UAE සේවය කල ලක් තරුණියක් අවසනාවන්ත ලෙස ජීවිතය හැර යයි

UAE සේවය කල ලක් තරුණියක් අවසනාවන්ත ලෙස ජීවිතය හැර යයි

වසර ගණනාවකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්ත්වය නිසා, එරට සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතිය තුළින් විදුලිය කාන්දු වී, විදුලි සැර වැදී මිය ගිය ශ්‍රී ලාංකික සේවිකාවක වන ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

කළුතර, මතුගම පදිංචි 26 හැවිරිදි ජයමිණි සදමාලි විජේසිංහ අවිවාහක තරුණියක් බවයි පැවසෙන්නේ. ඇය මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා සිටි ශිෂ්‍යයාවක් වනවා. ඇය සිය සහෝදරයෙකුගේ මාර්ගයෙන් සාජ් හි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මාස 11ක කාලයක් සේවය කරමින් සිටි බවයි පැවසෙන්නේ.

ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30 ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳ සැළ වෙත යාමට පැමිණ තිබුණා. ඒ වනවිට වසර ගණනාවකට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව නිසා සාජා නුවර ද ගංවතුර ආපදා තත්වයක් ඇති වී තිබුණි.
 

ය සේවය කළ සාජා නුවර ද භූගතව විදුලි රැහැන් පද්ධතිය ඇද තිබූ අතර , මෙම ගංවතුර තත්වයත් සමග මෙම විදුලි පද්ධතිය කාන්දු වීමට පටන් ගෙන තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

මේ බැව් නොදත් ජයමිණි සදමාලි විජේසිංහ ද මෙම ගංවතුරට බසිත්ම , විදුලි සැර වැදීමට ලක් වී තිබුණා.

ඒ වනවිටත් ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකුට, බංගලදේශ ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු ද මේ ආකාරයටම මෙම ස්ථානයේ විදුලි සැර වැදී අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණා.

ජයමිණිට විදුලි සැර වැදීමෙන් පසු ඒ අවට පිරිසක් මේ පිළිබඳ දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ , එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු අත්හිටූවා ආරක්ෂිත පියවර ගැනීමට පියවර ගෙන තිබූ බවයි පැවසෙන්නේ.

ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර භාර ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇයගේ වැඩිමහල් සොහොයුරු මේ පිළිබඳව අදහස් දක්වමින් , තමන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික නිලධාරීවරයෙකු බවත් , මෙම භූගත විදුලි බල පද්ධතිය ස්වයංක්‍රීයව අක්‍රීය වී නොතිබීම සහ එම පද්ධතිය ගංවතුර ආපදා තත්වය තුළ දී අක්‍රීය කිරීමට පියවර නොගැනීම පිළිබඳ සජා නුවර එරට විදුලි බල මණ්ඩලය වෙත චෝදනා ඉදිරිපත් කළා.

ඒ මහතා පැවසුවේ, තමන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව විමසන ලෙස තමන්ව දැනුවත් කළ බවයි.

ජයමිණි සේවය කළ ආයතනය මෙම මළ සිරුර ශ්‍රී ලංකාවට එවීම සදහා බරපැන දරා තිබූ අතර, තවත් ඩිරාම් 4,000 ක් ද එවා තිබූ බවයි එම සොහොයුරා ප්‍රකාශ කර සිටියේ.

එහෙත් එරට රජයේ අතපසු වීමක් නිසා මෙම මරණය සිදු වී ඇති බැවින් මෙහි සියලුම වගකීම ඔවුන් දැරිය යුතු බවටයි ඔහුගේ අදහස වී ඇත්තේ.

ජයමිණිගේ සිරුර ඊයේ (03) දින අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර එය භාර ගැනීමට ජයමිණිගේ අම්මා , නංගී , සහෝදරයා ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

මෙම මළ සිරුර පිළිබඳව එරට මගින් සිදු කර එවා ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නොපිළිගන්නා අතර ඔවුන් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇති අතර , එය කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ මෙහෙය වීමෙන් මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතය. ජයමිණි සදමාලි විජේසිංහගේ අවසන් කටයුතු අද (04) දින මතුගම පොදු සුසාන භූමියේ දී පැවැත්වීමට නියමිතය ඇත.