ජෝන් පිල්ගර් – ජනතාවගේ පැත්ත ගත් ජනමාධ්‍ය දැවැන්තයකුගේ නික්ම යාම

ජෝන් පිල්ගර් – ජනතාවගේ පැත්ත ගත් ජනමාධ්‍ය දැවැන්තයකුගේ නික්ම යාම

1939 වසරේ ඔස්ට්‍රේලියාවේ උපත ලද, පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වූ John Pilger  පිල්ගර් වයස අවුරුදු 84 දී පසුගිය දෙසැම්බර් 30දා මිය ගියේය.

ජෝන් පිල්ගර් – සැම විටම පැත්තක් ගත්තේය

ජෝන් පිල්ගර් සම්ප්‍රදායික ජනමාධ්‍යවේදයේ සීමා බිඳ හෙළමින්  යුක්තියේ සහ සාධාරණත්වයේ කෝණය සිය මාධ්‍ය රටාව බවට පත් කර ගත්තේය. අයුක්තිය සහ යුක්තිය අතර සටනෙහි දී, ව්‍යාජ මධ්‍යස්ථ බව වෙනුවට ් පිල්ගර් සාධාරණත්වයේ පැත්ත ගත්තේය.

ඔහු සිය ජනමාධ්‍ය භාවිතය යොදා ගත්තේ හුදු වාර්තාකරණයට නොවේ. මර්දනයට සහ පීඩාවට පත කරන ලද ජනයාගේ යුක්තියේ මහ සාධාරණත්වයේ හඬ ලොවට කීමටය.

පිල්ගර් උපත ලැබුවේ සිඩ්නි හි බොන්ඩි හි ය. ඔහුගේ පරම්පරාවේ බොහෝ දෙනෙක් මෙන්, ඔහු 1960 ගණන්වල මුල් භාගයේ දී එක්සත් රාජධානියට ගොස් “ද ඩේලි මිරර්”, “රොයිටර්” සහ “ITV” හි ගවේෂණාත්මක වැඩසටහනක් වූ World in Action සඳහා වැඩ කළේය.

ඔහු සිය මාධ්‍ය වාර්තා, පොත්පත් සහ සහ විශේෂයෙන් වාර්තා චිත්‍රපට මගින් බටහිර විජිතවාදී සහ ආක්‍රමණකාරී  ආණ්ඩුවල දුෂ්ටකම් කරා ලෝකයේ ඇස් විවෘත කළේය.

බටහිර රටවල විදේශ ප්‍රතිපත්ති, විශේෂයෙන් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියෙහි ආක්‍රමණකාරී විදේශ පිළිවෙත නිර්දය විවේචනයට ලක් කළ  ජෝන් පිල්ගර් ලොව පුරා මාධ්‍යවේදීන්ට , මාධ්‍යවේදියන්ට සහ  ජනමාධ්‍ය ආධුනිකයින්ට මහත් ආස්වාදයක් සහ මග පෙන්වීමක් ලබා දුන්නේය.

මා ද  ජෝන් පිල්ගර්‌ගෙන් ආශ්වාදය සහ මඟ‌ පෙන්වීම ලද එක්   අයෙකි.

පුවත්පත් කලාව සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රචාරක ප්‍රවේශය ද මතභේදයට තුඩු දුන්නේය. ඒ, නිල ස්ථාවරයන් කෙරෙහි ඔහු දැක්වූ දැඩි විසම්මුතිය නිසාය. හැකි තරම් පුළුල් ප්‍රේක්ෂකයින් වෙත ළඟා වීමේ අරමුණින්, ඔහු ප්‍රශ්න ඕනෑවට වඩා සරල කරන බවට ඔහු විවේචනයට ලක් විය. එම විවේචනය සමඟ යම් දුරකට මම එකඟ වෙමි.

බ්‍රිතාන්‍යය: වසරේ පුවත්පත් මාධ්‍යවේදියා

ඔහු බංග්ලාදේශය, බියෆ්රා, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල ගැටුම් වාර්තා කළේ අරගල බිම ගවේශණය කරමිනි.  1967 සහ 1979 දී බ්‍රිතාන්‍යයේ වසරේ පුවත්පත් මාධ්‍යවේදියා ලෙස  ජෝන් පිල්ගර් නම් කරන ලදී.

ඔහු වාර්තා චිත්‍රපට 50 කට වඩා නිර්මාණය කළේය. ඔහුගේ වඩාත් ප්‍රචලිත වාර්තා චිත්‍රපටය වන්නේ  “ශූන්‍යයයේ වසර-කාම්බෝජයේ නිහඬ මරණය” යන්නය. වියට්නාම් හමුදා විසින් මිනීමරු පොල්පොට් පාලනය පෙරළා දැමීමෙන් පසු 1979 දී එරටට ගිය පිල්ගර්  කාම්බෝජයේ මිලියන හතක ජනගහනයෙන් මිලියන දෙකක් පමණ පොල්පොට්ගේ කුරිරු පාලනය යටතේ ජන සංහාරය හෝ කුසගින්න හේතුවෙන් මිය ගිය බව ලොවට වාර්තා කළ පළමු මාධ්‍යවේදියා බවට පත් විය.

එම වාර්තා චිත්‍රපටය Year Zero: The Silent Death of Cambodia මෙහි නැරඹිය හැක.

ඔහු එම වාර්තා‍  චිත්‍රපටය නිර්මානය කළේ මානව ඛේදවාචකයක් දේශපාලන සන්දර්භයක් තුළ  ස්ථානගත කිරීමෙහි සඳහා ඔහුගේ දක්ෂතාවය ප්‍රදර්ශනය කරමිනි. පොල්පොට්ට බලය අල්ලා ගැනීමට ඉඩ සලසන කැළඹීම නිර්මාණය කරමින් රහසිගතව හා නීති විරෝධී ලෙස කාම්බෝජයට බෝම්බ හෙළු එක්සත් ජනපදයට ඔහු දොස් පැවරුවේය.

ඇමෙරිකානු හමුදා වියට්නාමයේ මැදිහත්වීම්වලින් වළකින බවට ගිවිස ගත් 1972 පැරිස් සාම ගිවිසුමෙන් පසුත් දස දහස් ගණනාවක් ඇමෙරිකානු සෙබලුන්, විවිධ වේශයන්ගෙන් දකුණූ වියට්නාමයේ එක්සත් ජනපද රෑකඩ ආණ්ඩුවට සහය දෙන බව ් පිල්ගර් ලොවට පෙන් වූයේ එරටට ගොස් වාර්තා විත්‍රපටයක් නිපදවීමෙනි. එය මෙහි නැරඹිය හැක Vietnam: Still America’s War

ඔහුගේ වාර්තා චිත්‍රපට සත්‍ය වාර්තාකරණය සඳහා වූ කීර්තිමත් Richard Dimbleby සම්මානය, Cambodia: Year Ten සඳහා Peabody සම්මානය සහ Cambodia: The Betrayal සඳහා හොඳම වාර්තා චිත්‍රපටය සඳහා එමී සම්මානය ඇතුළු ත්‍යාග රාශියක් ලබා ගත්තේය.

ඔහු සිය මව් රට වූ ඔස්ට්‍රේලියාව ගැන ද වාර්තා චිත්‍රපට කිහිපයක් ද සාදන ලදී. එරට ස්වදේශික ජනයාට එනම් පළමු ජාතියයේ ජනයාට කරනලද ඓතිහාසික හා අඛණ්ඩ අයුතු  සැලකීම ගැන 1985 දී  නිපදවන ලද  සීක්‍රට් කන්ට්‍රි නම් වාර්තා චිත්‍රපටය ආණ්ඩුව කෝපයට පත් කළේය.

සමහර විට ඔහුගේ හොඳම පොත විය හැකි යැයි විචාරකයින් පවසන “වීරයෝ” Heroes ඔහු පිදුවේ එය ඔහුගේ ප්‍රියතම මාධ්‍යවේදියක වූ මාර්තා ගොල්හෝන් Martha Gellhornටය. ඇය දශක හයක් පුරා වූ ඇයගේ මාධ්‍ය ජීවිත කාලය තුල ඇති වූ සියලූම ප්‍රධන පෙළේ යුද්ධ වාර්තා කල අතර එදා මෙදා තුර   ජීවත් වූ   ශ්‍රේෂ්ඨතම යුද්ධ වාර්තාකාරියක ලෙස සැලකේ.

මා ජනමාධ්‍යට පැමිණි සමයේ සිට ඇයද මගේ ආදර්ශයක් සහ ආශ්වාදයක් වේ.

එහි වීරයින් වන්නේ  එංගලන්තයේ ඩර්හැම්හි පතල් කම්කරුවන්, වියට්නාමයේ සරණාගතයන් හෝ වියට්නාම යුද්ධයෙන් ආපසු එන ඇමරිකානු සොල්දාදුවන් වැනි ඔහුට හමු වූ සාමාන්‍ය මිනිසුන්ය.

ඇප්ගනිස්ථානයෙහි බිහි වූ ඉතාම ප්‍රතිසංස්කරණවාදී සහ ප්‍රගතිශීලි වූ ආණ්ඩුවට ( 1978) විරුද්ධව ඇමෙරිකාව, මුජහිඩීන් නම් ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් ගොඩ නගා පුහුණු කර යුද්ධයක් ඇවිල වූ අන්දම ් පිල්ගර් සාක්ෂි ඇතිව වාර්තා කලේය. අල්කයිඩා සහ අයිසිස් යන අතිශය දරුණු ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ ව්‍යාපාර පැන නැගුණේ මෙම මුජහිඩීන් ගර්භාෂයෙනි.

ජොන් පිල්ගර් සමාජ දේශපාලන මතයක් ඇතිව, විශිෂ්ට වාර්තාකරණයක යෙදිය හැකි බව පෙන්වූ අපේ කාලයේ ජනමාධ්‍ය වීරයෙකි. ඔහු ඊනියා මධ්‍යස්ථ ජනමාධ්‍ය කරණයේ තිරපට බිමට ඇද දමමින්, ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය යනු බොහෝ විටම රාජ්‍ය බලයේ සහ අධිපති දේශපාලන බලයේ අතකොළු බව පෙන්වා දුන්නේය.

අද මෙරට අධිපති මාධ්‍ය ධාරාවන් විසින් ජනයා ගොනාට  අන්දවන සහ ජනයාගේ  ප්‍රාථමික හැගීම්වලට ආමන්ත්‍රණය කරන ලාභ උපරිම කර ගැනීමේ තුට්ටු දෙකේ මාධ්‍ය භාවිතයට විරුද්ධව සැබෑ මාධ්‍ය භාවිතයක් සදහා  ජෝන් පිල්ගර් ඉන්ද්‍ර ඛීලයකි.

ජෝන් පිල්ගර්ගේ පහ. වෙබ් අඩවියෙහි ඔහුගේ ලිපි, විචාර සහ චිත්‍රපට කියවිය සහ නැරඹිය හැක. https://johnpilger.com/

සුනන්ද දේශප්‍රිය - sri lanka brief