විදේශිකයින් අට දෙනෙක්ට කටාරයේදී මරණ දඬුවම්

විදේශිකයින් අට දෙනෙක්ට කටාරයේදී මරණ දඬුවම්

ඉන්දියානු ජාතිකයින් අට දෙනෙකුට කටාර් රාජ්‍යයේ අධිකරණයක් විසින් මරණ දණ්ඩනය ලබාදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එම අට දෙනා හිටපු නාවික නිලධාරීන් බව සඳහන්  වන අතර ඔවුන්ට එරෙහිව එල්ලකළ චෝදනා සම්බන්ධයෙන් හෙළිකර නොමැත.

එසේ වුවද, කටාරයේ පුද්ගලික සමාගමක සේවය කරමින් සිටි එම පුද්ගලයින්ව ඔත්තු බැලූ බවට සැකපිට පසුගිය වසරේදී අත්අඩංගුවට ගැනුණු බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.  

එනමුදු කටාර් බලධාරීන් හෝ ඉන්දීය බලධාරීන් එම පුද්ගලයින්ට එරෙහිව එල්ලකර තිබූ විශේෂිත චෝදනා මොනවාද යන්න නිල වශයෙන් හෙළිකර නොමැත.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඉන්දීය රජය පවසන්නේ  ඒ සම්බන්ධයෙන් තමන් වික්ෂිප්ත වූ බවත් ඉදිරි ක්‍රියාමාර්ග ගැන කටාර් බලධාරීන් සමග සාකච්ඡා කරන බවත් ය.

විස්තරාත්මක නඩු තීන්දුව තමන් වෙත ලැබෙන තෙක් සිටින බව පැවසූ ඉන්දීය බලධාරීන්, ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව අවධාරණය කරයි.