නීතිවිරෝධී අන්දමින් කැනඩා යන්න ගිය අයෙක් කොටු වෙයි

නීතිවිරෝධී අන්දමින් කැනඩා යන්න ගිය අයෙක් කොටු වෙයි

කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගමන් බලපතකින් කැනඩාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපල ආගමන හා විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

24 හැවිරිදි අදාල පුද්ගලයා යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් මොහු කටාර් රාජ්‍යයේ දෝහා නුවර බලා පිටත්වීමට ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කරන අතර තුර මොහු ඉදිරිපත් කළ කැනේඩියානු ගමන් බලපත පිළිබඳ සැකයක් මතු වූ හෙයින් ගුවන් සේවා නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපල ආගමන හා විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කළ බවත් එහිදී එම කැනේඩියානු ගමන් බලපත කූඨ ලෙස ජීවදත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර තැනූ ගමන් බලපතක් බවත් අනාවරණය වූ බවත් එම දෙපාර්තමේන්තුව කීය.

මෙම පුද්ගලයාගේ සැබෑ ශ්‍රී ලාංකික ගමන් බලපත ද ඔහු සතුව තිබී සොයාගත අතර ඊට අමතරව කූඨ ලෙස සකස් කළ ගල්ෆ් ගුවන් සේවයට අයත් මාලදිවයිනට ගමන් කරන බවට සඳහන් ගුවන් ප්‍රවේශ පතක් ද මොහු සතුව තිබී සොයාගත් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොහු මුලින්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළු වෙත කූඨ ලෙස තැනූ ⁣කැනේඩියානු ගමන් බලපත ඉදිරිපත් කර දෝහා නුවරට සහ එතැනින් කැනඩාව වෙත ගමන් කිරීම සඳහා ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමට සූදානම්ව සිට ඇති බවත් අනතුරුව විගමන අංශයේදී මාලදිවයිනට යන බව පවසා ආගමන හා විගමන නිලධාරීන් හට මාලදිවයින බලා පිටත්ව යන බවට වන ගල්ෆ් ගුවන් සේවයට අයත් කූඨ ලෙස සකස් කළ ටිකට්පත් ඉදිරිපත් කර විගමන නිශ්කාශන කටයුතු සිදු කරගෙන පසුව අවසාන ගේට්ටුවලදී දෝහා බලා පිටත්ව යාමට නියමිතව තිබු ගුවන් යානයට ගොඩවීමට සැලසුම් කර තිබූ බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

මොහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ කැනඩාවේ සිටින මාමා කෙනෙකු මීට අනුබල හා උපකාර කළ බවත් කැනඩාවේ සිටින පුද්ගලයා ශ්‍රී ලංකාවේ සිටින තැරැව්කරුවකුට ලක්ෂ 40ක මුදලක් ගෙවා මේ ගමනට අදාළ කටයුතු සම්පාදනය කළ බවත්ය.

මූලික විමර්ශනවලින් අනතුරුව මේ තරුණයා සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා ආගමන හා විගමන නිලධාරීහූ කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දුන්හ