මියන්මාරයේ හදිසි නීතිය දීර්ඝ කරයි

මියන්මාරයේ හදිසි නීතිය දීර්ඝ කරයි

මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා.  පසුගිය වසරේද එරට හමුදාව කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමෙන් පසු හටගත් නොසන්සුන්තාව තවමත් සමනය වී නැහැ.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත්වූ අවුන් සාන් සුකී ගේ රජය පෙරළා දමා එරට හමුදා ප්‍රධානීන් විසින් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී බලය අල්ලා ගනු ලැබුවා.  අනතුරුව අවුන් සාන් සුකී සිර ගත කළා. ඇය තවමත් සිරභාරයේ පසුවනවා.

මියන්මාර මිලිටරි ජුන්ටාව පවසන්නේ ඉතා ඉක්මනින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පවත්වන බවයි. නමුත් ඊට කාලය අවශ්‍ය බව ඔවුන් පවසනවා.  මැතිවරණයක් පැවැත්වීමට පෙර, එරට ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු බවයි හමුදා පාලනය පවසන්නේ.

ඔවුන් කියා සිටියේ 2020 වසරේ පැවති මැතිවරණයේ අක්‍රමිකතා රැසක් පැවති බවයි.  බලය රැක ගැනීම සඳහා හමුදා පාලනය විවිධ අසත්‍ය චෝදනා ගොනු කරන බව විදෙස් විශ්ලේශකයන් පවසනවා.