හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේදී මියගිය අනුලාගේ දේහය හඳුනා ගැනෙයි

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේදී මියගිය අනුලාගේ දේහය හඳුනා ගැනෙයි

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන අනුලා රත්නායක ජයතිලකගේ දේහය (ඔක්. 23 වැනිදා) දින හඳුනා ගනු ලැබූ බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසීය.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන අනුලා රත්නායක ජයතිලකගේ දේහය (ඔක්. 23 වැනිදා) දින හඳුනා ගනු ලැබූ බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසීය.

දේහය හඳුනා ගැනීමට පවුලේ සාමාජිකයන් වීඩියෝ මාර්ගයෙන් එක්වූ බවද තානාපතිවරයා කියා සිටියේය.

"අද දිනයේදී අනුලා ජයතිලක මහත්මියගේ දේහය හඳුනා ගැනීමට ඊශ්‍රායල් බලධාරීන් කටයුතු යොදා තිබුණා. ඒ අනුව එතුමියගේ පවුලේ සාමාජිකයින් පවා වීඩියෝ මාර්ගයෙන් ඊට එක්වුණා."

"ඊට අමතරව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්, ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ PIBA ආයතනයේ නිලධාරීනුත් මේ අවස්ථාවට සහභාගි වුණා."

"එහිදී එතුමියගේ දේහය හඳුනා ගනු ලැබුවා. ඒ අනුව හෙට ( ඔක් 25) දිනයේදී මෙරට සිටින ලංකාවේ අයට දේහයට අවසන් ගෞරව දක්වන්න අවස්ථාව ලැබෙනවා වගේම ආගමික වතාවත් කරන්න පියවර ගෙන තිබෙනවා."

"ඉන් පසුව ළඟම දින තිබෙන ගුවන් යානයෙන් එතුමියගේ දේහය ශ්‍රී ලංකාව වෙත යැවීමට කටයුතු කරනු ලබනවා." තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

වීසා නොමැතිව ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට ලැබෙන සහනය

තමන් කරන ලද ඉල්ලීමක් අනුව දැනට වීසා සහිතව ඊශ්‍රායලයට පැමිණ එහෙත් වීසා අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත් අලුත් කිරීමටත්, ඔවුන්ට කෘෂිකර්ම අංශයේ රැකියා ලබා දීමටත් එරට බලධාරීන් එකඟවූ බව තානාපතිවරයා සඳහන් කළේය.

ඊශ්‍රායලයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ආහාර නිෂ්පාදනය වැඩිකිරීම, හාර ගබඩා කිරීම හා ආහාර සුරක්ෂිතභාවය සඳහා ගන්නා පියවරක් වශයෙන් කෘෂිකර්ම අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් ඇතිවී තිබේ.

ඊට අමතරව දැනට වීසා නොමැතිව සිටින සාත්තු සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයන් සදහා ද වීසා ලබාදෙන ලෙස කළ ඉල්ලීම අනුව එලෙස සිටින පිරිස පිළිබඳ තාරතුරු ඉල්ලා සිටි බැවින් අදාළ තොරතුරු එක්රැස් කිරීමට අද සහ හෙට (ඔක්තෝම්බර් 24 හා 25 දිනවල) තානාපති කාර්යාලය කටයුතු කරගෙන යන බව තානාපතිවරයා පැවසීය.

වීසා කාලය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොගොස් සිටින ලාංකිකයන්ගේ වීසා බලපත් අලුත් කිරීමට ඊශ්‍රායල් බලධාරීන් එකඟවූ බව එරට ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේය.

| වීසා කාලය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොගොස් සිටින ලාංකිකයන්ගේ වීසා බලපත් අලුත් කිරීමට ඊශ්‍රායල් බලධාරීන් එකඟවූ බව එරට ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේය.

"මේ දැනුම් දීම මත මේ වෙද්දී තානාපති කාර්යාලයට 500 කට ආසන්න ලාංකිකයින් පිරිසක් පැමිණ සිටිනවා. අපි ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි කිරීම් මේ වෙද්දී ආරම්භ කර තිබෙනවා. ඒ වගේම හැකි ඉක්මණින් වීසා බලපත් අලුත් කිරීමට පියවර ගන්නවා."

"ඊශ්‍රායලය තුළ වලංගු වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් 1600- 2000 අතර පිරිසක් සිටින බවට අනුමාන කරනවා." තානාපතිවරයා පැවසුවේය.

දැනට වලංගු වීසා බලපත් නොමැතිව ඊශ්‍රායලයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ඒ සඳහා තොරතුරු ලබා දෙන ලෙසත් තම ගුවන් ගමන් බලපත්‍රය රැගෙන පැමිණ එහි පිටපතක් තානාපති කාර්යාලයට ලබා දී ලියාපදිංචි වන ලෙසට තානාපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

හමාස් ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් ඇතැ යි තහවුරු කෙරෙයි

Palestinian emergency services and local citizens search for victims in buildings destroyed during Israeli raids in the southern Gaza Strip on October 17, 2023 in Khan Yunis, Gaza

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක්, අදාළ ප්‍රහාරවලින් ජීවිතක්ෂය පත්ව තිබෙන බව (ඔක් 17) තහවුරු විය.

කැලණිය, ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අනුලා රත්නායක ජයතිලක මෙම ප්‍රහාරය අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බිබීසි සිංහල සේවයට තහවුරු කළේ ය.

ඉකුත් ඔක්තෝම්බර් මස හත්වෙනිදා ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසු ලාංකිකයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව තානාපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ය.

'කොයි අතකට යන්නද කියලා හිතා ගන්න බැහැ' - ගාසා තීරයේ සිටින ලාංකිකයෙකුගේ අත්දැකීම

අනුලා රත්නායක මියගියබව තහවුරු යි

හමාස් සංවිධානයේ ප්‍රහාරයෙන් පසු ලාංකිකයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට බලධාරින් දැනුවත් කර තිබූ බව ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළේ ය.

අතුරුදන්වූ පුද්ගලයින්ගේ ‍ඡායාරූප ඊශ්‍රායල් ආරක්ෂක බලධාරීන් විසින් තානාපති කාර්යාලයෙන් ලබාගෙන ගිය බවත්, එහිදී අදාළ ශ්‍රී ලාංකික කාන්තාවගේ මෘතදේහය හඳුනාගෙන තිබූ බවත් තානාපතිවරයා පවසයි.

"ඊශ්‍රායල පොලිස් දෙපාර්තුමේන්තුවේ ජාත්‍යන්තර අංශය විසින් අද උදෑසන තහවුරු කර සිටියා අනුලා රත්නායකගේ දේහය හඳුනාගත් බවට. ඒ අනුව අදාළ දේහය අද හෝ හෙට දිනයේ දී අපගේ තානාපති කාර්යාලය වෙත ලබාදීමට නියමිත යි. එහිදී අප දේහය හඳුනාගෙන ඇයට මෙරට දී අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

"ඇය අවුරුදු 10ක් මේ රටේ සේවයේ යෙදී ඉදලා තියෙනවා. ඒ නිසා ඇයගේ යහළුවන් ඉන්නවා ඇයට අවසන් ගෞරව දක්වන්න බලාපොරොත්තුවෙන්. ඒ වගේම ඊශ්‍රායල් බලධාරීන් පවා පැමිණීමට නියමිත යි.

"ඉන්පසුව ඇයගේ දේහය භාරකරුවන්ට භාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව දැනුවත් කිරීම සිදුකර තිබෙනවා," තානාපතිවරයා පැවසුවේ ය.

'මම තාම විශ්වාස කරනවා මගේ බිරිඳ ජිවතුන් අතර'

හමාස් ප්‍රහාරයෙන් මියගිය බවට තහවුරු කරන ලද අනුලා ජයතිලකගේ ස්වාමිපුරුෂයා, බිරිඳ තවමත් ජීවතුන් අතර සිටිනු ඇතැ යි තමන් විශ්වාස කරන බව බීබීසි සිංහල සේවයට පවසා සිටියේ ය.

"මට ඊශ්‍රායල් තානාපතිතුමා දැනුම් දුන්නා මේ ගැන. ඒත් මම කොහොම ද ඒක ඇත්ත කියලා හිත හදාගන්නේ? මීට කලින් වීඩියෝ එකක් දැක්කා හමාස් එකේ භාරයේ ඉන්න ප්‍රාණ ඇපකරුවන් ගැන. ඒකෙ හිටිය එක් කාන්තාවක් මගේ බිරිඳ වගෙයි. හැමෝම ඒ ගැන කියනවා.

"මම අද ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයට ගියා. එතැන දී ඒ නිලධාරීන් කිව්වා මගේ බිරිඳ හමාස් එක භාරයේ නම් ඉන්නේ ඇගේ ජිවිතයට තර්ජනයක් වෙන්නේ නැහැ කියලා. නමුත් අද මෙහෙම මගේ බිරිඳ ගැන ආරංචියක් ලැබුණා," ඔහු හැඟුම්බරව පැවසුවේ ය.

අනුලා ජයතිලකගේ අභාවය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සහ එරට ඇය සේවය කළ නිවසේ හිමිකරුවන් ද සංවේගය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළකර තිබෙන අයුරු දක්නට ලැබුණි.

(bbc/Sandeshaya)