කොරෝනා අවදානම ඉහළයාම නිසා ඉතාලිය යළිත් වැසෙන ලකුණු

කොරෝනා අවදානම ඉහළයාම නිසා ඉතාලිය යළිත් වැසෙන ලකුණු

කොවිඩ් තුන්වන රැල්ලකට මුහුණ පා සිටින ඉතාලිය වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා යළිත් පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කිරීමකට සූදානම් වන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම අනතුරු හැඟවීමත් සමඟ ඉතාලියේ බොහෝ ප්‍රදේශවල පාසල්, ආපනශාලා, සාප්පු සහ කෞතුකාගාර ලබන සතියේ සිට වසා දැමීමට නියෝග කර තිබෙන අතරනව ආසාදන වැඩිවීමත් සමඟ රටේ ප්‍රදේශ රැසක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කිරීමත් නිසා ඉතාලියේ බොහෝ ප්‍රදේශ සඳුදා සිට නැවත ලොක්ඩවුන් ක්‍රමවේදයට අවතීර්ණ වනු ඇති බවයි පුවත් සේවා පෙන්වා දෙන්නේ.

මිලාන් අවට ලොම්බාර්ඩි ඇතුළු බොහෝ ප්‍රදේශ මෙන්ම රෝමය අවට ලාසියෝ ඇතුළු බොහෝ ප්‍රදේශ සඳුදා සිට “රතු කලාප” ලෙස නම් කෙරෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉතාලි අගමැතිවරයා රෝමයේ ෆියුමිසිනෝ ගුවන් තොටුපොළේ නව එන්නත් කිරීමේ මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදී  ප්‍රකාශ කළේ, වසංගතය ආරම්භ වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, අවාසනාවන්ත ලෙස නැවතත් නව ආසාදන රැල්ලකට මුහුණ දී  සිටින බවය.

මාරාන්තික වෛරසයේ පළමු රැල්ල සිහිපත් කරමින් එවැන්නක් නැවත සිදුවීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉතාලියෙන් පසුගිය සතියේ නව කොවිඩ් ආසාදිතයන් 150,000 කට වඩා වාර්තා වී තිබේ.

කෙසේවෙතත් ඊට පෙර සතියේ වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 131,000කට අඩු සංඛ්‍යාවකි.