ගාසා- ඊශ්‍රායල් යුද ගැටුම: එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥයෝ 34 දෙනෙකු වහාම කළ යුතු පියවර 6ක් ඉදිරිපත් කරති

ගාසා- ඊශ්‍රායල් යුද ගැටුම: එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥයෝ 34 දෙනෙකු වහාම කළ යුතු පියවර 6ක් ඉදිරිපත් කරති

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයෝ*  ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කරන ලද සහ මාරාන්තික ප්‍රචණ්ඩත්වය සහ ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩ සහ අතෝරක් නැති ප්‍රහාර සහ නීති විරෝධී අවහිර කිරීම් තවදුරටත් දැඩි කිරීම නිසැකවම හෙළා දුටහ. මෙම තත්වය සමස්ත සිවිල් ජනගහනයට විනාශකාරී බලපෑම් ඇති කරයි.

“හමාස් සංවිධානය විසින් සිදු කරන ලද බිහිසුණු අපරාධ, වැඩිහිටි පුද්ගලයින් සහ ළමුන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් හිතාමතාම සහ පුලුල්ව ඝාතනය කිරීම සහ ප්‍රාණ ඇපයට ගැනීම අපි තරයේ හෙළා දකිමු. මෙම ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය  දරුණු ලෙස උල්ලංඝණය කිරීමක් සහ ජාත්‍යන්තර අපරාධ වන අතර ඒ සඳහා හදිසි වගවීමක් තිබිය යුතුය,” විශේෂඥයෝ පැවසූහ.

“දැනටමත් හෙම්බත් වී සිටින ගාසා තීරයේ මිලියන 2.3කට අධික පලස්තීන ජනතාවට සහ ඔවුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ළමයින්ට එරෙහිව ඊශ්‍රායලයේ අතෝරක් නැති  මිලිටරි ප්‍රහාර අපි දැඩි ලෙස හෙළා දකිමු. ඔවුන් වසර 16ක් නීති විරෝධී අවහිර කිරීම් යටතේ ජීවත් වී ඇති අතර, දැනටමත් ප්‍රධාන කුරිරු යුද්ධ පහකය මුහුණ දී ඇති තිබේ. මෙම අපරාධයන්ටද කිසිදු වගවීමක් තිබී නැත. ” යැයි ඔවුහු පැවසූහ.

“මෙය සාමූහික දඬුවම් කිරීමට සමානය,” එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පැවසූහ. “හමාස් හෝ ඊශ්‍රායල හමුදාවන් විසින් අහිංසක සිවිල් වැසියන්ට ඉවක් බවක් නොමැතිව ඉලක්ක කරන ප්‍රචණ්ඩත්වය  සාධාරණීකරණය කළ නොහැක. මෙය ජාත්‍යන්තර නීතිය යටතේ සම්පූර්ණයෙන් තහනම් වන අතර එය යුද අපරාධයකට සමාන වේ.”

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් හත් දෙනෙකු මිය ගිය බවට වාර්තා වීමත් සමඟ ගැටුම පිළිබඳව වාර්තා කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් ඉලක්ක කර ඇති බවට පළ වූ වාර්තා පිළිබඳව විශේෂඥයෝ කනස්සල්ල පළ කළහ.

2023 ඔක්තෝම්බර් 7 වන දින අලුයම ගාසා තීරයේ සිට පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට රොකට් 5,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයට එල්ල කළ අතර ගොඩබිම් ප්‍රහාර දියත් කිරීම සඳහා ඊශ්‍රායලයේ ස්ථාන කිහිපයක දැඩි ලෙස සවිකර තිබූ ගාසා බාධක බිඳ දැමූහ. මෙම ප්‍රහාර සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ යන දෙඅංශයටම ඉලක්ක රහිතව එල්ල විය. නැගෙනහිර ජෙරුසලම ඇතුළු අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලය කරටගන යන අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර වශයෙන් තම ක්‍රියාමාර්ග ගත් බව හමාස් ප්‍රකාශ කළේය. , ඔවුන්ගෙන් බහුතරය සිවිල් වැසියන් වූ ඊශ්‍රායල ජාතිකයන් සහ විදේශීය ජාතිකයන් 1,200කට වැඩි ප්‍රමාණයක් මරා දැමුණූ අතර, 3,000කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ. හමාස් සංවිධානය විසින් ළමුන්, වැඩිහිටි පුද්ගලයින් සහ ප්‍රසිද්ධ මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශීය ජාතිකයන් 100 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව වාර්තා පෙන්වා දෙයි.

“විරුද්ධවාදීකම් සන්දර්භය තුළ ප්‍රාණ ඇපයට ගැනීම යුද අපරාධයකි. හමාස් සංවිධානය විසින් රැගෙන ගිය සිවිල් වැසියන් වහා නිදහස් කළ යුතු අතර, ඔවුන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය හෙළිදරව් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පැවසූහ.

ගාසා තීරයට එරෙහිව ගුවනින්, ගොඩබිමෙන් සහ මුහුදෙන් එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, අවම වශයෙන් වැඩිහිටි පුද්ගලයින් සහ ළමුන් 290ක් ද ඇතුළුව පලස්තීනුවන් 1,100ක් මිය ගොස් ඇති අතර, , 5,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මෙම ගුවන් ප්‍රහාර මගින් වෙලඳ පොලවල් ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කර ඇති බව පෙනේ. රෝහල් දෙකක් සහ නේවාසික ගොඩනැගිලි විනාශ කර ඇති අතර අවතැන් වූ සිවිල් වැසියන්ට නවාතැන් දෙන පාසල් ඇතුළු එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNRWA) පහසුකම් 20 කට හානි කර ඇත. ඔක්තෝම්බර් 11 වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ ගාසා තීරය තුළ අවම වශයෙන් පුද්ගලයින් 340,000ක් අවතැන් වී ඇති බවත් ගාසා තීරය හරහා UNRWA යටතේ පාසල් 92ක පුද්ගලයන් 218,600කට ආසන්න පිරිසක් අවතැන්ව, නවාතැන් ගෙන සිටින බවයි.

“වෙනස, පූර්වාරක්ෂාව සහ සමානුපාතිකත්වය යන මූලධර්ම නොසලකා එදිරිවාදිකම් සන්දර්භය තුළ සිවිල් වැසියන් අසීමිත ලෙස ඝාතනය කිරීම යුද අපරාධයකි” යැයි විශේෂඥයෝ පැවසූහ.

ඉවක් බවක් නැති රොකට් ප්‍රහාර, සිවිල් යටිතල පහසුකම්වලට බෝම්බ හෙලීම සහ ජනාකීර්ණ ප්‍රදේශවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම පලස්තීන සන්නද්ධ කණ්ඩායම් විසින් හෝ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් යන කවර පාර්ශවයක්  විසින් සිදු කළද ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔවුහු අවධාරණය කළහ.

තමන් “මිනිස් සතුන්” සමඟ සටන් කරන බව පවසමින් ගාසා තීරයට අත්‍යවශ්‍ය සැපයුම් සම්පූර්ණයෙන්ම කපා හරින බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ඔක්තෝබර් 9දා නිවේදනය කළේය. ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීමට උත්සාහ කරන අයට බෝම්බ දමන බවට අමාත්‍යවරයා තර්ජනය කළේය. ඔක්තෝබර් 9 සහ 10 යන දිනවල ඊශ්‍රායලය විසින් ගාසා-ඊජිප්තු දේශසීමාවේ රෆා හරස් මාර්ගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වේ, ගාසා තීරයේ සහ ඉන් පිටත ගමනාගමනයට බාධා ඇති වූ අතර, හරස් මාර්ගය වසා දැමූ අතර පලස්තීනුවන් ලැඟුම් ගෙන සිටි නවාතැන සම්පූර්ණයෙන්ම අවහිර විය.

“විශේෂයෙන්ම වසර 16ක් තිස්සේ ගාසා තීරයේ නීති විරෝධී ලෙස “සිරගතව සිටින” පලස්තීන ජනතාව,  අමානුෂික කරන මෙම භයානක භාෂාවට අමතරව, ආහාර, ජලය, විදුලිය සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය සැපයුම් අත්හිටුවීම අපි හෙළා දකිමු. එවැනි ක්‍රියාවන් ගාසා තීරයේ දරුණු මානුෂීය අර්බුදයක් අවුලුවාලනු ඇත, එහි ජනගහනය දැන් සාගින්නෙන් වැළකිය නොහැකි අවදානමක සිටී. හිතාමතාම කුසගින්නට ලක්කිරීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකි,” විශේෂඥයෝ පැවසූහ.

56 වසරක් පැරණි භූමිය අල්ලා ගෙන සිටීම සහ ඊශ්‍රායලය විසින් අනුගමනය කරන ලද ඈඳා ගැනීම ඇතුළු වත්මන් ගැටුමේ මූල හේතුන් විසඳීමට ජාත්‍යන්තර ප්‍රජාවට ඇති වගකීම් පිළිබඳව විශේෂඥයෝ ජාත්‍යන්තර ප්‍රජාවට මතක් කර දුන්හ. ජාත්‍යන්තර නීතිය තවදුරටත් උල්ලංඝණය කිරීම, මිනිස් දුක් වේදනා සහ ලේ වැගිරීම වැළැක්වීම සඳහා ශක්‍ය මාර්ග හඳුනා ගන්නා ලෙස ඔවුහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියහ.

පලස්තීනුවන්ට සහ ඊශ්‍රායල ජාතිකයින්ට එරෙහිව වැඩි වැඩියෙන් භාවිතා වන අමානුෂික භාෂාව සැලකිල්ලට ගනිමින් සාමකාමී විසඳුමක් අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ පවසති.

“ප්‍රචණ්ඩත්වයෙන් සිවිල් මරණ සංඛ්‍යාව වැඩි වන විට, කලාපයේ ආතතීන් වර්ධනය වීම වහා වළක්වන කරන ලෙසත් ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර ප්‍රජාවේ ඵලදායී ප්‍රතිචාරයක් මගින් සැමගේ සමාන අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු” යැයි ඔවුහු පැවසූහ.

කෙටි කාලීනව විශේෂඥයෝ මෙසේ ඉල්ලා සිටිති:

  1. ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම්, විශේෂයෙන්ම ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කිරීම් වහාම අවසන් කිරීම. මේ සඳහා, නීති විරෝධී ඝාතන සහ බලහත්කාර අතුරුදහන් කිරීම් ඇතුළුව ඔක්තෝම්බර් 7 සිට වාර්තා වූ සියලුම උල්ලංඝනයන් සම්බන්ධයෙන් නැගෙනහිර ජෙරුසලම සහ ඊශ්‍රායලය ඇතුළු අල්ලාගෙන සිටින පලස්තීන ප්‍රදේශය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාව විසින් දියත් කරන ලද විමර්ශනයට සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විමර්ශනයට සහාය වන්න;
  2. ස්වාධීන ජාත්‍යන්තර ආයතනයක් විසින් නිරීක්ෂණය කළ යුතු සටන් විරාම ගිවිසුමක්;
  3. හමාස් විසින් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රාණ ඇපකරුවන් සහ ඊශ්‍රායලය විසින් අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින පලස්තීනුවන්, විශේෂයෙන් කාන්තාවන්, ළමයින්, වැඩිහිටි පුද්ගලයින්, ආබාධ සහිත පුද්ගලයින් සහ බරපතල ලෙස රෝගාතුර වූවන් නිදහස් කිරීම;
  4. අල්ලාගෙන සිටින පලස්තීන භූමිය තුළ ජාත්‍යන්තර ආරක්ෂිත පැවැත්මක් ස්ථාපිත කිරීම;
  5. අවශ්‍ය සියලුම මූල්‍ය සහ මානුෂීය ආධාර සැපයීම සහ මිනිසුන්ට ගාසාවෙන් පිටවීමට සහ සතුරුකම් නැවැත්වූ වහාම ආපසු පැමිණීමට ඉඩ සලසන මානුෂීය කොරිඩෝවන් නිර්මාණය කිරීම; සහ
  6. වර්ථමාන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මියගිය අයගේ ගෞරවයට ගරු කළ යුතු අතර, ඔවුන්ගේ සිරුරු ශෝකයෙන් සිටින ඥාතීන්ට කඩිනමින් භාර දීම.

“ඊශ්‍රායලයේ සහ අල්ලාගෙන සිටින පලස්තීන භූමියේ ප්‍රචණ්ඩත්වයේ චක්‍රය බිඳ දැමීම අතිශයින් වැදගත් ය” යනුවෙන් විශේෂඥයෝ පැවසූහ. “සන්නද්ධ ප්‍රහාර සහ මිලිටරි ප්‍රතිචාර මගින් සියල්ලන්ගේ ආරක්ෂාවට සහ මානව හිමිකම්වලට ගරු කිරීමට මඟ පෑදිය නොහැකි බව දැනටමත් ඔප්පු වී ඇත. ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, වගවීම සහ මනුෂ්‍යත්වයට සහ ගෞරවයට ගරු කිරීම අතුළුව ඊශ්‍රායලය විසින් 56 වසරක් පුරා පලස්තීන භූමිය හමුදාමය වශයෙන් අල්ලා ගෙන සිටීමඅවසන් කිරීම  සිදු විය යුතුය.

අවසන්.

අත්මන කළ විශේෂඥයන්:

  1. ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්, 1967 සිට අල්ලාගෙන සිටින පලස්තීන ප්‍රදේශයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු.
  2. 2.Pedro Arrojo Agudo, ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂාව සඳහා මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු.
  3. බාලක්‍රිෂ්ණන් රාජගෝපාල්, ප්‍රමාණවත් නිවාස සඳහා ඇති අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු.
  4. Aua Baldé (සභාපති-වාර්තාකරු), Gabriella Citroni (උප සභාපති), Angkhana Neelapaijit, Grażyna Baranowska, Ana Lorena Delgadillo Pérez, බලහත්කාරයෙන් හෝ නීතිවිරෝධී අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම.
  5. Reem Alsalem, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය, එහි හේතු සහ ප්රතිවිපාක පිළිබඳ විශේෂ වාර්තාකාරිය.
  6. මාමා ෆාතිමා සිංහතේ, දරුවන් විකිණීම, ලිංගික සූරාකෑම සහ ලිංගික අපයෝජන පිළිබඳ විශේෂ වාර්තාකාරිය.
  7. Morris Tidball-Binz, නීති විරෝධී, සාරාංශ හෝ අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීම් පිළිබඳ විශේෂ වාර්තාකරු.
  8. ඉයන් ෆ්‍රයි, දේශගුණික විපර්යාස සන්දර්භය තුළ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු.
  9. ජවිඩ් රෙහෙමාන්, ඉරාන ඉස්ලාමීය ජනරජයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු.
  10. සියෝබාන් මුල්ලි, පුද්ගලයන්, විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමුන් ජාවාරම් කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු.
  11. අශ්විනි, K.P, සමකාලීන වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම්, භීතිකාව සහ අදාළ නොඉවසීම පිළිබඳ විශේෂ වාර්තාකරු.
  12. Tomoya Obokata, එහි හේතු සහ ප්‍රතිවිපාක ඇතුළුව, සමකාලීන වහල්භාවය පිළිබඳ විශේෂ වාර්තාකරු.
  13. 13.ෆර්නැන්ඩ් ද වරෙන්ස්. සුළු ජාතික ගැටළු පිළිබඳ විශේෂ වාර්තාකරු.
  14. මයිකල් ෆක්රි, ආහාර අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු.
  15. Irene Khan, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ වාර්තාකාරිය.
  16. මේරි ලෝලර්, මානව හිමිකම් ආරක්ෂකයින්ගේ තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිය.
  17. Dorothy Estrada Tanck (සභාපති), Ivana Radačić (උප සභාපති), Elizabeth Broderick, Meskerem Geset Techane සහ Melissa Upreti, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට වෙනස් කොට සැලකීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම. ෆරීඩා ෂහීඩ්, අධ්‍යාපන අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු.
  18. මොහොමඩ් අබ්දෙල්සලාම් බබිකර්, එරිත්‍රියාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු.
  19. Clement Nyaletsossi Voule, සාමකාමීව රැස්වීමේ සහ සංගමයේ නිදහසේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු;
  20. අත්තිය වාරිස්, සියලුම මානව හිමිකම්, විශේෂයෙන්ම ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතීන් පූර්ණ වශයෙන් භුක්ති විඳීම සඳහා විදේශ ණය සහ රාජ්‍යයන්ගේ අනෙකුත් අදාළ ජාත්‍යන්තර මූල්‍ය බැඳීම්වල බලපෑම් පිළිබඳ ස්වාධීන විශේෂඥ .
  21. Vitit Muntarbhorn, කාම්බෝජයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු.
  22. Barbara G Reynolds (සභාපති), Bina D’Costa, Catherine S. Namakula, Dominique Day, Miriam Ekiudoko, අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයින් පිළිබඳ විශේෂඥයින්ගේ ක්‍රියාකාරී කණ්ඩායම.
  23. Isha Dyfan, සෝමාලියාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ස්වාධීන විශේෂඥ;
  24. ඇලෙක්සැන්ඩ්රා Xanthaki, සංස්කෘතික අයිතිවාසිකම් ක්ෂේත්රයේ විශේෂ වාර්තාකරු.
  25. හෝසේ ෆ්‍රැන්සිස්කෝ කැලි ට්සේ, ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු.
  26. රිචඩ් බෙනට්, ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු.
  27. Obiora C. Okafor, මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ස්වාධීන විශේෂඥ.
  28. ඩේවිඩ් බොයිඩ් , ආරක්ෂිත, පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර පරිසරයක් භුක්ති විඳීමට අදාළ මානව හිමිකම් බැඳීම් පිළිබඳ විශේෂ වාර්තාකරු.
  29. Livingstone Sewanyana, ප්‍රජාතන්ත්‍රවාදී සහ සාධාරණ ජාත්‍යන්තර පිළිවෙලක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ස්වාධීන විශේෂඥ.
  30. ඇලිස් ජිල් එඩ්වර්ඩ්ස්, වධහිංසා සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම් පිළිබඳ විශේෂ වාර්තාකරු;
  31. 31.Muluka-Anne Miti-Drummond, ඇල්බිනිස්වාදය ඇති පුද්ගලයින් විසින් මානව හිමිකම් භුක්ති විඳීම පිළිබඳ ස්වාධීන විශේෂඥ.
  32. රවීන්ද්‍රන් ඩැනියෙල් (සභාපති-වාර්තාකරු), Sorcha MacLeod, Chris Kwaja, Carlos Salazar Couto, කුලී හේවායන් භාවිතය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම;
  33. සූර්ය දේව, සංවර්ධනය සඳහා ඇති අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු.
  34. Paula Gaviria Betancu , අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකාරිය

විශේෂ වාර්තාකරුවන් යනු මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි ලෙස හැඳින්වෙන කොටසට අයත් යාන්ත්‍රණයන්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පද්ධතියේ ස්වාධීන විශේෂඥයින්ගේ විශාලතම ආයතනය වන විශේෂ ක්‍රියා පටිපාටි යනු ලෝකයේ සෑම ප්‍රදේශයකම විශේෂිත රටක තත්වයන් හෝ තේමාත්මක ගැටළු ආමන්ත්‍රණය කරන කවුන්සිලයේ ස්වාධීන කරුණු සෙවීමේ සහ අධීක්ෂණ යාන්ත්‍රණවල සාමාන්‍ය නාමයයි. විශේෂ ක්‍රියා පටිපාටි විශේෂඥයෝ ස්වේච්ඡා පදනමක් මත වැඩ කරති. ඔවුන් එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය නොවන අතර ඔවුන්ගේ වැඩ සඳහා වැටුපක් නොලැබේ. ඔවුන් ඕනෑම රජයකින් හෝ සංවිධානයකින් ස්වාධීන වන අතර ඔවුන්ගේ පුද්ගල ධාරිතාවයෙන් සේවය කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් කළ ප්‍රකාශයක සංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.