ප්‍රසාද් කාරියවසම් එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කමිටුවේ සභාපති ධුරයට

prasad-kariyawasam-IOM

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ කමිටුවේ (CMW) සභාපතිවරයා ලෙස හිටපු විදේශ ලේකම්, තානාපති ප්‍රසාද් කාරියවසම් ඒකමතිකව තේරී පත් වී තිබේ.

ජිනීවා නුවර පැලයිස් විල්සන්හිදී පසුගිය මැයි 28 වැනි දින පැවැති එම කමිටුවේ 42 වැනි සැසිවාරයේ ආරම්භක අවස්ථාවේදී ඔහු මෙම උසස් තනතුර සඳහා තෝරා ගැනිණි.

සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් තානාපති කාරියවසම් සඳහන් කළේ, වත්මන් මානව හිමිකම් ක්ෂේත්‍රයේ පවතින අභියෝග සහ සම්පත් සීමා සහිත වටපිටාවක් තුළ, කමිටුවේ අනාගත කාර්යභාරය වෙනුවෙන් වඩාත් උපායමාර්ගික ප්‍රවේශයක් අවශ්‍ය බවයි.

දශකයක අත්දැකීම් සහ කැපවීම

2023 ජුනි මාසයේදී මෙම කමිටුවට තේරී පත් වූ තානාපති කාරියවසම් ඉදිරි වසර දෙකක කාලයක් සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත. විශේෂත්වය වන්නේ, 2004 වසරේදී මෙම කමිටුව ආරම්භ කළ අවස්ථාවේ එහි ප්‍රථම සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද ඔහු වීමයි. මෙතෙක් ඔහු එම කමිටුවේ වාර හතරක් සේවය කර තිබීම විශේෂත්වයකි.

සංක්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් සැකසීමේ ක්‍රියාවලියේදී ඔහු දශකයකට වැඩි කාලයක් පුරා අතිමහත් දායකත්වයක් ලබා දී ඇත. මූලාරම්භක "සාමාන්‍ය විවරණ" (General Comments) කිහිපයක් කෙටුම්පත් කිරීමට ද ඔහු සෘජුවම දායක වී ඇති අතර, සංක්‍රමණික කම්කරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් රාජ්‍ය සහ සිවිල් සමාජ සංවිධාන සමඟ සමීපව කටයුතු කිරීමේ පුළුල් අත්දැකීම් ඔහු සතුය.

එක්සත් ජාතීන්ගේ මෙම කමිටුව ස්වාධීන විශේෂඥයන් 14 දෙනෙකුගෙන් සමන්විත වේ. සංක්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම ඔවුන්ගේ ප්‍රධාන වගකීමයි.

වසර තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර තලයේ වෘත්තීය තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ තානාපති කාරියවසම් ගේ මෙම පත්වීම, ශ්‍රී ලංකාවට පමණක් නොව, ගෝලීය වශයෙන් සංක්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියලු පාර්ශ්වයන්ට විශාල ශක්තියක් වනු නොඅනුමානය.

(the ledaer)