වංචනික විදේශ රැකියා ජාවාරම්කරුවන්ට එරෙහිව නීති දැඩිවේ

වංචනික විදේශ රැකියා ජාවාරම්කරුවන්ට එරෙහිව නීති දැඩිවේ

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකළ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් (26) දින අත්අඩංගුවට ගන්නා ලදී.

Skill Migration Consultation නමින් වට්ස් ඇප් කණ්ඩායමක් (Whatsapp Group) පවත්වාගෙන යමින් විවිධ රටවල රැකියා සඳහා පුද්ගලයින් බඳවාගනු ලැබූ ජාවාරම්කරුවෙකු, ජාඇල, මීගමුව පාරේ පවත්වාගෙන යනු ලැබූ අදාල ස්ථානයේදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පවත්වාගෙන ගිය මෙම වට්ස් ඇප් කණ්ඩායමට කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන්ට එකතු වී තොරතුරු අනාවරණය කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. කාර්යාංශයේ වලංගු අනුමැතියකින් තොරව විදේශ රැකියා සඳහා බඳවාගැනීම සඳහා දැන්වීම් පළකිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

එසේම වලංගු බලපත්‍රයක් නොමැතිව මිනුවන්ගොඩ, උල්අරුව ප්‍රදේශයේ ආරාධනා විදේශ රැකියා ආයතනය නමින් නීතිවිරෝධි ආයතනයක් පවත්වාගෙන යමින් ඩුබායි ඇතුළු විවිධ රටවල රැකියා ලබාදෙන බවට ලද තොරතුරක් අනුව, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අදාල ස්ථානය වැටලීම් කරන ලදී. එම අවස්ථාවේදී අදාල වංචනික ආයතනය පවත්වාගෙන ගිය කාන්තාවක් විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, රැකියා වීසාපත්, විදේශ ගමන් බලපත්‍ර, දැන්වීම් පත්‍රිකා ඇතුළු ලේඛනද නිළධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අත්අඩංගුවට ගැනීම් සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් වන ඉදුනිල් පුෂ්පකුමාර, රවින්ද්‍ර අබේපාල, එම්.කේ.සුමනවීර, මධුශාන් විජේවර්ධන හා ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් එක්විය.

 විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.