හමාස් ප්‍රහාරයෙන් අනුලා රත්නායක මියගොස් ඇතැයි තහවුරු කෙරෙයි

හමාස් ප්‍රහාරයෙන් අනුලා රත්නායක මියගොස් ඇතැයි තහවුරු කෙරෙයි

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක්, අදාළ ප්‍රහාරවලින් ජීවිතක්ෂය පත්ව තිබෙන බව අද (ඔක් 17) තහවුරු වී තිබේ.

කැලණිය, ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අනුලා රත්නායක ජයතිලක මෙම ප්‍රහාරය අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බිබීසි සිංහල සේවයට තහවුරු කළේ ය.

ඉකුත් ඔක්තෝම්බර් මස හත්වෙනිදා ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසු ලාංකිකයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව තානාපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ය.

අනුලා රත්නායක මියගියබව තහවුරු යි

හමාස් සංවිධානයේ ප්‍රහාරයෙන් පසු ලාංකිකයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට බලධාරින් දැනුවත් කර තිබූ බව ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළේ ය.

අතුරුදන්වූ පුද්ගලයින්ගේ ‍ඡායාරූප ඊශ්‍රායල් ආරක්ෂක බලධාරීන් විසින් තානාපති කාර්යාලයෙන් ලබාගෙන ගිය බවත්, එහිදී අදාළ ශ්‍රී ලාංකික කාන්තාවගේ මෘතදේහය හඳුනාගෙන තිබූ බවත් තානාපතිවරයා පවසයි.

"ඊශ්‍රායල පොලිස් දෙපාර්තුමේන්තුවේ ජාත්‍යන්තර අංශය විසින් අද උදෑසන තහවුරු කර සිටියා අනුලා රත්නායකගේ දේහය හඳුනාගත් බවට. ඒ අනුව අදාළ දේහය අද හෝ හෙට දිනයේ දී අපගේ තානාපති කාර්යාලය වෙත ලබාදීමට නියමිත යි. එහිදී අප දේහය හඳුනාගෙන ඇයට මෙරට දී අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

"ඇය අවුරුදු 10ක් මේ රටේ සේවයේ යෙදී ඉදලා තියෙනවා. ඒ නිසා ඇයගේ යහළුවන් ඉන්නවා ඇයට අවසන් ගෞරව දක්වන්න බලාපොරොත්තුවෙන්. ඒ වගේම ඊශ්‍රායල් බලධාරීන් පවා පැමිණීමට නියමිත යි.

"ඉන්පසුව ඇයගේ දේහය භාරකරුවන්ට භාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව දැනුවත් කිරීම සිදුකර තිබෙනවා," තානාපතිවරයා පැවසුවේ ය.

'මම තාම විශ්වාස කරනවා මගේ බිරිඳ ජිවතුන් අතර'

හමාස් ප්‍රහාරයෙන් මියගිය බවට තහවුරු කරන ලද අනුලා ජයතිලකගේ ස්වාමිපුරුෂයා, බිරිඳ තවමත් ජීවතුන් අතර සිටිනු ඇතැ යි තමන් විශ්වාස කරන බව බීබීසි සිංහල සේවයට පවසා සිටියේ ය.

"මට ඊශ්‍රායල් තානාපතිතුමා දැනුම් දුන්නා මේ ගැන. ඒත් මම කොහොම ද ඒක ඇත්ත කියලා හිත හදාගන්නේ? මීට කලින් වීඩියෝ එකක් දැක්කා හමාස් එකේ භාරයේ ඉන්න ප්‍රාණ ඇපකරුවන් ගැන. ඒකෙ හිටිය එක් කාන්තාවක් මගේ බිරිඳ වගෙයි. හැමෝම ඒ ගැන කියනවා.

"මම අද ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයට ගියා. එතැන දී ඒ නිලධාරීන් කිව්වා මගේ බිරිඳ හමාස් එක භාරයේ නම් ඉන්නේ ඇගේ ජිවිතයට තර්ජනයක් වෙන්නේ නැහැ කියලා. නමුත් අද මෙහෙම මගේ බිරිඳ ගැන ආරංචියක් ලැබුණා," ඔහු හැඟුම්බරව පැවසුවේ ය.

අනුලා ජයතිලකගේ අභාවය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සහ එරට ඇය සේවය කළ නිවසේ හිමිකරුවන් ද සංවේගය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළකර තිබෙන අයුරු දක්නට ලැබුණි.

(bbc/sandeshaya)