සංක්‍රමණික ශ්‍රමිකයින්ට තමන්ගේ ගමේ වැදගත් මනුස්ස ජීවිතයකට අයිතියක් නැද්ද? | කුසල් පෙරේරා
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හෝ ඉහළ යාම ගැන කොළඹ ආර්ථික විශේෂඥයින් මේ දිනවල කතා කරන, මහ බැංකු අධිපති පැහැදිලි කිරීම් කරන, මේ ආර්ථික ආර්බුදය මොකක්ද? එය බලපාන්නේ කාටද? ආර්ථිකය සම්බන්ධ ඔවුන්ගේ කතාවල කොතැනකවත් සාමාන්‍ය ජන ජීවිතය ගැන, ග්‍රාමීය සමාජය ගැන කතා නොවන්නේ ඇයි?
අවුරුදු 50 ට ආසන්න ජයවර්ධන ජනාධිපතිගේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ඔවුන් එදා සිට කතා කෙරුවේත්, තවම කතා කරන්නේත් කොළඹ මධ්‍යම පංතියට ගැලපෙන ආනයන-අපනයන වෙළඳපලක් ගැන ය. ඒ වෙනුවෙන් විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම, අපනයන නිෂ්පාදන ඉහළ දැමීම, ආනයන සඳහා විදේශ විනිමය උපයා ගැනීම ඉලක්ක කෙරුණු වෙළඳපල විවෘතව තබා ගැනීම ය.
එවැනි වෙළඳපලක ඉන්ධන හිඟය, ගෑස් හිඟය, විදුලි සැපයුම් අඩාලවීම, නාගරික මැදපංතික ජීවන රටාව අවුල් කෙරෙන්නකි. කොළඹ ගාලු මුවදොර පිටියට 2022 අප්‍රේල් මස ආරම්භයේ මැදපංතිකයින් එකතු වූයේ එවැනි බිඳවැටීම් සඳහා විසඳුම් ඉල්ලමින් ය. හදිසි කැඳවීමක් මත ආචාර්ය නන්දලාල් වීරසිංහ අප්‍රේල් මස 08 වන දින මහ බැංකු අධිපති ධූරය බාර ගන්නා විටම, නියෝජ්‍ය අධිපති ආචාර්ය මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේත් මහ භාණ්ඩාගාරයේත් ලේකම් වශයෙන් වැඩ බාර ගත්තේය. ඒ අනුව, මහ බැංකුවේත් මුදල් අමාත්‍යාංශයේ හා මහ භාණ්ඩාගාරයේත් තීන්දු තීරණ ගැනීමේ ප්‍රධානීන් දෙපළම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ.අ) කලක් සේවය කළ දෙදෙනකු වූහ.
ලාංකීය ආර්ථිකය ගොඩ දැමීමට ඒ වනවිටත් ජා.මූ.අ කැඳවා ගැනීමේ තීන්දුවක් කොතැනක හෝ රැගෙන තිබිණ. ඊට සමගාමීව, අන්ත මැතිවරණ පරාජයක් ලැබූ සහ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පැමිණි එ.ජා.පයේ නායක රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකත්වයට ගෙනෙනු ලැබිණ. ජා.මූ.අ කොන්දේසි අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් නැවත ණය ගැනීමේ ඉඩක් ලංකාණ්ඩුවට ලැබිණ. ලාංකීය ආර්ථිකය 2024 ට පය ගැසුවේ ස්ථාවර ආර්ථිකයක් ලෙස යැයි කියන්නේ නැවත ණය ගැනීම් ගැන කතා නොකරය. එවගේම මේ ආර්ථිකය ගොඩ ගැනීම සමග ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, බාල වයස්කාර දැරිවියන් දූෂණ දහස් ගණනින් සිදුවන, කොන්ත්‍රාත් මිනීමැරීම්, කප්පම් ගැනීම්, ටොන් ගණන් අනතරායකර මත්ද්‍රව්‍ය වෙළදාම් කෙරෙන, උපරිම 12,000 ක් සිරකරුවන් රඳවා ගත හැකි බන්ධනාගාර 36 ක, සිරකරුවන් සිරකාරියන් 36,000 ක් පමණ ගාල් කරන්නට සිදුව ඇති, අන්ත පිරිහුණු සමාජයක්ද හදා ගෙන ඇතැයි කතා නොකර ය.
ජනාධිපති අනුර කුමාරගේ මාස 18 ක මාලිමා ආණ්ඩුවට ආර්ථිකය කලමනාකරණය කරගත නොහැකි වූයෙන් රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වන්නේ යැයි කොළඹ මැදපංතිකයින් අතර මහත් කලබගෑනියක් නැවත ඇති විය. ආර්ථික විශේෂඥයින් සමග ලාංකීය ආර්ථිකය අර්බුදයකට තල්ලු වන්නේදැයි මාධ්‍ය සාකච්ඡා ඇති විය. ඒ සාකච්ඡාවල සහ මහ බැංකු අධිපති මාධ්‍යයට කියූ කතාවල තිබූයේ ඉදිරි කාලයේ අප ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු යැයි කීමකි. ප්‍රවේසමෙන් කටයුතු කිරීමෙහි කොතැනකවත් ග්‍රාමීය සමාජය ගැන, වැවිලිකරය ගැන, ඔවුන්ගේ ජීවිතවල බින්න බැහැපු දරිද්‍රතාව ගැන, වැදගත් කිසිවක් කතා නොවුනි. වැඩිමනත් ඇසුණේ බැංකු ණයදීම් ඉහළ යෑම, විශාල වශයෙන් ඉහළ ගිය ලෝක වෙළඳපල ඉන්ධන මිලට ගැලපෙන ලෙස අපගේ දේශීය ඉන්ධන මිල සැකසීම, එසේ නොකළහොත් රුපියල නැවත අවප්‍රමාණය වීම, රාජ්‍ය ආදායම වැඩි කිරීමට බදු ගැසීම හා වියදම කප්පාදු කිරීම වැනි කාරණා සම්බන්ධ කරුණු දැක්වීම් ය.
ආර්ථිකය කොළඹට සීමා කෙරෙන නාගරික කතා අතර ආණ්ඩු විසින් විසඳුම් නොසොයන ජාතික අර්බුදයක් ඇත. ඒ සමාජ-ආර්ථික අර්බුදයේ පිටාර ගැලීම් නාගරික සමාජයේ පැවත්ම සඳහා වාසිදායක ලෙස තබා ගත හැකි යැයි විශ්වාසයක්ද කොළඹ ඇත. ඒ කතාව මම මෙසේ ආරම්භ කරමි.
ග්‍රාමීය සමාජයේ හා කන්ද උඩරට වැවිලිකරයේ තරුණ තරුණියන් විදේශ රැකියා සඳහාත් කොළඹ හා අවට ප්‍රදේශ වලටත් දහස් ගණනින් සංක්‍රමණය වන්නේ ඇයි? ඔවුන්ට ඔවුන්ගේ ගම් ප්‍රදේශවල, ඔවුන්ගේ වැවිලිකරයේ ජීවත් වන්නට ප්‍රමාණවත් ආදායම් මාර්ග සොයා ගැනීමට නොහැකිවීම එයට හේතු වන්නේද? උත්තරය පැහැදිලිවම, “ඔව්”, එය හැර වෙනකක් නැත යන්න ය. ග්‍රාමීය සමාජයේ වැදගත් රැකියා උත්පාදනයක් හෝ ආදායම් මාර්ග නැත. ග්‍රාමීය ආර්ථිකය තවමත් පැරණි සාම්ප්‍රදායික යැපුම් ආර්ථිකයම පමණි. නවීන තාක්ෂණයද එකතු කෙරුණු කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ලෙස ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ සැළසුම් කිසිවක් අවුරුදු 50 ට ආසන්න කාලයක් විවෘත වෙළදපල ආර්ථිකයෙහි ක්‍රියාත්මක නොවුනි. එබැවින් ග්‍රාමීය තරුණ තරුණියෝ 80 දසකයේ දෙවන භාගයේ සිට වැඩි වැඩියෙන් මැද පෙරදිග රැකියා සඳහාත් කටුනායක, දොම්පෙ හා සීතාවක වැනි නිදහස් වෙළද කලාපවල හා ඇඟළුම් කර්මානත්වල රැකියා සඳහාත් සංක්‍රමණය වූහ.
විදේශ රැකියා සඳහා සංක්‍රමණය වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුතු හෙයින් කාර්යාංශය සතු දත්ත අනුව, 1995 වසරේ සිට 2014 දක්වා සංක්‍රමණික රැකියා සඳහා පිටත්ව ගිය තරුණ කාන්තාවන් සංඛ්‍යාව 1,10,000 ත් 1,37,000 ත් අතර විය. 2015 සිට ඒ සංඛ්‍යාව දළ වශයෙන් 70,000 ත් 85,000 ත් අතර විය. මැද පෙරදිග රටවල රැකියා කරන්නාවූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ඕනෑම අවස්ථාවක ලක්ෂ 10 ට ආසන්න යැයි කියනු ලැබේ. ඒ අතුරෙන් කාන්තා ප්‍රතිශතය සියයට 40 ත් 45 ත් අතර යැයි දළ ගණන් හැදීමකි. මැද පෙරදිග සේවය කරන ලක්ෂ 04 ට වැඩි තරුණ කාන්තාවන් අතරින් කිසිවෙකු නාගරික මැදපංතිකයින් නොවන්නාහ. සියල්ලෝ, ග්‍රාමීය හා වැවිලිකරයේ ශ්‍රමිකාවියන් වෙති.
වැවිලිකරයේ තරුණන්ට වත්තෙන් ලබා ගත හැකි ආදායම ප්‍රමාණවත් නැත. වැවිලිකරයේ සිව්වන නැතිනම් පස්වන පරම්පරාව ලෙස ඔවුන් තවදුරටත් වැවිලිකරයේ ජීවිතයට කොටු වන්නටද සූදානම් නැත. ඔවුන්ටද නිදහස් හා දියුණු ජීවිතයක් අවශ්‍යව ඇත. එවැනි ජීවිතයක් හදාගත හැක්කේ නාගරික සමාජයේ යැයි ඔවුහු විශ්වාස කරති.
එක්සත් ජාතීන්ගේ සහ ලෝක බැංකු සංගණන අනුව 2024 දී ලාංකීය ජනගහනයෙන් සියයට 80 ක් වැවිලිකරයද ඇතුළත් ග්‍රාමීය සමාජයේ විසූහ. විදේශ රැකියා සහ කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ අවිධිමත් ආර්ථිකයෙහි ඉන්නා ලක්ෂ ගණනක් තරුණ ශ්‍රමය සංක්‍රමණය වන්නේ ඒ ග්‍රාමීය සමාජයෙනි. කතාව කෙටි කළහොත් ඔවුන්ගෙන් කොටසක් මැදපෙරදිග, දකුණු කොරියාව, සයිප්‍රස් වැනි රටවල කඹුරා හම්බ කරන වැටුප තමන්ගේ පවුලේ නඩත්තුවට ලංකාවට එවීමෙන් ලාංකීය විදේශ විනිමය සංචිතය නඩත්තු කිරීමට එමගින් හවුල් වන්නාහ. එනිසා හැම ආණ්ඩුවක්ම ග්‍රාමීය සමාජයේ තරුණ තරුණියන් හැකි උපරිමයෙන් විදේශ රැකියා සඳහා යවන්නට උනන්දු වන්නේ විවෘත වෙළදපල ආර්ථිකයට වැදගත් වන්නේ ඩොලර මිස ගමේ රුපියල් නොවන නිසා ය.
ඉතිරි පිරිසෙන් වැඩි කොටස, නගරයේ අවිධිමත් ආර්ථිකය නඩත්තු කරති. ඔවුන්ගේ සිල්ලර ආදායම අස්ථිර, අතුරු සේවා හා කෙටි නිෂ්පාදන සැපයුම් සඳහා දායක වීමෙන් උපයා ගන්නකි. ලාංකීය ශ්‍රමිකයින්ගෙන් සියයට 40 ක් පමණ ආදායම් උපයා ගන්නේ මේ යෝධ අවිධිමත් ක්ෂේත්‍රයෙහි යැයි අඩ දසකයකට පෙර ප්‍රතිපත්ති අධ්‍යන කේන්ද්‍රයේ සමීක්ෂණයකින් කියා තිබිණ. එවැනි අවිධිමත් ආර්ථිකයක් පවත්වා ගැනීමේ ලාභය ඇත්තේ නාගරික මැද පංතියට වන්නේ ය.
ග්‍රාමීය සමාජය දුප්පත් සමාජයක් ලෙස පැවතීමේ වාසි එවැනි වන හෙයින් වැවිලිකරය ඇතුළු ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට, දියුණු කිරීමට ආණ්ඩු උනන්දු වන්නේ නැත. අවුරුදු 50 ට ආසන්න උපතින්ම දූෂිත, විෂමාචාර හා අපචාර බහුල ලාංකීය විවෘත වෙළදපල ආර්ථිකය ගැන කතාව මෙයින් මම අවසන් කරමි. ආර්ථික විශේෂඥයින් යොදා ගන්නා නිර්ණායක අනුව මේ විවෘත වෙළදපල ආර්ථිකයෙහි ප්‍රධානම ලක්ෂණයක් වන්නේ, දළ ජාතික නිෂ්පාදනයෙහි සේවා සැපයීමේ දායකත්වය සියයට 60 ක් සහ කාර්මික නිෂ්පාදන දායකත්වය සියයට 32 ක් පමණ වන විට කෘෂිකාර්මික දායකත්වය සියයට 07.5 ක් වීමය. ගම හා වැවිලිකරය ගැන කතාව ඉන් යසට කියවෙන්නකි. එම ආර්ථිකයෙහි ජනගහනයෙන් පොහාසත්ම සියයට 10 ජාතික ආදායමෙන් සියයට 30 ට වැඩි ප්‍රතිශතයකට හිමිකම් කියන අතර, දුප්පත්ම සියයට 40 ට ඉතිරි වන්නේ සියයට 17 ක් පමණ ය. මේ දුප්පත් පොහොසත් සමාජ විෂමතාව වාර්ෂිකව ක්‍රමානුකූලව වර්ධනය වන්නකි. එහි දුප්පත්ම සියයට 40 න් අති බහුතරය ග්‍රාමීය ජනතාව ය.
එනිසා හැම සංවාදයකම විවෘත වෙළදපල ආර්ථික විශේෂඥයින්ගෙන් ඇසිය යුත්තේ අවුරුදු 50 ට ආසන්න කාලයක් ඔබලා ගොඩ දැමූ ආර්ථිකයෙහි ග්‍රාමීය තරුණ තරුණියන්ට සාධාරණ, වැදගත් ඉඩක් නැත්තේ මන්දැයි කියා ය. ඔවුන්ගේ පවුල් ජීවිත අතරමග නතර කර, සංක්‍රමණික ශ්‍රමිකයින් ලෙස විදේශයන්හි කඹුරා, ඔබලා ඉල්ලන ඩොලර උපයා එවනවා වෙනුවට, ඔවුන්ගේ ගම් ප්‍රදේශයේ වැදගත් ජීවිතයක් ගත කළ හැකි සාධාරණ ආර්ථිකයක් ඔවුන්ට හදා දෙන්නේ කවදා දැයි කියා ය.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
2026 මැයි 27 වන දින
(theleader)

