කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කරන අයට බද්දක් ගෙවන්න වෙන ලකුණු

කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කරන අයට  බද්දක් ගෙවන්න වෙන ලකුණු

මෙතෙක් කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති පුද්ගලයන්ගෙන් බද්දක් අය කිරීමට කැනඩාවේ ක්විබෙක් පළාතේ බලධාරීන් තීරණය කර තිබේ.

එන්නත් ලබා සිටින ක්විබෙක් වැසියන් මත මෙම පුද්ගලයන් මූල්‍යමය පීඩනයක් ඇති කරන බැවින් මෙවැනි පියවරක් ගැනීමට තීරණය කර ඇත. මේ වනවිට එම පළාතේ රෝහල්වලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ගෙන් සියයට 50කට වඩා එන්නත් නොලැබූ අයය.

බදු ලෙස අය කරන මුදල සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව ප්‍රකාශ වී නැත. නමුත් එම පළාතේ අගමැතිවරයා වන ෆ්‍රන්සුවා ලෙගෝල් පවසා තිබුණේ එය කැනේඩියානු ඩොලර් 100කට අඩු නොවනු ඇති බවයි. මෙය ලංකා රුපියල් 16,000කට ආසන්න මුදලකි. කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශ මත එන්නත් නොලබා සිටින පුද්ගලයන්ට මෙම බද්ද අදාළ නොවනු ඇත.

කැනඩාවේ කොවිඩ් මරණ වැඩියෙන්ම වාර්තා වන පළාතද ක්විබෙක්ය. මේ වනවිට එහි නැවතත් වසංගතය වේගයෙන් පැතිරෙමින් තිබේ. කැනඩාවේ පළාත් අතරින් මෙවැනි බද්දක් අය කිරීමට සූදානම් වන පළමු පළාත වන්නේද එයයි. ක්විබෙක් වැසියන්ගෙන් සියයට 12.8ක් තවමත් එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නැත. ජනවාරි 1 වැනි දින වනවිට එක එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන සිටි ප්‍රතිශතය සියයට 85කි.

මේ මස අවසානයේ සිට ග්‍රීසියේද මෙවැනි බද්දක් ක්‍රියාත්මක වනු ඇත. එහි එන්නත් නොලබා සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සෑම මසකම යූරෝ 100ක (ලංකා රුපියල් 23,000ක පමණ) බද්දක් ගෙවිය යුතුය.