේ ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් නැවත වගාවට යොමු කළ යුතුය. මේ අනුව නැවත වගාවක් සිදු නොවන තත්ත්වය හමුවේ පහත රට කුඩා තේ ඉඩම්වල ඵලදායීතාවය අඩු වීමේ පැහැදිලි අවදානමක් පවතින අතර, එය ඉදිරියේ දී වර්ධනය විය හැකි බරපතළ ගැටලුවක් ලෙස ද සැලකිය හැකිය.

විසඳුම කුමක් ද ?

මෙම ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට මේවා විසඳීමට ගත හැකි පියවර ද සොයා බැලිය යුතුය. මෙහි දී මහා පරිමාණ වතු සම්බන්ධයෙන් ගත් විට 2045 දී අදාළ වතු සම්බන්ධ කල්බදු ගිවිසුම අහෝසි වුව ද එය යළිත් අලුත් කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට රජය විසින් සහතිකයක් ලබා දීම තීරණාත්මක වේ.

මෙහි දී නැවත බදු ගිවිසුම අලුත් කරන බවට දෙන සහතිකය හෝ වඩාත් ඵලදායී වගාවකට හිමිකම් කියන තේ වතු වල කල් බදු ගිවිසුම අලුත් කරන බවට රජයට යම්කිසි ආකාරයක අභිප්‍රේරණාත්මක සහතිකයක් ලබාදීමට හැකිය. එසේත් නොමැති නම් තෙවැනි විකල්පය ලෙස නැවත වගාවට කළ ආයෝජනවලින් ප්‍රමාණවත් හෝ ආයෝජන ආවරණය කර ගැනීමට නොහැකි වුවහොත් අදාළ ආයෝජන ප්‍රතිපූර්ණය කරන බවට රජයට පොරොන්දුවක් ලබාදීමට ද හැකියාව තිබේ.

පර්යේෂකයින් ලෙස අප කරන යෝජනාව වන්නේ රජය දිගින් දිගටම මහා පරිමාණ තේ වතුවල හිමිකාරීත්වය තබා ගෙන සිටීම සාර්ථක විසඳුමක් හෝ මූලෝපායක් නොවේ. එම ඉඩම් විකුණා දමන සැලසුමක් ආණ්ඩුව ක්‍රියාත්මක කළ හැකි අතර එය ‘හොඳම විසඳුම’ ලෙස ද සැලකිය හැකිය. ආණ්ඩුව මෙවැනි පියවරක් ගන්නේ නම් වතු සමාගම් මෙම ඉඩම් මිලදී ගැනීමට යොමු වනු ඇති අතර ඊට පසුව ඔවුන් ඔවුන්ගේම අයිතියට හිමි ඉඩම්වල ආයෝජනය කිරීමට පෙළඹෙනු ඇත.

පහත රට කුඩා තේ ඉඩම් හිමියන් සම්බන්ධයෙන් ගත් විට ඔවුන් ‘හුදකලා තේ ගොවීන්’ ලෙස නොව කණ්ඩායම් ලෙස වගාවේ නිරත වන ගොවි සමූහයක් ලෙස සංවිධානය කළ හැකිය. මෙම සංවිධාන තුළින් නැවත වගාව ආදි වශයෙන් තේ වගාවට අදාළ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් උදාකර ගත හැකිය.

තේ ප්‍රවර්ධනය

ශ්‍රී ලංකාවේ කළු තේ වලට ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් මෙන්ම ගෝලීය කීර්තිනාමයක් ද තිබේ. ‘සිලෝන් ටී’ ගෝලීය සන්නාමක් ද වන අතර මෙය ශ්‍රී ලංකාවේ තේ ප්‍රවර්ධනයට ශක්තිමත් පදනමක් නිර්මාණය කර ඇත.

මේ පසුබිම තුළ 2030 වන විට තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නංවා ගැනීමට ආණ්ඩුවට ඉලක්කයක් තිබේ. තේ නිෂ්පාදනය වර්ධනය කිරීමට සමගාමීව අගය එකතු කිරීම ද ඉහළ දැමීම තුළින් තේ කිලෝවකින් වැඩි මුදලක් උපයා ගැනීමට රජය සැලසුම් කර තිබේ.

නමුත් මෙහි දී ආණ්ඩුවට වටහා නොගත්, නොසලකා හරින ගැටලුවක් තිබේ. ශ්‍රී ලංකාව ගෝලීය තේ වෙළෙඳපොළට සපයනු ලබන තේ ප්‍රමාණය ඉහළ දැමීමෙන් සිදුවනු ඇත්තේ සැපයුම ඉහළ යාමට සමගාමීව ඉල්ලුම ඉහළ නොයන්නේ නම් අධි සැපයුම හේතුවෙන් මිල ගණන් පහළ වැටීමය. මේ තත්ත්වය වටහා ගැනීමට වර්තමානයේ කේන්යාව මුහුණ දී සිටින අර්බුදය දෙස බැලීම ප්‍රමාණවත්ය. කෙන්යාව පසුගිය කාලයේ සිය තේ නිෂ්පාදනය වේගයෙන් වර්ධනය කර ගත් අතර සැපයුම ඉහළ දැමුවේය. එහෙත් කෙන්යා තේ වෙනුවෙන් පවතින ගෝලීය ඉල්ලුම සැපයුමට ප්‍රමාණවත් තරම් වේගයෙන් ඉහළ නොයාම හේතුවෙන් කෙන්යාවේ කළු තේ මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.

සබැඳි පළමු කොටස

මෙම අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් කෙන්යානු රජය තේ කිලෝවක් අලෙවි කළ හැකි ‘අවම මිලක්’ නියම කළ ද වර්තමානය වන විට කෙන්යාමේ තේ අලෙවි කිරීමේ බරපතළ ගැටලු පවතී.

මෙහි දී ලංකාවට ඉගෙන ගැනීමට ඇති පාඩම වන්නේ තේ වෙනුවෙන් ඇති ගෝලීය ඉල්ලුම ඉහළ නොයන හෝ සැපයුමට ප්‍රමාණවත් ගෝලීය ඉල්ලුමක් වර්ධනය නොවන තත්ත්වයක් තුළ 2030 වන විට මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වා වර්ධනය කර ගැනීම තුළින් ආණ්ඩුව අපේක්ෂා කරන වාසි බොහොමයක් නොලැබී යනු ඇති බවය. ශ්‍රී ලංකාවට කෙන්යාවෙන් උගත හැකි සරල සහ තිත්ත පාඩම එයයි.

කළ යුත්තේ කුමක් ද ?

කෙන්යාවම යළි උදාහරණයට ගන්නේ නම් 2030 වන විට තේ කිලො මිලියන 400ක නිෂ්පාදනයක් වෙත යන්නේ නම් ශ්‍රී ලංකාවේ තේ කිලෝවක නිෂ්පාදන වියදම අඩුකර ගැනීම අනිවාර්යය කොන්දේසියක් වේ. ශ්‍රී ලංකාව තේ කිලෝවක් නිෂ්පාදනයට ඉහළම පිරිවැයක් දරන රට වීම තුළ නිෂ්පාදන වියදම අඩුකර ගැනීම අභියෝගාත්මක විය හැකිය.

එහෙත් විකල්පයක් ද තිබේ. නිෂ්පාදන වියදම අවම කර ගැනීමට නොහැකි නම් ශ්‍රී ලංකාවට සිය තේ නිෂ්පාදන විවිධාංගීකරණය කළ හැකි අතර අගය එකතු කිරීම් ද කළ හැකිය. මේ හරහා ශ්‍රී ලංකාව අඩු මිලට කලු තේ සපයන කෙන්යාව වැනි තරඟකරුවන් සමඟ එක පෙළට සිටීමට අවස්ථාවක් නිර්මාණය කර ගත හැකිය.

ජපන් ආදර්ශය සහ අභියෝග

මෙහි දී ශ්‍රී ලංකාවට පාඩම් ඉගෙන ගැනීමට ඇති වඩාත් සාර්ථක කතාව ඇත්තේ ජපානය තුළය. ජපානය 1960 දශකයේ දී ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ප්‍රශ්නයටම මුහුණ දුන්නේය. කම්කරු වැටුප් ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන මිල ඉහළ යාමෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ ජපන් තේ වල තරඟකාරීත්වය පහළ යාමට පටන් ගත්තේය.

මෙම අභියෝගයට මුහුණ දීමේ දී ජපානය උපායමාර්ගිකව සිය නිෂ්පාදිතය අඩු කළ අතර තේ විශේෂීකරණය කළේය. මේ හරහා ජපන් තේ කිලෝවක විකුණුම් ආදායම 1000%කට පමණ ප්‍රමාණයකින් ඉහළ ගිය අතර සමස්තයක් ලෙස අඩු තේ නිෂ්පාදනයකින් ඉතා විශාල ආදායමක් උපයා ගත්තේය.

ලංකාවට ජපන් ආදර්ශය අනුගමනය කළ හැකි ද ? යන ප්‍රශ්නය මෙහි දී උද්ගත වේ. මුලින්ම ශ්‍රී ලංකාව සිය තේ නිෂ්පාදනය අඩු කළ යුතුය. ඊට හේතුව වන්නේ ඉහළ මිලකට අලෙවි කළ හැකි තේ වෙළෙඳපොළ කුඩා එකක් වීමය. මෙහි දී සාම්ප්‍රදායික තේ වෙන්දේසි ක්‍රමයෙන් ඔබ්බට යාම අනිවාර්යය කොන්දේසියක් වන අතර ‘විශේෂිත ගැනුම්කරුවන්’ සොයා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවේය.

නමුත් ප්‍රශ්න වන්නේ මහා පරිමාණ තේ ඉඩම්වල අයිතිය රජය සතුව තබා ගෙන, මහා පරිමාණ වතු සමාගම්වලට දීර්ඝ කාලීන ආයෝජනවලට යාමට හේතුවන වාසිදායක වාතාවරණයක් නොමැති පසුබිමක් තුළ ශ්‍රී ලංකාවට ජපානය අනුගමනය කළ මාවතේ යාමට හැකියාවක් පවතී ද යන්නයි.

එසේම තේ වල ගුණාත්මකභාවය ද වර්ධනය කර ගැනීමේ අනිවාර්යය කොන්දේසියක් ද ජපන් ආදර්ශය අනුගමනය කිරීමේ දී පවතී.

 

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධාන කරන ‘කතිකාව’ සංවාද මාලාවේ ‘තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග’ නම් තේමාව යටතේ පැවැති  කතිකාවේ දී ආචාර්ය සුධාරක ආරියරත්න මහතා ඉදිරිපත් කළ අදහස් ඇසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත අවසන් කොටස)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image