ජපන් භාෂා පුහුණු පන්තියක් මුවාවෙන් පවත්වාගෙන ගිය හොර විදේශ රැකියා ආයතනය මාට්ටු

ජපන් භාෂා පුහුණු පන්තියක් මුවාවෙන් පවත්වාගෙන ගිය හොර විදේශ රැකියා ආයතනය මාට්ටු

තරුණ තරුණියන් හට ජපන් භාෂා උපකාරක පන්ති පවත්වන මුවාවෙන් පවත්වා ගෙන ගිය නීති විරෝධි විදේශ රැකියා ජාවාරමක් මහ මොලකාරියද සමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් හසුකර ගන්නා ලදී.

කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ “වෙනුෂ් ලැන්වේජ් ඇකඩමි” යන නමින් මෙම නීතිවිරෝධි ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණ  තොරතුරක් අනුව විමර්ශන නිළධාරින් විසින් මෙම ආයතනය වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගන්නා ලදී.

තවද, මෙම කාන්තාව සතුව තිබූ විදේශ ගමන් බලපත්‍ර පිටපත්, විදේශ රැකියා ලබා දීමට මුදල් ලබා ගත් බවට වූ ලේඛන, කැනඩාවේ රැකියා ලබා දෙන බවට වූ ගිවිසුම් ඇතුළුව ලේඛන රාශියක් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම කාන්තාවට මීට පෙරද මෙවැනි වැරදි සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 24ක් පවරා ඇත. සැකකාරිය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී. මේ පිළිබඳ විමර්ශන තවදුරටත් පැවැත්වේ.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ගරු පියංකර ජයරත්න මහතාගේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන අංශයේ මෙහෙයවීමෙන් නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරීන් වන කපිල කරුණාරත්න, සරත් විමලවීර, කළමනාකරන සහකාර අමිල පෙරේරා සහ අචිනි නිරෝෂා යන මහත්ම මහත්මීන් විසින් මෙම මෙහෙයුම සිදුකළහ.