ඊශ්‍රායල් කෘෂි රැකියා ලාභීන්ට අක්කර 2ක ඉඩමක්

ඊශ්‍රායල් කෘෂි රැකියා ලාභීන්ට අක්කර 2ක ඉඩමක්

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකික තරුණයින් සඳහා අක්කර 2.5ක ඉඩම් කොටසක් ලබාදීමට සඳහා තමන් ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කළ අතර, ඒ සඳහා ජනාධිපතිතුමන්ගේ එකගතාවය හිමිවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ  (2024.01.01) දිනවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ 2024 වර්ෂය විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ව්‍යවසායකයින් ලෙස නගා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වර්ෂයක් බවයි. මේ වන විට කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට යන ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණෙන්නේ කෘෂිකාර්මික දැනුම හා පළපුරුද්ද රැගෙන බැවින් ඔවුන්ට සිය දැනුම මෙරටදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි වගා කටයුතු කිරීම සඳහා අක්කර දෙක හමාරක ඉඩම් කොටසක් ලබාදීමට තමන් ඉඩම් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ සඳහා ජනාධිපතිතුමාගේද අනුමැතිය හිමිවූ බව ප්‍රකාශ කල අමාත්‍යවරයා මෙහි අරමුණ වන්නේ කෘෂි ව්‍යවසායකයින් ලෙස ඔවුන්ගේ ආර්ථික ශක්තිය නගා සිටුවීම බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.