හොලිවුඩ් තිර රචකයින්ගේ වැඩ වර්ජනය අවසන් වන ලකුණු

හොලිවුඩ් තිර රචකයින්ගේ වැඩ වර්ජනය අවසන් වන ලකුණු

මාස පහකට ආසන්න කාලයක් පුරා පැවති වැඩ වර්ජනය අවසන් කිරීමට හැකි වන පරිදි, චිත්‍රාගාර ප්‍රධානීන් සමඟ තාවකාලික ගිවිසුමකට එළැඹීමට එකඟත්වය පළ වී ඇති බව ඇමෙරිකානු තිරරචකයන් පවසයි.

ඇමරිකාවේ ලේඛක සංසදය (WGA) පවසන්නේ මෙම එකඟතාවය “ලේඛකයින් සඳහා අර්ථවත් වාසි සහ ආරක්ෂාවක් ලබාදෙන” බවයි.  කෙසේවෙතත්, අවසන් තීරණය ගත යුත්තේ WGA සාමාජිකයින් විසින් බව ඔවුන් පවසයි.

ලේඛකයන් යළි සේවයට වාර්තා කිරීමට පෙර WGA නායකත්වය සහ වෘත්තීය සමිති සාමාජිකයින් විසින් මෝෂන් පික්චර්ස් සංසදය හා රූපවාහිනි නිෂ්පාදනකයන් සමග තෙවසරක ගිවිසුමකට එළැඹීමට එකඟ විය යුතු බවද පැවසේ.

මෙම යෝජිත එකඟතාවය සම්බන්ධයෙන් WGA පණිවිඩයක දැක්වෙන්නේ තවමත් තමන් වර්ජනය අත්හැරීමට සූදානම් නැති නමුත්, අද සිට පිකටිං ව්‍යාපාර අත්හිටුවීමට කටයුතු කරන බවයි.

මෙම වැඩ වර්ජනය, දශක ගණනාවකට පසු හොලිවුඩයට බලපෑ දීර්ඝතම වැඩ වර්ජනය ලෙස සැලකෙන අතර, මේ හේතුවෙන් බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන කටයුතු ඇණහිටුණි.

මීට අමතරව නළුනිළියන් ද වෙනම ආරවුලක හේතුවෙන් වැඩ වර්ජනයක නිරත වී සිටියි.

මේ වසරේ මැයි 02දා සිට ඇරඹුනු ලේඛකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

වර්ජනය හේතුවෙන් බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන කටයුතු අතරමඟ ඇනහිට තිබුණු අතර, පසුගිය සැප්තැම්බර් 18දා පැවැත්වීමට කටයුතු යොදා තිබූ එමී සම්මාන උළෙලද මේ හේතුවෙන් කල් දැමිණි.

සාධාරණ ගෙවීමක් සහ රැකියා සුරක්ෂිත කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කර ගනිමින් පසුගිය මැයි 02දා පා ගමනකින් ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් කැලිෆෝනියාවේ ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

(srilankamirror)