දිල්ලිය බලා යන ගොවි විරෝධතාව විසුරුවා හැරීමට ඉන්දීය පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර

දිල්ලිය බලා යන ගොවි විරෝධතාව විසුරුවා හැරීමට ඉන්දීය පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර

සිය භෝග සඳහා අවම මිලක් ඉල්ලා විරෝධතාවයේ නිරත වන දහස් සංඛ්‍යාත ගොවීන් දිල්ලි නුවරට පාගමනින් යෑම වැළැක්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතා මැඩපැවැත්වීමේ අරමුණින් රේසර් කම්බි, සිමෙන්ති කුට්ටි ආදිය යොදා අගනුවර පැති තුනකින් වැටවල් වලින් වට කර ඇත.

2020 වසරේ දී සිදුවූ දේ නැවත සිදුවනු ඇතැයි ඉන්දීය රජය බියට පත්ව ඇත. වසරක් පුරා පැවති විරෝධතාවලින් පුද්ගලයින් රැසක් මිය ගිය අතර එය අවසන් වූයේ මතභේදාත්මක කෘෂිකාර්මික නීති අවලංගු කිරීමට ඇමතිවරුන් එකඟ වීමෙන් පසුව පමණි.

එහෙත් වසර තුනක් ගතවී ඇතත් අනෙකුත් ඉල්ලීම් ඉටුවී නොමැති බව ගොවීහු පවසති.

අඟහරුවාදා නවදිල්ලි අගනුවරට උතුරින් කිලෝමීටර් 200ක් (සැතපුම් 125ක්) පමණ දුරින් පිහිටි අම්බාලා නගරය ආසන්නයේ දී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර එය ඡායාරූප වලින් දැක ගත හැකි වුයේ තද වලාකුළු ලෙසය.

සදුදා දිනයේ පොලිසිය හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්ත අතර ෂම්බුහිදී ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් බහුතරයක් පවසන්නේ, ඔවුන්ට සාමකාමීව හර්යානා හරහා දිල්ලි වෙත ළඟා වීමට අවශ්‍ය බවයි. නමුත් ඔවුන්ට එසේ කිරීමට ඉඩ ලබාදී නොමැත. ෂම්බුහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් ද වාර්තා වී ඇති අතර එහි පවතින්නේ නොසන්සුන් වාතාවරණයකි.

බලධාරීන් මාර්ග අවහිර කිරීම සහ වාහන හරවා යැවීම හේතුවෙන් අඟහරුවාදා දිනයේ දිල්ලිය පුරා වාහන තදබදයක් සහ ගමනාගමන බාධා ඇතිවීම් වාර්තා විය.

ගොවි විරෝධතා හමුවේ බලකොටුවක් බවට පත්වූ දිල්ලිය

සිය අස්වැන්න සඳහා සහතික මිලක් ලබා ගැනීම උදෙසා දහස් ගණනක් වූ ගොවීන් අසල්වැසි ප්‍රාන්තවල සිට දිල්ලිය බලා විරෝධතා පාගමනක් ආරම්භ කර ඇත.

2020 වසරේදී ඉදිරිපත් කළ මතභේදාත්මක කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට එරෙහිව ගොවීන් විසින් දිල්ලි අගනුවර සීමාවල කඳවුරු බැඳගෙන සිටියහ.

වසරක් පුරා පැවති විරෝධතාවලදී පුද්ගලයින් රැසක් මිය ගිය අතර එම නීති ඉවත් කිරීමට රජය එකඟ වීමෙන් පසුව විරෝධතා අතහරින ලදී.

සිය ප්‍රධාන ඉල්ලීම් ඉටු නොවීම හේතුවෙන් ගොවීන් නැවතත් විදීවලට පැමිණ තිබේ.

දිල්ලි අගනුවර හා අසල්වැසි ප්‍රාන්තයන් සම්බන්ධ කෙරෙන ජාතික අධිවේගී මාර්ග පද්ධතිය අවහිර කරමින් 2020 වසරේදී මාස ගණනාවක් පුරාවට පැවති විරෝධතාව නැවත සිදුවීම වැළැක්වීමේ අරමුණින් දිල්ලියට පිවිසිය හැකි මාර්ග තුනක් පොලිසිය විසින් දැනටමත් සම්පුර්ණයෙන් වසා දමා තිබේ.

මෙම විරෝධතා ව්‍යාපාරය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එල්ලවූ විශාලතම අභියෝගයක් ලෙස සැලකේ.

ගොවි වෘත්තීය සමිති නායකයින් සහ ෆෙඩරල් අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡා වට දෙකකින් අනතුරුවද එම ගැටලුවලට විසඳුම් ගෙන ඒමට අසමත් වී තිබේ.

ගොවීන් ඉල්ලා සිටින්නේ සහතික කළ බිම් මිලට හෝ අවම ආධාරක මිල (MSP) යටතේ තම නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් රජය විසින් පාලනය කරන තොග වෙලඳපොලවල හෝ වෙළෙඳසැල්වල විකිණීමට ඉඩ සලසන ලෙසයි.

ගොවීන්ගේ ආදායම දෙගුණ කරන බවට රජය දුන් පොරොන්දුව ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

විරෝධතාකරුවන් අගනුවරට ඇතුළුවීම වැළැක්වීම සඳහා නගර සීමාමායිම ආසන්නයේ කටුකම්බිවලින් වට කර සිමෙන්ති වලින් සෑදු බැමි ඇතුළු බාධක යොදවා ඇත.

| විරෝධතාකරුවන් අගනුවරට ඇතුළුවීම වැළැක්වීම සඳහා නගර සීමාමායිම ආසන්නයේ කටුකම්බිවලින් වට කර සිමෙන්ති වලින් සෑදු බැමි ඇතුළු බාධක යොදවා ඇත.

මෙම ගොවි පා ගමන පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය මෝදි ගේ භාරතීය ජනතා පක්ෂය (BJP) තෙවැනි වරටත් බලයට පත්වීමට අපේක්ෂා කරන ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට මාස කිහිපයකට පෙරයි. ගොවීන් ඉන්දියාවේ වඩාත්ම බලගතු ඡන්ද සමූහයක් වන අතර විද්වතුන් පවසන්නේ මැතිවරණයට පෙර ඔවුන්ව දුරස් කර ගැනීමට රජය උත්සාහ නොකරනු ඇති බවයි.

ෆෙඩරල් අමාත්‍යවරුන්, ගොවි සමිති නායකයින් සමඟ පැය හයක දීර්ඝ සාකච්ඡාවක් සඳුදා පැවැත්වීය. 2020 වසරේ පැවති උද්ඝෝෂණවලට එක්වූ විරෝධතාකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩු ඉල්ලා අස්කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී එකඟතාවයකට පැමිණි බව වාර්තා වේ.

එහෙත් අවම ආධාරක මිල සම්බන්ධයෙන් එහිදී එකඟතාවයක එළෙඹී නොතිබුණි. 2021 වසරේ දී, ගොවි නීති අවලංගු කිරීමෙන් පසු, සියලුම ගොවි නිෂ්පාදන සඳහා සහය මිල සහතික කිරීම සඳහා ක්‍රම සෙවීම සඳහා මණ්ඩලයක් පිහිටුවන බව රජය පවසා තිබුණි. එහෙත් කමිටුව තවමත් සිය වාර්තාව ඉදිරිපත් කර නැත.

බලධාරීන් මාර්ග අවහිර කිරීම සහ වාහන  හරවා යැවීම හේතුවෙන් අඟහරුවාදා දිනයේ  දිල්ලිය පුරා වාහන තදබදයක් සහ ගමනාගමන බාධා ඇතිවීම්  වාර්තා විය.

| බලධාරීන් මාර්ග අවහිර කිරීම සහ වාහන හරවා යැවීම හේතුවෙන් අඟහරුවාදා දිනයේ දිල්ලිය පුරා වාහන තදබදයක් සහ ගමනාගමන බාධා වාර්තා විය.

මේ අතර, විරෝධතාකරුවන් අගනුවරට ඇතුළුවීම වැළැක්වීම සඳහා නගර සීමාමායිම ආසන්නයේ කටුකම්බිවලින් වට කර සිමෙන්ති වලින් සෑදු බැමි ඇතුළු බාධක යොදවා ඇත.

අගනුවර තුළ මෙන්ම දිල්ලියට මායිම්ව පිහිටා ඇති උත්තර් ප්‍රදේශ් සහ හර්යානා ප්‍රාන්ත තුළ විශාල රැස්වීම් ආදිය පැවැත්වීම ද පොලිසිය විසින් තහනම් කර ඇත.

පාලක භාරතීය ජනතා පක්ෂයේ බලය සහිත හර්යානා ප්‍රාන්ත රජය විසින් අඟහරුවාදා දක්වා එහි පිහිටි දිස්ත්‍රික්ක හතක අන්තර්ජාල සේවා අත්හිටුවා ඇත.

මෙම පාගමනට ගොවි සංගම් 200කට අධික සංඛ්‍යාවක් සහභාගි වෙති."අපි සාමකාමීව ගමන් කරන අතර අපගේ පරමාර්ථය වන්නේ රජය අපගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීමයි" පන්ජාබ් කිසාන් මස්දූර් සංඝර්ෂ් කමිටුවේ ප්‍රධාන ලේකම් සර්වාන් සිං පන්දර් ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

ගොවීන් සහ වෘත්තීය සමිති පෙබරවාරි 16 වැනි දින ග්‍රාමීය වැඩ වර්ජනයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලය තුළ කෘෂිකාර්මික කටයුතු සිදු නොකෙරේ. එදින ගොවීන් රට පුරා පිහිටි ප්‍රධාන මාර්ග අවහිර කරන අතර සියලුම ගම්වල වෙළඳසැල්, වෙලඳපොලවල් සහ කාර්යාල වසා දමනු ඇත.

(BBC/Sinhala)